පරණ සෙල්ලම් දැන් බෑ!

646

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මහජනයා විසින් තෝරා පත්කර ගතයුතු ආයතන තුනකි. ඒ පාර්ලිමේන්තුව හෙවත් ව්‍යවස්ථාදායක සභාව, පළාත් පාලන ආයතන හා පළාත් සභා යි. (විධායකය ද එලෙස මහජන ඡන්දයකින් තෝරා ගනු ලැබේ.) එහෙත් මේ වනවිට ඉහත කී ආයතන තුනෙන් සක්‍රීයව පවතින්නේ පාර්ලිමේන්තුව පමණි. පළාත් පාලන ආයතන 340ක් විසුරුවා හැර තිබෙන අතර ඒවාට මහජන නියෝජිතයන් තෝරාගැනීමේ මැතිවරණය සම්බන්ධයෙන් ඇත්තේ ද ව්‍යාකූල හා අවිනිශ්චිත තත්ත්වයකි. පළාත් සභා ද විසුරුවා හැර තිබෙන අතර ඒවා ආණ්ඩුකාරවරුන්ගේ පාලනයට යටත් කර ඇත. මේ අනුව මහජන නියෝජිතයන් ගෙන් සමන්විත වියයුතු ආයතන දෙකක් ම අකර්මණ්‍ය වී හෝ එසේ කරනු ලැබ හෝ ඇත.

මහ නගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභා කිසිවක් සඳහා ජනවරමකින් පත් වූ කිසිදු නියෝජනයක් නැත. ඒවා සියල්ල නිලධාරි පාලනයකට අනුව සිදු වේ. පළාත් සභාවල ක්‍රියාත්මක වන්නේ ද ජනාධිපතිවරයා විසින් පත්කරන ලද නිලධාරි පාලනයකි. ඔව්හු ද ජනතාවට වගකීම සඳහා බැඳී නො සිටිති. මෙය නිසැකයෙන් ම ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය අඩුකිරීමකි. ගමේ, නගරයේ ජනතාවගේ අයිතීන් රැකදීමට එබඳු නිලධාරි යාන්ත්‍රණයකින් නොහැකි වන බව අමුතුවෙන් කිව යුතු නැත. අනෙක් අතට අද මුළු රටේ ම පාලකයා බවට පත්ව සිටින්නේ විධායකය හොබවන එක් පුද්ගලයෙකි. තවත් ආකාරයකින් කිවහොත් මුළු මහත් රටේ ම එකම බලධාරියා නැතහොත් පාලකයා වී සිටින්නේ ජනාධිපතිවරයා ය. ඔහුට අමතරව සිටින්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 දෙනෙකු පමණි. එහෙත් ඒ 225 දෙනාගෙන් කිසිවකුට මෙම පළාත් පාලන ආයතන හා පළාත් සභා සම්බන්ධ නීත්‍යානුකූල බලයක් නැත. එසේ වුවද අනීතිකව ඒවායේ කටයුතුවලට සමහරුන්ට මැදිහත්වීම් කළ හැකිය. එය වෙනම කතාවකි.

අප විසින් මතුකරනු ලබන ප්‍රශ්නය වන්නේ මෙසේ මුළු රටේ ම පුරවැසියන්ට හිමිවිය යුතු අයිතියක් අනිසි ලෙස අහෝසි කළ හැකි ද යන්නයි. ජනතා පරමාධිපත්‍යය මෙලෙස අහිමි කිරීමට හෝ උදුරා ගැනීමට හෝ හැකි ද? එය සදාචාරාත්මක ද? ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවක් ද? යනාදී ප්‍රශ්න දැන් පුරවැසියන්ගේ ද දැඩි අවධානයට යොමු වී තිබේ. ගම්, නගර සියල්ල කිසියම් බාහිර නිලධාරි තන්ත්‍රයකට යටත් කර ඒ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අභිලාෂයන් නොතකා හැරීමක් අද සිදු වී නැතැයි කිව හැකි ද? යන සරල ප්‍රශ්නය ද මෙහිදී මතුවෙයි.

පරණ සෙල්ලම් දැන් බෑ!

මේ අතර අද ක්‍රියාත්මක වන පාර්ලිමේන්තුවේ නියෝජනය සම්බන්ධයෙන් ද ඇත්තේ ව්‍යාකූලත්වයකි. සමහරුන්ගේ අදහස අනුව ඒ මන්ත්‍රීවරුන් සඳහා දී තිබෙන ජනවරම ද මේ වනවිට ප්‍රශ්නකාරී එකකි. විධායකයට වුවද නීත්‍යානුකූල පදනම විනා ජනවරමක් නැති බව ද ඔවුන්ගේ තර්කය වී තිබේ. ඒ මතවාදය වෙනුවෙන් පෙනී සිටින අය යෝජනා කරන්නේ මහමැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් පවත්වා අලුත් ජනවරමක් ලබාගැනීම අවශ්‍ය බවය.

ජනාධිපති රනිල් මේ කිසිවක් බැරෑරුම් ලෙස සලකන බවක් ද කිව නොහැක. ඔහු දින කීපයකට පෙර සූම් තාක්‍ෂණය ඔස්සේ හාවඩ් විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරන ලද සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළේ ජනතාවගේ ප්‍රශ්න හා ගැටලු විසඳන මාර්ගයකට තමන් රට යොමුකර තිබෙන බවය. යටත්විජිත පාලනයෙන් නිදහස් වී වසර 100ක් සම්පූර්ණ වන ලංකාව 2048 දී මැදි ආදායම් ලබන රටක් ලෙස හිස ඔසවන බව ය. එහිදී ඔහු ලංකාව හැඳින්වූයේ ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක් තිබෙන විවෘත ආර්ථිකයක් සහිත කුඩා රටක් ලෙසය. තමන් විසින් භාරගන්නා ලද කඩා වැටුණු ආර්ථිකයක් සහිත රට අද යම් ප්‍රමාණයක වර්ධනයක් සහිතව ඉදිරියට යන බව ද ඔහුගේ අදහස විය.

හිටපු ජනාධිපතිවරයා විසින් එදා රට භාරගන්නා ලෙස විපක්‍ෂයෙන් ඉල්ලා සිටියත් එය ඉටු නොවූ බවත්, තමන් එම අභියෝගය භාරගැනීම නිසා ජනතාව තමන් ගැන විශ්වාසය තබන බවත් ජනාධිපති රනිල් එහි දී සඳහන් කර තිබුණි. රාජ්‍ය ව්‍යවසාය වෙනුවට ඒ ආයතන ව්‍යුහයම වෙනස් විය යුතු බව ද ඔහු සඳහන් කර ඇත. පාර්ලිමේන්තුව ඇතුළු සමස්ත ක්‍රමයම තර්ජනයකට ලක්ව තිබුණු අතර එයින් රට මුදා ගැනීමට තමන්ට හැකි වූ බව ද ජනාධිපතිවරයා එම සාකච්ඡාවේ දී පැවසීය.

ජනාධිපති රනිල් මේ රටේ ආර්ථිකයට හුස්මක් ගැනීමට හැකි වාතාවරණයක් ඇති කළ බව නිසැක ය. එහෙමපිටින්ම බිඳ වැටී තිබුණු ජන ජීවිත ඔහුගේ සැලසුම් නිසා වෙනසකට භාජන වූ බව ද රහසක් නොවේ. ඉන්ධන හා ගෑස් පෝලිම් නැතිවීම, විදුලිය කප්පාදුව නැවතීම ඒවායේ සාධනීය ප්‍රතිඵල බව ද නිසැකය. එහෙත් ඔහු ගන්නා ලද අසංවේදී තීන්දු තීරණවල විපාක ද ජනතාවට ලැබී තිබේ. අලුත් බදු ප්‍රතිපත්තිය, ඉහළ ගිය භාණ්ඩ හා සේවා විශේෂයෙන් මධ්‍යම පන්තික ජීවන රටාව එහෙමපිටින් ම අර්බුදයකට ඇද දැමීමක් විය. ජනාධිපතිවරයා පුනපුනා සඳහන් කරන 2048 දී සිදුවේ යැයි උපකල්පනය කරන අපේක්‍ෂාව අද සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට දැක ගතහැකිවේ ද?

ජනාධිපතිවරයා පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ද සමග රාජ්‍ය ආයතන විකිණීම හා ප්‍රතිව්‍යුහගතකරණය සඳහා දැඩි අපේක්‍ෂා සහගතව සිටින බව ද පෙනේ. ඇත්ත වශයෙන් ම මෙරටේ රාජ්‍ය ආයතන අසාර්ථක වූයේ ඒවා ආණ්ඩුවල හා ඇමැතිවරුන්ගේ උපකරණ ලෙස භාවිත වීම නිසා ය. රාජ්‍ය සේවය මෙන්ම සංස්ථා මණ්ඩල පරිහානියට පත්වීමේ වගකීම ඒ ඇමැතිවරුන් විසින් භාරගත යුත්තකි. ඒ ඒ ආයතනවලට බඳවා ගැනීමේ පටිපාටියක් නොවීය. ආයතන ප්‍රධානියා දේශපාලනඥයකුගේ රෙකමදාරුව අනුව පත්වන බොහෝවිට සුදුසුකමක් ද නැති තැනැත්තෙකි. අධ්‍යක්‍ෂවරුන් ලෙස පසුගිය වසර කීපය තුළ වුවද සිදුවූ පත්වීම් ගැන විමර්ශනයක් කළහොත් රට බින්දුවට වැටීමට හේතු ද සොයා ගත හැකිය.

ජනාධිපතිවරයාගේ කැබිනට් ඇමැතිවරුන්ට තිබෙන විවේචන අප්‍රමාණය. ගොවි ප්‍රශ්නවලට සහනයක් මෙතෙක් ලැබී නැත. අද බිත්තර මිලට සිදුවී ඇත්තේ කුමක් ද? ඇතැම් නිලධාරීන් දැනටමත් පවසන්නේ බිත්තර නැව්වලට ද එදා පොහොර නැව්වලට අත් වූ ඉරණම අත්වීමට ඉඩ තිබෙන බව ය. “අනේ මං බිත්තර කරගහගෙන යන්න දැයි” අපෙන් අසන වෙළෙඳ ඇමැතිවරයා කළ යුත්තේ තම තනතුර පාසල් දරුවකුට පවරා ගෙදර යෑමකි. ඇත්තට ම ජනාධිපතිවරයාට තිබෙන ප්‍රධාන අර්බුදය පැනසර ඇමැතිවරුන් දුලබ වීමයි. ඇමැති මණ්ඩලය කුඩා කර, කාර්යක්‍ෂම 15කට ඒ මෙහෙයුම් භාරදියයුතු බව කීපවරක්ම ආගමික නායකයන් හා වෙනත් සිවිල් ක්‍රියාකාරීහු ද යෝජනා කළහ.

වර්තමාන ආර්ථික සමාජ ප්‍රශ්නවලට වගකිවයුතු මෙන්ම ජනතාවගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වූ අය සමග රටක් මෙහෙයවිය හැකි ද? අද දවසේත් ඇමැතිකම් දෙස බලාගෙන පිරිසක් සිටිති. ඇත්ත වශයෙන් ම ඇමැති මණ්ඩලය සම්බන්ධ රැඩිකල් තීන්දුවක් ගැනීමට ජනාධිපති රනිල් එඩිතර වන්නේ නම් ජනතාව අපේක්‍ෂා කරන වෙනසෙහි ප්‍රථම පියවර ද එය වනු ඇත. දුසිම් තුනකටත් වඩා සිටින රාජ්‍ය ඇමැතිවරුන්ගේ කෙරුම් ගැන කවර කතා ද? රට කෙතරම් අසීරු අඩියක සිටියත් ජනතා මුදලින් නඩත්තු වන දේශපාලනඥයන්ගේ සංඛ්‍යාව අපට බරකි. කිසිදු සේවයක් නොකර වරප්‍රසාද ලබන පළාත් සභා නිලබල ගැන ද මාධ්‍යවල පළවෙයි. එහෙත් ඔවුන්ගේ මයිල් ගසකට තරම් හානියක් සිදුව තිබේ ද?

අද ජන ජීවිත විඳවන දුක් කරදර මැති ඇමැතිවරුන්ට හෝ බොහෝ නිලධාරීන්ට නොමැත. කොළඹ ජනප්‍රිය පාසල් පටන් ගන්නා හා අවසන් වනවිට ඒ වටා කැරකෙන ආණ්ඩුවේ වාහන ගණන කොපමණ ද? ඉන්ධන ප්‍රතිලාභ ලබාගන්නා ඇතැම් අය ගැන ද පෙන්වා දුන් අවස්ථා කෙතරම් ද? දැන්වත් මේවා නතර විය යුතුය. පවුල් ලක්‍ෂ 29ට හාල් ලබාදීමට ආණ්ඩුවට සිදුව තිබේ. එය මහා පින්කමකි. වරප්‍රසාද රහිත එබඳු ජනතාවට උපකාර කිරීම උතුම් ක්‍රියාවකි. බතක් නො ඉදෙන පැල්පත් කොපමණ තිබේ ද? නාස්තිය, දූෂණය, වංචාව ඉහවහා ගිය රටක ජනතාව වෙනුවෙන් පාලකයෝ සංවේදී විය යුත්තෝ ය.

ජනාධිපතිවරයා පසුගිය දිනක සඳහන් කළ ප්‍රබලම දූෂණ මර්දන වැඩපිළිවෙළ ගැන කවුරුත් බලා සිටිති. අල්ලස් හා දූෂණ වැළැක්වීම අප්‍රමාදව කළ යුතු සත්ක්‍රියාවකි. ප්‍රාදේශීය සභාවේ සිට ම අන්ත දූෂිත දේශපාලනයක් ස්ථාපිත වී තිබේ. එහෙත් නීතිය ක්‍රියාත්මක වීමක් නැත. දඬුවමක් නැත. වංචනික ලෙස, ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කෙරෙන දේශපාලන නිලබල අබියස පොලිසිය ද කරබාගෙන සිටියි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිදුරුවලින් රිංගා යන අය ද සිටිති. ජනාධිපති පැවසූ පරිදිම පරණ සෙල්ලම් කිරීමට දැන් නොහැකිය. රට අසාර වූයේත් වල් සිරිත් විරිත් සාර වූයේත් නීතිය දුර්වල කිරීම නිසා ය. කෝප් කමිටුවල දී හෙළිවන දූෂණ අක්‍රමිකතා අප මාධ්‍යවලින් දකින පුවත් පමණි.

අප විසින් ආරම්භයේ දී පෙන්වා දෙන ලද මහජන නියෝජිතයන් නොමැති පළාත් පාලන හා පළාත් සභා ගැන අධීක්‍ෂණයකට ජනාධිපතිවරයා විසින් කමිටු දෙකක් පත්කරන ලද බවක් ද වාර්තා වේ. අගමැති දිනේෂ් හා වජිර ඒ සඳහා පත්කර සිටිති. කුමක් වුවද මේ වාතාවරණය තුළ පළාත් පාලන මැතිවරණය ගැන කිසිවෙක් බලාපොරොත්තු නොවෙති. පළාත් සභා ගැන ද එසේම ය. මේවා ගැන විමර්ශනය කිරීම වරදක් නැත. එහෙත් ඒවා මහජන නියෝජනයක් නොමැති නිලධාරි පාලනයකට යටත් කිරීම බරපතළ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවකි. ජනාධිපති රනිල් ආර්ථිකයට දක්වන අවධානය ප්‍රජාතන්ත්‍රවාදයට නොදක්වන බවට විවෘත චෝදනාවක් තිබේ.

දේශපාලන වශයෙන් දැක්මක් නැති ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් නොතකන සමහරු පළාත් පාලන ඡන්දයක් කුමකට දැයි මොර දෙති. එයින් ජනාධිපති හෝ ඇමැතිවරුන් පත්වේදැයි වෘෂභ තර්ක ද නඟති. ඒ වර්ගයේ දේශපාලන ළිං මැඬියන්ට දීමට පිළිතුරු අප ළඟ නැත. ජනධිපති රනිල්ගේ මාර්ග සිතියමෙහි මැතිවරණ නැති බව පෙනේ. ආර්ථිකය හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනම බඳුන් දෙකකට දමා දේශපාලන විජ්ජාවක් කිරීමට ඔහුට අවශ්‍ය වී තිබේ ද? මැතිවරණයක් සඳහා ස.ජ.බ., ජා.ජ.බ හා නිදහස් ජනතා සන්ධානය වෙන වෙනම දක්වන විරෝධතා ආණ්ඩුවට වාසිදායකය.

පළාත් පාලන මැතිවරුණය වෙනුවෙන් සුබවාදී ප්‍රතිචාර දැක්වීම වුවද ආණ්ඩුවේ නො සතුටට හේතු වේ. ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙන ලද තීන්දුව ගැන අද ආන්දෝලනයක් මතුව තිබේ. ඒ සංවාදයට අප මැදිහත් නොවුවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දුන් විනිසුරුවන්, වරප්‍රසාද කමිටුවකට කැඳවීම ප්‍රශ්නකාරී බව පෙනේ. ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය මතුරමින් අධිකරණය මෙල්ල කිරීමට සැරසෙන බවට විවෘත චෝදනාවක් ද තිබේ. ඉතිහාසයේ ඒ අමිහිරි දෙයම යළිත් සිදුවිය හැකි ද? ව්‍යවස්ථාදායකය හා අධිකරණය අවබෝධයකින් මෙන්ම ගෞරවණීය ආකාරයෙන් ද පවත්වා ගෙන යෑම දේශපාලනඥයන්ගේ වගකීමකි.

ලංකාවේ දේශපාලන ඉතිහාසය විසින් දෙන ලද පාඩම් පිළිබඳ අපේ නායකයෝ සංවේදී නො වෙති. මුළු බල ව්‍යුහයම දෙදරවූ ගාලු මුවදොර විරෝධතාව ගැන අද පොහොට්ටුව කරන විශ්ලේෂණ පුදුමාකාර ය. අද ඔවුන් හිතන්නේ ගෝඨාභය රැගෙන ඒමෙන් සිදු වූ වරද නිසා ඒ විරෝධය නැඟුණු බවක් ද?. දේශපාලනය දන්නා අය තෝරා ගැනීමට පොහොට්ටුව ප්‍රවේශම් වන බවට ද ඔවුහු ප්‍රතිඥා දෙති. මේ මුළාවට හා දේශපාලන මුග්ධ බවට අප ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේ ද? තම වැරදි නිවැරදි කරගෙන යළි බලයට පත්විය හැකි බව ඔව්හු විශ්වාස කරති. වර්තමාන දේශපාලන ප්‍රවණතා පිළිබඳ පොහොට්ටුවට අවබෝධයක් නැත. මහජනයා විසින් දේශපාලනඥයන්ට ලබාදෙනු ලබන බලය ඒ ජනවරමට පිටුපාන පසුබිමක දී ආපසු කැඳවීමේ බලයක් ද ඡන්දදායකයන්ට හිමිවිය යුතු බව අරගලයේ තරුණයන්ගේ ආස්ථානය විය.

දැන් තිබෙන වාතාවරණය අනුව නම් ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම මැතිවරණ සිතියම ද නොතකන දේශපාලන ගමනක ලකුණු මතුවෙමින් තිබේ. ජනාධිපති පැහැදිලිවම පවසන්නේ දැන් ‘පරණ සෙල්ලම්’ කළ නොහැකි බවය. එහි ව්‍යංගාර්ථ රැසකි. කුමක් වුවත් රටේ ආර්ථිකයට හරස්වන විරෝධතා – වර්ජන පිළිබඳ ආණ්ඩුව කෙබඳු ප්‍රතිචාර දැක්විය හැකි ද යන්න පවා ගැටලුවකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලද ණය ජනාධිපතිවරයාට ලබාදෙන ලද රක්‍ෂණ සහතිකයක් වැන්න. ලංකාව පිළිබඳ ජගත් චිත්‍රය එයින් වෙනස් විය හැකි බව ද ආණ්ඩුව කල්පනා කරයි. රට එක අරමුණක පිහිටා ක්‍රියාකළ යුතු බව ආණ්ඩුවේ අදහසය. එයට බාධාවන සියලු දේ නැවැත්විය යුතු බව කියන ආණ්ඩුව විශේෂයෙන් විරෝධතා උද්ඝෝෂණ ඒ අරමුණට හරස් වන බව ද පවසයි. පසුගියදා හාවඩ් සරසවිය සමග කරන ලද සාකච්ඡාවේ දී ජනාධිපති දුන් පිළිතුරක් මෙසේය.

“රාජ්‍ය ව්‍යවසාය ප්‍රශ්නයක්. ඒවා කාර්යක්‍ෂම නෑ. ඛනිජ තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය සහ අපේ ගුවන් සේවා වැනි ඇතැම් ආයතනවලට සහනාධාර ලබාදීමට වැය කළ මුදල අදාළ කාලය තුළ අධ්‍යාපනයට හා සෞඛ්‍යයට වැය කළ මුළු මුදලට වඩා වැඩියි. තවදුරටත් රාජ්‍ය ව්‍යවසායන් සඳහා සහනාධාර නොදෙන ප්‍රතිපත්තියකට අපි යොමුව සිටිනවා.”

ජනාධිපතිවරයාගේ ම රූපකය යොදාගෙන කිවහොත් වැල්පාලමෙන් යන ගමනින් ලංකා මාතාව එතෙර කළ හැකි වන්නේ ද එසේ කළහොත් පමණි.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment