මේ මගේ කතාව – අසිහියෙන් ලියූ සටහන්

116

ජී. බී. එක්ක යෑම

පොඩි එකා මේ සැරේ සා. පෙළ ලියනවා. ඒකා ඉස්කෝලෙ යනවාට වඩා යන්නෙ ටියුෂන් පන්ති. බිරිඳත් ඒකට උල්පන්දම් දෙනවා. ඈ කියන්නෙ ඉස්කෝලෙ උගන්නන්නෙ නෑ කියල. ටියුෂන් පන්තිය කරන්නෙත් ඉස්කෝලෙ සර්මලු. ඒකට නොගියොත් ළමයාගෙන් වාඩුව ගනීවිලු. ඒත් අම්මා ඉස්කෝලෙ යන්න කියනවා. අම්මා කටගහනවා. ඈ ඕන එකටයි එපා එකටයි දෙකටම කටගහනවා. ඈත් ගුරුවරියක් ඉස්සර. දැන් ඉතිං ගෙදර එකම ගිනිවිජ්ජුම්බරයක්. මට ඕන වුණේ කන්දොස්කිරියාවෙන් මිදෙන්න. මං පාරට බැස්සා. පාරට බහින එක අමාරු නෑ. මං කොහොමත් පාරට වැටුණු මිනිහෙක්. පාර දිගේ මං ඇවිදගෙන ගියා. පාර දිගේ මගෙ දෙපා ගියා. දෙපා අනුව මං පාද තිබ්බා. දිගටම පාද තිබ්බා. පාද නැවතුණේ කොළඹ මහජන පුස්තකාලෙ ළඟ. මට ඕන වුණේ පුස්තකාලෙ විමර්ශන අංශයේ මේසයක් ළඟ වාඩි වෙලා නවකතාවක් කියවන්න. නවකතා කියවන්න විමර්ශන අංශයට යන්න ඕනද? අර කියවීම් අංශය තියෙන්නෙ. අර කැන්ටින් එක තියෙන්නෙ. ඒ විතරද? ශ්‍රවණාගාරේ ළඟ, තණබිස්සෙ, තෙල්බැම්මෙ…. ඔය කියන ඕන තැනක කියවන්න බැරියැ නවකතා. ඒත් මං කැමති නෑ ඒ තැන්වලට ගිහින් ත්‍රෛලෝකවිජය පත්තර බලන්න. මට ඕන විජය පත්තර බලන්න නෙවෙයි. ඒ පන්තිය මං පහුකරලා හුඟක් කල්. මට ඕන නිශ්ශබ්ද තැනක ඉඳන් පොතක් කියවන්න. කොටින්ම කල්පනා ලෝකයක තනි වෙන්න.

ඒත් ටික වෙලාවයි මට විමර්ශන අංශයේ ඉන්න සිදු වුණේ. එතනත් එකම කච කචේ. එක පැත්තක කෙල්ලො – කොල්ලො පොත්වල කඩදහි ඉරනවා. තව පැත්තක ලව් කරනවා. ලව් හොඳයි. ඒත් ලව් ඉලව් වෙන හැටි ඇස් දෙකට පේන හින්දා බලා ඉන්න අමාරුයි. මං විමර්ශන අංශයේ ඉඳලා පුස්තකාලෙන් පහළට බැස්සා. බැහැලා මහපාරටම ආවා. මහපාරෙ එකම සෙනඟක්. කට්ටියක් ගාලකඩාගෙන දුවනවා. දුවන එක් කෙනෙක්ගෙන් මං ඇහුවා කොහෙද මේ දුවන්නෙ කියල. ඒ මනුස්සයා කිව්වා පෙරහැරේ අලි කුලප්පු වෙලා කියල. “පෙරහැර මෙහෙ කොහෙද අයිසෞ” කියල ඇහුවාම කිව්වෙ “නුවර කුලප්පු වුණු අලි මෙහෙටත් ඇවිල්ලා!” කියල. මාත් ටිකක් වික්ෂිප්ත වුණා. ඒත් මට හයියෙන් දුවන්න බෑ. මං හෙමින් අඩිය තිබ්බා. දුව දුව ආපු තව මනුස්සයෙක් මගේ ඇඟේ හැපුණා. “අලි එළවනවා නේද?” කියල අහද්දි ඒ මනුස්සයා දුන්නු උත්තරේ “නෑ. බල්ලොත් එක්ක බෑ බලන්න දුවනවා” කියල.

සෙනඟෙන් මිදෙන්න මං පාරේ වම් පැත්තෙ ආනන්ද කුමාරස්වාමි මාවතට, නෑ, නෙළුම් පොකුණ මාවතට හැරුණා. අර මනුස්සයා දුවන්නෙ මහින්ද රාජපක්ෂ රඟහලට වෙන්න ඕන. පටන්ගත්තෙ කාලෙ ඉඳලා ඒකෙ පෙන්නන්නෙ බල්ලොත් එක්ක බෑ තමයි. මං ඉස්සරහට ඇවිදගෙන ගියා. දැන් පාරෙ සෙනඟ නෑ. අවට පොඩි නිස්කලංකයක්. කොහෙද යන්නෙ කියල අදහසක් තිබුණෙ නෑ මට. මං හෙමින් සීරුවේ පාද තිබ්බා. විහාරමහාදේවියේ රූස්ස ගස්කොළන් පදික තීරුවට සෙවණ ගෙනාවා. ටික දුරක් යද්දි මට පෙනුණා හිසට තොප්පියක් දාපු තරමක් වයසක පුද්ගලයෙක් මටත් වඩා සෙමින් පාද තිය තියා බිම බලාගෙන ඇවිදිනවා. ඔහු කළු සපත්තු දෙකක් දාලා ටයි එකක් එක්ක සුදු කෝට් එකකුයි සුදු කලිසමකුයි ඇඳලා හිටියෙ. අතේ කුඩයක් තිබුණත් අව්වට ඉහලුවේ නෑ. අනික් අතේ පොතක්. මං බැලුවා පොත මොකක්ද කියල. ‘මුදුපානි’. මුදුපානිද? මධුපානිද? මිනිහා මධුපානය ටිකක් අරන් වගේ. ඔලොක්කුවට වගේ මං ටික දුරක් මෑන් යන විධියට පිටිපස්සෙන් ඔහු අනුකරණය කරමින් ඇවිද්දා. ඒත් මට හිතුණා ඒක හරි නෑ කියල. මොනවා වුණත් තලස්තෑනි මනුස්සයෙක්. තනිකමකුත් දැනුණු හින්දා මට හිතුණා ඔහුට කථා කරන්න. හුදකලා මිනිස්සු හුදකලා මිනිසුන්ට ප්‍රේම කරනවා කියනවානෙ. මං ළඟට කිට්ටු කරලා ඔහුගේ මුහුණ බැලුවා. දෙයියනේ! මාව බිරන්තට්ටු වුණා. ජී. බී. සේනානායක මහත්තයා. ජී. බී. සේනානායකෟ ඒක වෙන්න පුළුවන්ද? එතුමා හිටියේ කොයි කාලෙද? මට ආයෙත් සැක සිතුණා. ඒත් ළඟට කිට්ටු වෙන්න බයක් දැනුණා. ගැහෙන හදවතින් මං එතුමාගේ මුහුණ බැලුවා. ඔව්. මේ ජී. බී. සේනානායක මහත්තයා තමයි. මං ඔහුගේ මුහුණ බලාගෙන ඉන්න අතරෙම ඔහු මගේ දෙසට හිස හැරෙව්වා. නිහඬ වතින් ටික වෙලාවක් මගෙ දිහා බලා සිටි ජී. බී. මහත්තයා “මොකද මේ ළමයා?” යි ප්‍රශ්නාර්ථයක් යොමු කළා. මොනවා කියන්නද කියල හිතාගන්න බැරි වුණා. “මට පේන විධියට තමුන්නාන්සෙත් පුස්තකාලෙට ගිහින් එනවා වගේ,” ඔහුම මට පිළිතුරක් දුන්නා. “ඔව් සර්.” මට කියන්න පුළුවන් වුණේ එච්චරයි.

ආයෙත් එතුමා ගමන ආරම්භ කළා. මාත් ඔහු අනුව පිය එසෙව්වා. අපි දෙදෙනාගෙන් කවුරුවත් කථා කළේ නෑ. දෙදෙනාගේම සිත් නම් එකිනෙකා හා කථා කළා. “තමුන්නාන්සෙගේ රස්සාව මොකක්ද?” මොකක්ද මගෙ රස්සාව? මං රැකියා විරහිත උපාධිධාරී ගොඩේ කියන්න මට හිතුණා. ඒත් මට කියවුණේ වෙන උත්තරයක්: “මං පත්තරකාරයෙක්.” මොහොතක් නතර වී මා දිහා බැලූ ජී. බී. මහත්තයා “බොහොම හොඳයි. ඒත් සදාකාලික පත්තරකාරයෙක් වෙන්න එපා.” මං ගොළුවතින් ඔහුට ඇහුම්කන් දුන්නා. “මට හිතෙනවා තමුන්නාන්සෙ කතා එහෙමත් ලියනවා කියල. කතා ලිවීම හොඳයි. හැබැයි කතා ලිව්වාට කවදාවත් දියුණු වෙන්න බෑ.” ටික දුරක් මේ විධියට කතාබහ කරමින් ගිය ජී. බී. මහත්තයා හිටිගමන් විහාරමහාදේවී උයනේ බංකුවක් ඇති දිහාට පියවර මැන්නා. අනතුරුව එහි වාඩිවෙලා හිස පැළඳි තොප්පිය ගලවා පසෙක තැබුවා. හිසේ තරමක් තට්ටය පෑදී ඇතත් ඔහුගේ හිසකේ මැනවින් පැත්තට පීරා තිබුණා. “මං හැමදාම මෙතනට එනවා. දැන් අවුරුදු සීයක් විතර තිස්සෙ මං මේ දිනචරියාවේ තමයි…. තමුන්නාන්සෙට ඕන නම් මාත් එක්ක ඉන්න පුළුවන්. නැත්නම් යන්න පුළුවන්.” මං දැන් භය හිතෙන දේට පදම් වුණු මිනිහෙක්. මං එතුමාට කිව්වා “නෑ. මං ආසයි ජී. බී. මහත්තයා එක්ක කථා කර කර ඉන්න” කියල. එතුමාගේ මුහුණ මගේ උත්තරේට එච්චර හොඳ පාටකට හැරෙනු පෙනුණෙ නෑ. “මට තනි රකින්න නම් මා එක්ක ඉන්න ඕන නෑ. මං කැමතියි තමුන්නාන්සෙ එක්ක බරසාර දේ ගැන කථා කරන්න,” එතුමා කිව්වා. මං මගෙන්ම සමාව අරගෙන ඔහුගේ බංකුවේම පැත්තක හිඳ ගත්තා. මං බරසාර දේවල් දන්නෙ නෑ. ඒත් එතුමා යෝජනා කළ හින්දා මං එතුමාගෙන් නිසඳැස් කවිය එතුමා සොයාගත්තෙ වෝල්ට් විට්මන්ගෙන්දැයි ඇසුවා. ජී. බී. මහත්තයාගේ මුහුණ ඇඹුල් වුණා. “කවි කියන එක කවුරුවත් අනුකරණය කරලා ලියන්න බෑ. ඒත් විට්මන්ගේ කවි මං කියවලා තියෙනවා.” එතුමා උත්තර දුන්නා. “ඇයි ඔබතුමා ‘පලිගැනීම’ කෙටිකතා පොතට නිසඳැස් එකතු කළේ? නිසඳැස් ටික වෙනම කවි පොතක් විධියට පළ කරන්න තිබුණානෙ?” මං ආයෙත් ප්‍රශ්නයක් යොමු කළා. “මේ ළමයා කවි – කෙටිකතා කියවන ළමයෙක්ද?” එතුමා ඇහුවේ නෝක්කාඩු ස්වරයෙන්. “ඔව්, මං නිතර කියවනවා.” “එහෙනම් තමුන්නාන්සෙ දන්නෙ නැද්ද ලෝකයේ කතාවලටත් දාන්න බැරි කවිවලටත් දාන්න බැරි ලියවිලි වගයක් තියෙනවා කියල. අනිත් එක ඔය නිසඳැස කියන අපභ්‍රංසෙටත් මං විරුද්ධයි. කවුද ඔය විකාර නම් දීලා තියෙන්නෙ.”

සංවාදය කෙරීගෙන යද්දි මං වටපිට බැලුවා. හාත්පස කළුවර වෙලා. මාව රත් වුණා. මට අත්ඔරලෝසුවක් තිබුණෙ නෑ වෙලාව බලන්න. මං අහස දිහා බැලුවා. අහස අඳුරුයි. ඒ කියන්නෙ රෑ වෙලා. ආපහු ගෙදර යන්න ඕන නේද? කොච්චර දුර යන්න ඕනදෟ මං බංකුවෙන් නැඟිට්ටා. “කවිය කියන්නෙ හෘදස්පන්දනයක්. කෙටිකතාව කියන්නෙත් හෘදස්පන්දනයක්. ඒත් ඒ දෙකට නිර්මාණ උත්තේජනය වෙන්නෙ දෙවිධියකට. කෙටිකතාවටත් අයිති නැති පද්‍යයටත් අයිති නැති නිදහස් රචනාවලට නිර්මාණ උත්තේජනය වෙන්නෙ තවත් විධියකට.” ජී. බී. මහත්තයා දිගටම කථා කරනවා. මං මොකද කරන්නෙ? මට මොනවා කරන්නද කියල හිතාගන්න බැරි වුණා. මං උගුර පෑදුවා. ඒත් එතුමාට ඒක ඇහුණේ නෑ. ඒත් ඊළඟ මොහොතේ එතුමා කථා කළා:

“මට තේරෙනවා, තමුන්නාන්සෙට කුටුම්බයක් තියෙනවා. එහෙම නේද?” මගේ සිතුවිලි එතුමා තේරුම් අරගෙන තිබුණා. “තමුන්නාන්සේට ගෙදර ප්‍රශ්නෙකුත් තියෙනවානෙ. ළමයා, මාත් ඉස්කෝලෙන් ගත්තු අධ්‍යාපනයක් නෑ. මං ගියේ හතේ පන්තියට. අධ්‍යාපනය තියෙන්නෙ පාසලෙන් එළියේ. සැබෑ විශ්වවිද්‍යාලය තියෙන්නෙ පුස්තකාලවල.” එතුමා මගේ ඔළුවට වද දුන් ප්‍රශ්නයටත් උත්තර දුන්නා.

“හැබැයි මතක තියාගන්න මිනිහෙකුට ඉගෙන නොගෙනත් මිනිහෙක් වෙන්න බෑ. ඉගෙනගෙනත් මිනිහෙක් වෙන්න බෑ.”

එතුමා අන්තිමට කිව්වා. දරන්න බැරි වරදකාරී හැඟීමක් කර තියාගෙන මං ජී. බී. සේනානායක මහත්තයාගෙන් සමුගෙන ටවුන්හෝල් පැත්තට ඇවිදගෙන ආවා. මං කල්පනා කළේ එක දෙයයි. කොල්ලාට උගන්නනවාද, නැද්ද කියල. ජී. බී. මහත්තයා කියන විධියට ඉගෙනගෙන වැඩක් නෑ, ඉගෙන නොගෙන වැඩකුත් නෑ. ඒත් කොල්ලාට ඒ කිසිවක් නොකර මිනිහෙක් වෙන්න පුළුවන් නම්! නෑ, කොහොමත් මිනිහෙක් වෙන්න බෑ මේ රටේ. මේ රටේ මිනිස්සු නෑ. මිනිස්සු ඉන්නෙ මළවුන් අතරේ. ජී. බී. මහත්තයාත් මළවුන් අතරේ. සරච්චන්ද්‍ර මහත්තයාත් මළවුන් අතරේ. සමහර විට සරච්චන්ද්‍රයන් මළවුන්ගේ අවුරුදු දා සමරනවාත් ඇති. එක අතකින් අපිත් ඊට වැඩි වෙනසක් නෑ. අපි හැමෝම මළවුන් අතරේ. අපිත් මළවුන්ගේ අවුරුදු කනවා. ඉක්මනින්ම නැවත එතොත් මළවුන්ගේ අවුරුදු දා – මටත් නැවත එන්ට ඇහැකි මළගිය ඇත්තන් කැටුවම!

● රවීන්ද්‍ර විජේවර්ධන
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment