ජනතාවගේ අභිලාෂයන් ඉටු කිරීමට මහා පවුරක් ගොඩනගනවා – විමල් වීරවංශ

180

ස්වාධීන පක්ෂ එකමුතුව විසින් එළැඹෙන 04 වැනිදා ගොඩනඟනු ලබන්නේ, රටේ ප්‍රශ්න වවාගෙන කෑම වෙනුවට, ප්‍රශ්නවලින් හෙම්බත් වුණු රටට උත්තර සපයන උත්තර සභාගයක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

ඊයේ (01 වැනිදා) බොරැල්ල රාජගිරියේ පිහිටි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවැති ස්වාධීන පක්ෂ එකමුතුවේ පක්ෂ නායක මාධ්‍ය හමුවේදී ඒ මහතා එසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

“ස්වාධීන පක්ෂ එකමුතුව පසුගිය කාලය පුරාම රටේ ඇතිවූ ප්‍රශ්නවලදී එකමුතුව, සමගියෙන් යුතුව ක්‍රියාත්මක වූ කණ්ඩායමක් බව ඔබ දන්නවා. එදා නව ආණ්ඩුවක් තුළ ඉඳගෙනම වුවත්

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රැගෙන ආ අවස්ථාවේදී ස්වාධීන පක්ෂ එකමුතුවේ බොහෝ පක්ෂ එහි නපුරුදායක කරුණුවලට එරෙහිව සටන් කරනු ලැබුවා. ඒ වගේම කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ‘අදානිලාට‘ විකිණීමට සැරසෙන විට අප පක්ෂ එකමුතුව ආණ්ඩුව තුළ සිටිමින් ඊට එරෙහිව අරගල කළා. වෘත්තීය සමිති හා මහජනතාව විසින් ගෙන ගිය සටන එමගින් තවත් ජව සම්පන්න ලෙස ඉදිරියට ගියා. අවසානයේ දී අපට ඒ අනතුර පරාජයට පත්කර ගැනීමට හැකිවුණා. ඒ විතරක් නොවෙයි ඇමරිකාවේ New Fortress Energy සමාගමට අපේ බලශක්ති සුරක්ෂිතතාව අනතුරේ හෙළමින් ටෙන්ඩර් පටිපාටියට පිටින් යමින් LNG සැපයීමේ ඒකාධිකාරිය ලබාදීමට යෑමේදී අපි ආණ්ඩුව තුළ සිටිමින් ඊට විරුද්ධව සටන් කළා පමණක් නොවෙයි, ඒ නපුරුදායක කටයුත්ත අදටත් මේ පොළොව තුළ ඉටුකර ගැනීමට නොහැකි වී තිබෙනවා. මෙවැනි අවස්ථාවලදී වගේම තවත් අවස්ථා ගණනාවකදීම ස්වාධීන පක්ෂ එකමුතුව ප්‍රතිපත්තිමය ස්ථාවරයක සිටිමින් ජනවරමේ අර්ථය ආරක්ෂා කිරීමට අභ්‍යන්තරව සටන් කරනු ලැබුවා.

ඒ සටන් හේතුවෙන් තමයි ආණ්ඩුව අභ්‍යන්තරයේ සිටි අපට ඉන් පිටතට ඒමට සිදුවූයේ. එසේ ඒ ආණ්ඩුවෙන් බැහැරවීම අපි ඉතා සතුටින් බාර ගනු ලැබුවා. එතැන් සිට අපි අපේ දේශපාලන භාවිතය නොවෙනස්ව, ඉතා පවිත්‍රව තබා ගනිමින්, සාකච්ඡා කරමින්, එකඟතා ඇති කරගනිමින් ඉදිරියට ආවා. ඒ ආපු ගමනේ එක වර්ධනාත්මක, තීරණාත්මක සන්ධිස්ථානයකට අපි එළැඹෙමින් තිබෙනවා. ඒ තමයි අපි පෙන්නපු දේශපාලන අවංකභාවය, දේශපාලන ඒකාග්‍රතාවය වඩා තීව්‍රකොට, ජවසම්පන්න කොට, මේ රටේ ජන අභිලාෂයන් ඉටු කිරීම සඳහා මහා පවුරක් ගොඩනැඟීම. ඒ අනුව තමයි සැප්තැම්බර් 04 වැනිදා සවස 3 ට මහරගම තරුණ සේවා සභා පරිශ්‍රයේදී නව උත්තර සභාගයක් පිහිටුවීම සඳහා තීරණය කර ඇත්තේ. ඒ නව සභාගය එන්නේ ප්‍රශ්න වවාගෙන කන්න නොවෙයි.

ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment