බටහිරට නව මාටින් ලූතර් කෙනකු අවශ්‍යයි

193

වත්මනෙහි ඇමෙරිකාව ප්‍රධාන බටහිර රටවල යොදා ගැනෙන වචනයක් නම් වෝක් (woke) යන්නයි. එහි සම්භවය අප්‍රිකානු ඇමෙරිකානු ඉංගිරිසියට යන බව කියනවා. වෝක් යන්නෙහි සාමාන්‍ය ඉංගිරිසි අදහස අවදිවුණා යන්නයි. එහෙත් අද ඉංගිරිසියෙහි වෝක් යන්න සමාජ අසාධාරණය පරිසර දූෂණය බලකාමීත්වය ආදී ප්‍රධාන වශයෙන් දේශපාලන කරුණු ගැන අවදියෙන් සිටීම අවධානයෙන් සිටීම වැන්නක් පිළිබිඹු කිරීම සඳහා යොදා ගැනෙනවා. අපට සිදත් සඟරාවේ වහරනු සෙරෙන් සපයා මතක් වෙනවා. අපොයි මා සිදත් සඟරාව කියවා නැහැ. සිදත් සඟරාව ගැන නම් කියවා තියෙනවා.

බටහිරට නව මාටින් ලූතර් කෙනකු අවශ්‍යයි

මට මතක හැටියට ඉලොන් මස්ක් තමා වෝක් කියා කිවුවා. ඔහු සකර්බර්ගගේ තරගකරුවෙක්. සකර්බර්ගේ පිහිටෙන් තමයි පඬි නැට්ටන් තම නැටි බව ප්‍රදර්ශනය කරන්නේ. මෙහි නැටි කියා යොදා ගන්නේ ඉංගිරිසි වචනාර්ථයෙන් ම නොවෙයි. වෝක් යන්නට සිංහලෙන් වචනයක් නැහැ. අවධානයෙන් සිටීම අවදියෙන් සිටීම වැනි වචන යොදා ගන්න පුළුවන්. වෝකිසම් යන්න අවධානවාදය වෙන්න පුළුවන්. අවශ්‍ය නම් අවධානග්‍රාහින් ගැන කියන්න පුළුවන්. මස්ක් අවධානග්‍රාහියෙක්.

අද ඇමරිකාවේ හා එංගලන්තයේ විශ්වවිද්‍යාලවල අවධානග්‍රාහී රැල්ලක් ඇති වෙලා. ඒ විශේෂයෙන්ම ඊශ්‍රායලය සම්බන්ධව. ඇමරිකාවේ කොංග්‍රසය (මහජන නියෝජිත මණ්ඩලය) යෝජනාවක් සම්මත කරලා හාවඩ් පෙන්සිල්ගේනියා හා එම්අයිටී විශ්වවිද්‍යාලවල සභාපතිවරුන් ඉල්ලා අස්විය යුතුය කියා. එක් අයකු අස්වෙලා. කාට හරි කියන්න පුළුවන් මේ විශ්වවිද්‍යාල ස්වාධීනත්වයට පහරක් කියා. මේ විශ්වවිද්‍යාල පෞද්ගලික විශ්වවිද්‍යාල. ඒ ආයතන පෞද්ගලික ධන හිමියන්ගෙ ආධාර මත රැඳෙන්නෙ. ආධාරකරුවන් බොහෝ දෙනෙක් රිපබ්ලිකන්. කොංග්‍රසයේ යෝජනාවට රිපබ්ලිකන් මන්ත්‍රීන්ගේ පමණක් නොව බොහෝ ඩිමොක්‍රටික් මන්ත්‍රීන්ගෙත් ඡන්දය ලැබිලා.

අද අවධානාග්‍රාහි රැල්ල ඊශ්‍රායලයට විරුද්ධයි. ඊශ්‍රායලය ගාසා තීරයේ කරන නොපනත්කම්වලට විරුද්ධව අවදිවීමක් සිදුවෙලා. එහෙත් එය යුදෙව් විරෝධී රැල්ලක් බවට ද පත්වෙලා. සාමාන්‍යයෙන් බටහිර යුදෙව් විරෝධයක් තියෙනවා. එය අවුරුදු සිය ගණනක් පැරණියි. යුදෙව්වන්ට විරුද්ධව අවුරුදු දහස් ගණනක් තිස්සේ ආර්යයන්ගේ විරෝධයක් තියෙනවා. ඒ ආර්යයන් තමයි යුදෙව්වන් පලස්තීන ප්‍රදේශයෙන් පන්නා දැමුවෙ. අවුරුදු දහස් ගණනක් තම නිජභූමියෙන් පිටව සිටි යුදෙව්වන් ඊනියා දෙවැනි ලෝක යුද සමයෙන් පසු බ්‍රිතාන්‍යයන් ප්‍රමුඛ බටහිරයන් විසින් ඊශ්‍රායලයේ පදිංචි කරනු ලැබුවා. එහෙත් ඊශ්‍රායලය ක්‍රමයෙන් තම සීමා පළල් කරගෙන.

