ගෙවුණු ආදරවන්තයන්ගේ දිනට පසු වදනක්

ආදරය ගැන කතා කරපු ආදරණීය සතියක් ගෙවී අවසන්ය. ආදරය කියන හැඟීම හිත් එක්ක ගනුදෙනු කරන්න ගත්තම මිනිස්සු හරි අපූරුවට ජීවිතේ විඳින්න පටන් ගන්නවා. ඒ හැඟීම මෙහෙමයි කියලා විස්තර කරන්න බැහැ. වැරදි, අඩුපාඩු මොනවා තිබුණත් හිත් අස්සට ආදරේ රිංගුවම ඒ දේවල් වචන විතරක්ම වෙලා යනවා. බලාපොරොත්තු මහා ගොඩක් එක්ක හීන දකිමින් ජීවත් වෙන්න පටන් ගන්නවා. සමහර අය අල්ල ගත්ත අත් මගින් අතෑරලා දාලා යද්දි සමහරු මොන තරම් ප්‍රශ්න, බාධක ආවත් අල්ල ගත්ත අත නොහැර ඉන්නවා. ප්‍රේමය කියන්නේ බලා ඉඳීමක් නෙමෙයි, හැබැයි බලා ඉඳීමත් ප්‍රේමයක්.

ආදරණීය සතියක නිමාවක අපට ඇසුණු ආදරණීයම කතාවට සුන්දර අනාගතයක් උදා වේවිද? ඒ ආදරණීය කතාව පෙළගැසෙන්නේ මෙලෙසින්ය.

සම්පත් චන්ද්‍රගුප්ත විදානපතිරණ කියන්නේ දෙමාපියන් මියගිය පසු එම සෙනෙහසත් අහිමි වී ගිය පුද්ගලයෙකි. එහෙත් ඔහු දේශපාලන මාවතේ පියනඟමින් තංගල්ල ප්‍රාදේශීය සභාවට තේරීපත් වන්නේ එහි සභාපති ධුරයද හිමිකර ගනිමින්ය. ගමට, ජනතාවට, ශාසනයට, සංඝයා වහන්සේලාට නොපිරිහෙලා සිය යුතුකම් ඉටු කරමින්, අවශ්‍යතා සපුරාලමින් ඉතාමත් ජනහිතකාමී ලෙස ඔහු සිය දේශපාලන දිවිය ගත කරනුයේ කාගෙත් ප්‍රසාදය දිනා ගනිමින්ය. ඒ කෙසේ වෙතත් සෑම සුදු ඇඳුමකටම වැසීගිය අඳුරු පැතිකඩක් පවතින බව නොරහසකි. එයට හොඳම උදාහරණය චන්ද්‍රගුප්ත ය. මක්නිසාද යත් චන්ද්‍රගුප්තගේ චරිතය මැරකම්වලින් ද නොඅඩුව සමන්විත වූවකි. එමෙන්ම කාම ගින්නට හසුවන්නා ඉන්ම දැවී යන්නේ යැයි පවසන වදන සත්‍යයක් කරමින් චන්ද්‍රගුප්තට දෙදහස් එකොළහ වර්ෂයේ ඉතාමත් අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දීමට සිදු විය.

සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය තරුණ යුවල තංගල්ල ප්‍රදේශයේ හෝටලයක ලැඟුම්ගනු ලබනවා. ඔහු බි්‍රතාන්‍ය ජාතික තරුණයකු සහ ඇය රුසියානු ජාතික තරුණියක විය.

සිපිරිගෙයට ද ආදරය පොදුය ඒ ආදරය දිනයකට වඩා වටිනේය

කෙසේ නමුත් චන්ද්‍රගුප්තගේ කාම ඇසට මේ රුසියානු තරුණිය හසුවන්නේ අහම්බයකින් වාගේය. ඈ ගැන උපන් ආශාව සමග ඔහු ඇයගේ පෙම්වතා වූ බි්‍රතාන්‍ය ජාතික තරුණයා ඝාතනය කරනු ලබනවා. ඉන් අනතුරුව රුසියානු ජාතික තරුණිය අමානුෂික ලෙස දූෂණයට ලක් කරමින් වධ හිංසා පමුණුවනු ලබන්නේ මුළුමහත් තංගල්ලම කළඹවමින් හිත්පිත් නැති අමානුෂිකයකු ලෙසය.

යුක්තිය සාධාරණයට කවදත් ගරු කරන සොබාදහම සහ අයුක්තියට හිස නොනමන නීතිය මේ සිදුවීම සම්බන්ධයෙන් දැඩි ලෙස ක්‍රියාමාර්ග ගනිමින් චන්ද්‍රගුප්ත පොලිස් අත්අඩංගුවට පත් කරනුයේ කඩිනමින්ය. අවසානයේ උසාවි නියෝගය මත ඔහුට ජීවිතාන්තය දක්වා මරණ දඬුවම හිමිවන්නේ කළ පව් පලදීමක් ලෙසය.

ඒ සියල්ල කෙසේ සිදු වුවත් ඒ සිදු වීම හේතුවෙන් රුසියානු ජාතික තරුණිය මාස කිහිපයක් ආබාධිත තත්ත්වයට පත් වෙමින් රෝද පුටුවට කොටු වන්නේ ධෛවයේ සරදමකින්ය.

එසේ වුවත් චන්ද්‍රගුප්ත මෙම සාහසික අපරාධය සිදු කරන විටත් ඔහු පෙම්වතෙකි. ආදරණීය ගැහැණු ආත්මයක ප්‍රේමය උරුමකොට ගත් පෙම්වතෙකි.

ඔහුගේ හුදකලා දිවියට එළිය කැන්දා ආ ඇය ඔහුට මුණගැසෙණුයේ සිය දේශපාලන සම්බන්ධතා මත නිතර ආගිය නිවසකදීය. එකී නිවසේ වූ සුරූපී තරුණියක් චන්ද්‍රගුප්තගේ හිත සොරා ගන්නට සමත් විය. එමෙන්ම මෙම කඩවසම් තරුණ දේශපාලනඥයාට ඇයගේ හිත ඇදී යන්නේත් නිතැතින්ය. වෘත්තීමය වශයෙන් ඇය රාජ්‍ය බැංකුවක උසස් නිළයක් දරන්නියකි. නමුත් කෙසේ හෝ මොහුගේ කළු – සුදු දෙබිඩි චරිතය පිළිබඳ හොඳාකාරවම දැන ඇය ඔහු සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනඟා ගන්නේ සිත් තුළ පූදින ප්‍රේමනීය හැඟුමන්වලට ප්‍රමුඛත්වය ලබා දෙමින්ය.

ඝාතනය හා දූෂණය කිරීමේ වරදට ඔහු සිරගත වනවිටත් දෙදහස් නවය වසරේ ඇරඹි ඔවුන්ගේ ප්‍රේම සම්බන්ධයට වසර දෙකක කාලයක් ගත වී අවසන් ය. තරුණ ජීවිතයේ සුන්දරම වකවානුවේ ඇය මේ සියලු කරදර කෙසේ හෝ ඉවසා දරා ගන්නේ මටසිලිටු ගැහැණු සිතක ශක්තිමත්භාවය මනාව පැහැදිලි කරමින්ය. අඬා වැලපී ඵලක් නොවන වග අවබෝධ කර ගත් ඇය ජීවන යථාර්ථයට මුහුණ දෙන්නට විය. සාපරාධී ක්‍රියාවකට වැරදිකරු වී ඔහු සිරගත කිරීමෙන් පසුවත් ඇය සිය ආදරණීය පෙම්වතා අතැර දැමුවේ නැත. ඇය නිරන්තරයෙන් ඔහු ගැන සොයා බලමින් ඇයට හැකි සෑම විටම ඔහුව හමුවන්නට, බලන්නට පවා යන්න එන්නට පුරුදු වූයේ නොයෙක් දෝෂාරෝපණ, බාධක ඈ වෙත එල්ල වෙද්දීය.

එම සිදුවීම සිදු වී වසර ගණනාවක් ගතව ඇතත් අදටත් චන්ද්‍රගුප්ත සිරමැඳිරියක කොටු වී තමා කළ වැරදි සියල්ල තේරුම් ගනිමින් නිදහසක හෝ මරණයක බලාපොරොත්තු සහිතව බලා සිටින්නේ පසුතැවෙමින්ය.

වසර ගණනාවක් ගත වුවත් සිය ප්‍රේමවන්තයා අත්නොහැරි ඇයද තමා කළ ප්‍රේමයට අරුත් පුරවමින් ඔහු නිදහස් වී පැමිණෙන දිනක ඔහු සමඟ සුන්දර අනාගතයක් ගොඩනඟන්නට අදටත් බලාපොරොත්තුවෙන් මඟ බලා සිටින්නේ ආදරය යන්න පරිත්‍යාගය හා කැපකිරීම් ගොන්නක එකතුවක් බව අපූරුවට පැහැදිලි කර දෙමින්ය.

චින්තනි වික්‍රමනායක

advertistmentadvertistment
advertistmentadvertistment