වනචර ගැහැනියක් සහ උත්තම මිනිසෙක්

1861

ඉහත සඳහන් ශීර්ෂ පාඨය දුටු සැණින් පිරිමින් ඉහළ තබා ගැහැනුන් පහළ දැමීමට අප තැත් කරන බව සිතීමට කිසිවෙක් හදිසි නොවිය යුතුය. මෙහිදී වනචර ලෙස හැඳින්වෙන්නේ වලත්ත, කුපාඩි යන තේරුම් නොවේ. වනචර යනු වනචාරී යන්න ය. වනචාරියා තිරිසන් සතුන්ගේ මස් මෙන්ම මිනී මසුත් කයි. වනචාරියා කෲරය. අපගේ කතු වැකියට අදාළ වනචර ගැහැනිය දිවුලපිටියේ, කඩවල ළමා නිවාසයක පාලිකාව ය. නින්දෙන් චූ කරන නව හැවිරිදි පිරිමි දරුවකුට දඬුවම් කිරීම සඳහා එම දරුවාගේ රහසෙඟ් මිරිස් තලියක් ඇතිල්ලීමට ඇය පියවර ගත්තාය. මේ දරුවා ළමා නිවාසයේ රඳවන ලද්දේ අධිකරණ නියෝගයක් මතය. දරුවා දැනට මීගමුව රෝහලේ සිටී. මෙම ළමා නිවාසයේ පිරිමි සහ ගැහැනු දරුවෝ 25 දෙනෙක් වෙති. පෙරකී යම පාලිකාව දරුවන්ට තාඩන පීඩන කරන බවටත් අනිසි බලපෑම් කරන බවටත් තොරතුරු ඇත. මේ කතාව ඇත්තක් නම් දරුවාට ඇය දුන් දඬුවමම ඇයට ද දිය යුතුය. මෙහිදී මිරිස් කුඩුවලට ගම්ම්රිස් කුඩු ස්වල්පයක් ද මිශ‍්‍ර කළ යුතු බව අපි නිර්දේශ කරමු. එවිට දැවිල්ල වැඩිය. යම පාලිකාව පිළිබඳ පුවත ඊයේ දිවයිනේ පළ විය.

කෙළින් සිට ගැනීමට නොහැකි තරමට කසිප්පු ගැසූ පියා සිය නව යොවුන් දියණියට අතොරක් නැතුව පහර දී බෙල්ල පෑගීම හේතුවෙන් කෝපයට පත් පුතකු පිහියකින් ඇන පියා මරා දැමීම පිළිබඳව පුවතක් කටානින් වාර්තා වෙයි. මසට විකිණීම සඳහා සතුන් ඇති දැඩි කරන මේ පියා කසිප්පු බී නිවසට පැමිණ බත් බෙදා දෙන ලෙස සිය දියණියට නියෝග කර ඇත. ඇය බෙ¥ බත් පතෙහි ඇති ඌරු මස්වල තෙල් කැබලි වැඩිපුර ඇතැයි කියමින් පියා දියණියට පහරදීමට පටන්ගෙන ඇත. එවිට පියාගෙන් තමා බේරා ගන්නා ලෙසට නැගණිය විසින් අයියාගෙන් ඉල්ලනු ලැබ තිබේ. එකෙනෙහිම පිහියක් අතට ගත් තරුණයා පියාගේ පිටට එයින් ඇන්නේය. අප අදහන ආගම ධර්මයේ හැටියට මේ තරුණයා කර ඇත්තේ ආනන්තරීය පාප කර්මයකි. මව මැරීම, පියා මැරීම, බුදුන්ගේ ඇෙඟ් ලේ සෙලවීම, රහතුන් මැරීම, සඟුන් භේද කිරීම යනාදී පව් ආනන්තරීය පාප කර්මයට අයත් බව අප මෙහිලා සඳහන් කරන්නේ පාඨකයන්ට ඒවා අමතක වන නිසා නොව අපට හිටි ගමන් ඒවා අමතක වන නිසාය. පියා මැරීම නිසා අපායේ අපරාධ විධිවිධාන සංග‍්‍රහයට අනුව තරුණයා අපාගත විය යුතුය. එහෙත් මේ නීච කාලකන්නි සහ අලූගුත්තේරු පියා සිය දියණියට කළ අපරාධයෙන් ඇය ගලවාගත් සහෝදරයාට දිව්‍ය ලෝකයේ ඉඩක් ඇති බව අපි විශ්වාස කරමු. අප මේ කතුවැකියේ මාතෘකාවෙහි උත්තම මිනිසා ලෙස අර්ථකථනය කරන්නේ ඉහත කී තරුණයා ය. ගෙදර සාමාජිකයන්ට හිංසා පීඩා කිරීමට ගොස් පුතාගෙන් ගුටි කා මියගිය පළමුවන තැනැත්තා ඉහත සඳහන් මරණකරු පමණක් නොවේ. මීට පෙර ද සිය මවට අසීමිත ලෙස පියා විසින් පහරදෙන ආකාරය බලා සිටීමට බැරි වූ පුතෙක් පොල්ලකින් ගසා පියා මැරීය. මෙය සාවද්‍ය මිනී මැරුමක් හෙවත් හදිසි කෝපයෙන් සිදු වූ අරමුණු සහගත නොවන මනුෂ්‍ය ඝාතනයක් නිසා නීතියෙන් සහනයක් ලබා ගැනීමට විත්තිකරුවන්ට ඉඩ ඇත. ඒ කෙසේ වෙතත් මෙබඳු ප‍්‍රවෘත්ති කොපමණ පළ කළත් එයින් පාඩම් ගන්නා පියවරු හිඟ ය.

දිවුලපිටියේ ළමා නිවාසයේ යම පාලිකාව වැනි ස්ත‍්‍රීහු විශාල වශයෙන් මේ ජන සමාජයේ වෙසෙති. ?ට නින්දෙන් මුත‍්‍ර පහ කිරීම කිසියම් ආකාරයක මානසික රෝගයකි. ඒ බව තේරුම් ගැනීමට නොහැකි නිවාස පාලිකාවන් සුදුසු වන්නේ වළං සේදීම, වැසිකිළි පිරිසිදු කිරීම වැනි කටයුතුවලට ය. එක් අතකට අපේ එසේ සඳහන් කිරීමෙන් කසළ ශෝධක වෘත්තියේ නිරත වන වැදගත් පිරිමින්ට සහ කාන්තාවන්ට සිදුවිය හැකි සිත් රිදීම ගැන ඔවුන් අපට සමා විය යුතුය. මෙබඳු උමතු නිවාස පාලිකාවන් නිසා කඩවත ප‍්‍රදේශයේ පිහිටි බාලිකා නිවාසයක දැරියෝ මහත් දුකක් වින්දාහ. ඒ අතර සල්ලාලයන්ට දැරියන් විකුණන ළමා නිවාස පාලිකාවන් ගැන මීට මාස කිහිපයකට පෙර රූපවාහිනී නාලිකාවක් මගින් හෙළි කරන ලදී. අඩුපාඩුවලින් ගහන වූ අපේ නීති පද්ධතිය මගින් මෙබඳු ප‍්‍රචණ්ඩ කාන්තාවන්ට නිසි දඬුවම් ලබා දෙන්නේ නැත. අපේ දණ්ඩ නීති සංග‍්‍රහය ඉතා ඉක්මනින් සංශෝධනය කළ යුතුය. නැතහොත් මෙවැනි නීච කාන්තාවන් වෙතින් දරුවන් අපහරණය වීම නොවැළැක්විය හැකිය. නින්දෙන් මුත‍්‍රා කිරීම නිසා දඬුවම් ලැබූ කුඩා පිරිමි දරුවාගේ මානසික මට්ටම කොතරම් පරිහානියට පත්වී ඇත්ද යන්න ඔබ සිතන්නේද? ඇතැම් විට මෙවැනි දරුවෝ බොහෝ කල් යනතුරු මුත‍්‍රා අඩස්සියෙන් පෙළෙති. මුත‍්‍රා කිරීමට සූදානම් වන හැම විටකම ඔහුගේ හිතේ වැඩ කරන්නේ යක්ෂණියක වැනි පාලිකාවගේ රුව සහ මිරිස් ගුලියයි. ඒ නිසා එම පාලිකාවට ද එම අත්දැකීම ම ලැබෙන පරිදි කටයුතු කළ යුතු බව මේ කතුවැකිය මුලදී අපි සඳහන් කළෙමු. අපේ මතය නැවතත් තහවුරු කරමු.

advertistmentadvertistment
advertistmentadvertistment