බටහිර ආසියාවේ යුදෙව් විරෝධය ආර්යයන් ඉස්ලාම් ආගම වැළඳ ගැනීමෙන් පසුවත් ක්‍රියාත්මක වුණා. අද එය මුස්ලිම් යුදෙව් ගැටුමක් බවට පත් වෙලා. බටහිර ඇතැමුන්ටත් තවමත් යුදෙව් විරෝධය තියෙනවා. යුදෙව්වන් වෙළෙන්දන් පමණක් නොව රේඛීය වියුක්ත චින්තනයේ ඉහළම බුද්ධිමතුන්. ඒත් පඬි නැට්ටන් තරම් බුද්ධිමතුන් නොවෙයි. ඒ අතර අර අවධානග්‍රාහී අදහස් නිසා ගාසා තීරගේ කරන මනුෂ්‍ය ඝාතන ගැන විරෝධයක් මතුවෙලා. ඉහත සඳහන් විශ්වවිද්‍යාලවල යුදෙව්වන් සමූල ඝාතනය කළ යුතුය යන අදහස ඇති වෙලා. කොංග්‍රසය එහි සභාපතිවරුන් අස්විය යුතු ය යනුවෙන් යෝජනාවක් සම්මත කර ගෙන ඇත්තේ එබැවිනුයි.

අවධානග්‍රාහීන්ට විරුද්ධව කියැවෙන්නේ පලස්තීනුවන් ඊශ්‍රායලයේ කතුන් දූෂණය කිරීම් ආදිය අවධානාග්‍රාහීන්ගේ අවධානයට යොමු නොවන බවයි. අද වන විට ගාසා තීරය මුළු ලෝකයේම අවධානයට යොමු වෙලා. බයිඩන්ගේ නායකත්වය යටතේ ඇමරිකාව ඊශ්‍රායලයට පක්ෂපාතීයි. එහෙත් ඇතැම් බටහිර රටවල් ඒ තරමට පක්ෂපාති නැහැ. කැනඩාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය පවා ඇමෙරිකාව සමග මුළුමනින් එකඟ නැහැ. අද පසැස් (Five Eyes) යනුවෙන් හඳුන්වන ඇංග්ලිකන් ක්‍රිස්තියානි රටවල් පහේ බුද්ධි අංශවලින් බ්‍රිතාන්‍ය පමණයි ඇමෙරිකාව සමග සිටින්නේ.

කෙසේ වෙතත් බටහිර රටවල එහි පදනමට විරුද්ධ අදහස් ප්‍රකාශ වෙනවා. එහෙත් ඒ විරුද්ධවාදී අවධානග්‍රාහීන්ට තමන්ට වූ ක්‍රමයක් නැහැ. එබැවින් මේ විරෝධතා එක් අරමුණක් කරා ගොනු වෙන්නේ නැහැ. බටහිර නූතනත්වයට යම් චින්තනයක් තිබුණා. අප එය හඳුන්වන්නේ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය ලෙස. ඒ චින්තනය සකස් කිරීමෙහි ලා පැරණි යුදෙව්වන්ට හා ග්‍රීකයන්ට අමතරව මාටින් ලූතර් වැන්නන් විශාල කාර්යභාරයක් ඉටු කළා.

අද බටහිරට නව මාටින් ලූතර් කෙනකු අවශ්‍යයි. මාටින් ලූතර් කිං වැන්නන්ට ඒ තැනට එන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මෙය ඊනියා පශ්චාත් නූතන තත්ත්වයක් නොවෙයි. බටහිරයන්ට අලුත් ලෝකයක් අවශ්‍යයි. එහෙත් එයට මැවුම්කරුවකු නැහැ. මෙරට බුද්ධිමත් පඬි නැට්ටන්ට ලොකු අවකාශයක් තියෙනවා.

● මහාචාර්ය නලින් ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment