ශිවාජිලිංගම් නෙරපීමත් සමග විග්නේෂ්වරන්ගේ පක්‍ෂය දෙකඩ වීම ඇරඹෙයි

307

සී.වී. විග්නේෂ්වරන් මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් දෙමළ ජනතා සන්ධානයෙන් හිටපු මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා පෙරේදා (7 දා) ඉවත් කොට තිබේ.

එම්.කේ. ශිවාජිලිංගම් කාලයක් දෙමළ ජාතික සන්ධානය සමග සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හා උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කළ අයෙකි. ඔහු පසුව විග්නේෂ්වරන්ගේ පක්ෂය සමග එක් වී එහි මහ ලේකම් ධුරයේ කටයුතු කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවට යෑමට පෙර දෙමළ දේශපාලන පක්ෂ විසින් ඉන්දීය අගමැතිවරයාට ලිපියක් යවමින් 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කොට එය ක්‍රියාවට නංවන ලෙස ඉල්ලීමක් කොට තිබුණි. එදා 13 වෙනි සංශෝධනය වර්තමානයට නොගැළපෙන නිසා එහි සඳහන් කරුණු සංශෝධනය කිරීමක් ද පළාත් සභාවලට ඉඩම් හා පොලිස් බලතල ලබා දෙන ලෙසද එම ලිපිය මගින් ඉල්ලා තිබුණි.

නමුත් ශිවාජිලිංගම් හිටපු මන්ත්‍රීවරයා තනිවම ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට හා රනිල් වික්‍රමසිංහ ජනධිපතිවරයාට ලිපියක් යවමින් ඉල්ලා තිබුණේ උතූරු නැගෙනහිර එකාබද්ධ කිරීම සඳහාත් 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම සඳහාත් ජනමත විචාරණයක් පැවැත්වීම කාලෝචිත බවයි. ඒ නිසා ජනමත විචාරණයක් පවත්වන ලෙස එම ලිපිය මගින් දෙරටේ රාජ්‍ය නායකයින්ගෙන් ඉල්ලා තිබුණි.

ශිවාජිලිංගම් හිටපු මන්ත්‍රීවරයා පක්ෂයේ ප්‍රතිපත්තිවලට පටහැනිව යමින් අත්තනෝමතික ලෙස කටයුතු කළේ යැයි දෙමළ ජනතා සන්ධාන පක්ෂය තීරණය කොට ශිවාජිලිංගම්ට ඉල්ලා අස්වන ලෙස මීට දින තුනකට පෙර දැනුම් දී ඇති නමුත් ඔහු ඉල්ලා අස් නොවීම නිසා පක්ෂයේ මධ්‍යම කාරක සභාව යාපනයේදී රැස්වී ඔහු පක්ෂයෙන් ඉවත් කිරීමට තීරණය කොට තිබේ.

මේ තීරණයත් සමගම ශිවාජිලිංගම්ට හිතවත් පිරිස ඔහු වටා එක්වීමට තීරණය කොට ඇති නිසා විග්නේෂ්වරන් මන්ත්‍රීවරයාගේ දෙමළ ජනතා සන්ධානය දෙකඩවීම ආරම්භ වී තිබේ.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment