සත්‍යජිත් රායිගේ “චාරුලතා” චිත්‍රපටයේ ‘අමි චිනි ගො චිනි තොමාරේ ’ නම් වූ ඉමිහිරි නොස්ටැලජියානු හැඟීමකින් සහෘද සිත් සතපවනසුලු ගීතයක් ඇත. එම ගීතය සුප්‍රකට ගායක කිෂෝර් කුමාර් විසින් ඉතා ළයාන්විතව ගායනා කරන අතර එහි පබැඳුම සහ තනු නිර්මාණය රබීන්ද්‍රනාත් තාගෝර්ගේ ය. මෙම ගීතයේ සරල වචනාර්ථය මෙසේය.

“ඔබ ආගන්තුක බව මම දනිමි
ආගන්තුක, ඔබ විදෙස් බිමක
වාසය කරයි
මම ඔබව සරත් ඍතුවේ
උදෑසන දුටුවෙමි
මම ඔබව සුවඳවත් උදෑසනක දුටුවෙමි
ආගන්තුකය, මම ඔබව මගේ
හදවතින් දුටුවෙමි
මම අහසට සවන් දුන්නා
මම ඔබේ ගීත අසා තිබෙනවා
මම මගේ ජීවිතය ඔබට භාර දුන්නෙමි,
ආගන්තුකය
මම ලොව පුරා හිඳ තිබේ.
මම මේ අලුත් බිමට පා තැබුවේ ඔබේ
ආගන්තුකයා ලෙසයි.
මම ඔබේ දොර ඉදිරිපිට සිටගෙන සිටිමි’

බොහෝ දෙනා විශ්වාස කරන මතය නම් තාගෝර් මෙම ගීතය කවියක් ලෙස ලියා ඇත්තේ සිය විදෙස් පෙම්වතිය සිහිකරමින් බවයි. අනතුරුව එයට තනුවක් නිර්මාණය කර රායි ගේ චිත්‍රපටයකට මෙසේ ඇතුළත් කර ඇත. මෙම ප්‍රේමණීය නිර්මාණයේ කියවෙන පරිදි තාගෝර්ගේ ජීවිතයේ ආස්වාදනීය ම ඍතුවක් ගෙන ආ විදෙස් ය කවුද?

ඇය ආර්ජන්ටිනාවේ බුද්ධිමතියක ලෙස මෙන් ම ලේඛිකාවක ලෙස සැලකෙන රමෝනා වික්ටෝරියා එපිෆනියා රුෆිනා ඔකම්පෝ (Ramona Victoria Epifania Rufina Ocampo) නොහොත් වික්ටෝරියා ඔකම්පෝ වෙයි. 1924 දී වික්ටෝරියා හා තාගෝර් අතර මේ ආදරය ඇතිවන්නේ ඔහු සහ ඇය ප්‍රථමවරට සම්මුඛ වෙන ආර්ජන්ටිනාවේ ශාන්ත ඉසිඩ්‍රෝහි දී ය. එය ද අහඹු සිදුවීමකි. විටෙක තාගෝර් පේරු වෙත යමින් සිටිය දී ඒ වනවිට පැතිරෙමින් පැවැති ඉන්ෆ්ලුවෙන්සා රෝගයකින් බලවත් සේ අසී.ප වුණි. ඒ හේතුවෙන් බුවනෝස් අයර්ස් හි ඔහු රඳවා තබා ගෙන අවශ්‍ය වෛද්‍ය පහසුකම් ලබාදෙන්නට සිදු විය. තාගෝර්ගේ නොබෙල් ත්‍යාගය ලද කාව්‍ය ග්‍රන්ථය වන ගීතාංජලියේ ආන්ද්‍රගිඩේ ගේ ප්‍රංශ පරිවර්තනය 1914 දී කියවූ දා සිට වික්ටෝරියාගේ සිතෙහි තාගෝර් සහ ඔහුගේ දර්ශනය කෙරෙහි ගැඹුරු අධ්‍යාත්මික උනන්දුවක් ඇති වුණි. නමුත් තමා වඩාත් ම ප්‍රිය කළ මේ නොබෙල් ත්‍යාගලාභී කවියා ඇයට සැබෑ ලෙස හමුවීමට අවස්ථාවක් ලැබෙනු ඇතැයි ඇය සිහිනයකින්වත් සිතා සිටියේ නැත. ආර්ජන්ටිනාවේ වෛද්‍යවරුන් තාගෝර්ට පූර්ණ සුවය ලැබෙන තුරු පූර්ණ විවේකයක් ලබාදීමට උපදෙස් දුන් පසු වික්ටෝරියා ඔහුට සත්කාර කිරීමට ඉදිරිපත් වූවා ය. ඒ අනුව තාගෝර් 1924 වර්ෂයේ දී නොවැම්බර්-දෙසැම්බර් යන මාස දෙක තුළ ම අඛණ්ඩව ප්‍රතිකාර ලබාගත් අතර තාගෝර් සහ වික්ටෝරියා අතර සී.ප සබඳතාව වර්ධනය වන්නේ මේ අතර දී ය. ඔවුන්ට හෘදයාන්විතව සී.ප වෙමින් මෙම සම්බන්ධතාවය වර්ධනය කරගැනීමට අවස්ථාව ලැබුණේ මාස දෙකක කාලයක් පුරා පමණි.

තාගෝර් ගේ කාව්‍යමය ආදර අන්දරය වික්ටෝරියා

එම පළමු හමුවීමෙන් වසර කිහිපයකට පසු ඉතා කෙටි කාලයකට පැරිසියේ දී නැවත වරක් පමණක් හමුවීමට ඔවුන්ට අවස්ථාව ලැබුණ ද එම සම්බන්ධය දෙදෙනාට ම ඉතා ගැඹුරු සහ හෘදයාංගම හැඟීමක් ඇති කළ අතර එම ප්‍රේමයේ ආස්වාදනීය හැඟීම ඔවුන් මිය යන දිනය දක්වා ම නොනැසී පැවතුණි. 1930න් පසු ඔවුන්ට නැවත හමුවීමට අවස්ථාවක් නොලැබුණි. නමුත් 1941 දී තාගෝර්ගේ අභාවය දක්වා ම මේ ආදර සම්බන්ධය නිරන්තර ලිපි හුවමාරුව හරහා පැවැතුණ බව සඳහන්වේ. මෙම සම්බන්ධතාවය නිසා දෙදෙනා ම අධ්‍යාත්මිකව ප්‍රදීපනය වූ අතර එමගින් ඔවුන්ගේ නිර්මාණාත්මක කටයුතුවලට නවමු මානයන් එක් කළ බව පිළිගැනේ. තාගෝර් සහ වික්ටෝරියා අතර වයස් පරතරය අවුරුදු 29කි. තාගෝර් ඉපදුණේ 1861 දී. වික්ටෝරියා ඉපිද ඇත්තේ 1890 දී ය. මේ දෙදෙනාගේ පවුල් පසුබිම අතර ද විවිධ සමානකම් දකින්න පුළුවනි. දෙදෙනාම ප්‍රභූ පවුල්වල සාමාජිකයන් වන අතර ඒ ඒ රටවල වංශාධිපති, බලගතු අය සමග ඉතා කිට්ටු සම්බන්ධතා තිබූ අය වූහ. නමුත් මේ දෙදෙනාගේ පවුල් පසුබිමේ බරපතළ ම වෙනස වූයේ තාගෝර් වඩාත් ලිබරල් දැක්මක් සහිත නිර්මාණකරුවෙකු වීමත්, වික්ටෝරියා දැඩි ඕතඩොක්ස්, ආගමික කොටුවක සිය පවුල විසින් සිරකර තැබූ කෙනෙකු වීමත් කියන කාරණාව ය. ඒ නිසා ලේඛිකාවක ලෙස සිය හැඟුම් නිදහසේ මුදාහරින්න ඇයට ඉඩ ලැබුණේ නැත. නමුත් ඇය පළමු වරට තාගෝර් ගේ ‘ගීතාංජලී’ කෘතිය කියවූ පසු ඇය ආසකළ නිදහස් හා ලිබරල් ලෝකයේ දොර විවර වෙනු ඇයට දැනුණි. ලිබරල්ව සිතන වික්ටෝරියා ‘හොඳ බිරිඳක්’ කිරීමේ උවමනාවෙන් ඇගේ පවුලේ සාමාජිකයන් විසින් ඇයව විවාහ කර දුන්න ද එය ඛේදවාචකයක්ව 1920 දී නිමා වුණි.

තාගෝර් ගේ කාව්‍යමය ආදර අන්දරය වික්ටෝරියා

ඇත්ත වශයෙන් ම, වික්ටෝරියාට පෙර සහ පසු, බොහෝ විදේශීය සහ ඉන්දියානු කාන්තාවන් තාගෝර් වෙත ආකර්ෂණය වුණ බව ඉතිහාසය තුළ සටහන් වෙයි. ඔහු ද ඔවුන් කෙරෙහි ද උනන්දුවක් දැක්වීය. නමුත් 1925 සිට 1941 දක්වා ඔහුගේ මරණය සිදුවන තෙක් වසර 17ක් තුළ වික්ටෝරියා, තාගෝර්ගේ සිතෙහි ලොකු කොටසක් අත්පත් කරගෙන තිබුණා ය. ‘පූරබි‘ කවි ඇයට කැප කිරීමට අමතරව, තාගෝර් තවත් බොහෝ කවි හා කථාන්දර මෙන්ම සිතුවම් ද ඇය වෙනුවෙන් ලියා, ඇඳ ඇති බව කියවේ.

විචාරකයන් පවසන පරිදි, තාගෝර් සහ වික්ටෝරියා අතර සම්බන්ධය ගැන පොත් හෝ ලිපි ලියන විවිධ කතුවරුන් විවිධ කෝණවලින් මේ සම්බන්ධතාවය දෙස බැලූ නමුත් ඉන් බහුතරයක් තාගෝර් සහ වික්ටෝරියා ගේ බුද්ධිමය සහ අධ්‍යාත්මික නැඹුරුතාවන් නොසලකා හැර ඇත. ඒ නිසා ඔවුන් අතර ඇති සම්බන්ධතාවයේ සම්පිණ්ඩිත සාරය ග්‍රහණය කර ගැනීමට ලෝකය අපොහොසත් වුණි. බොහෝ දෙනෙක් මෙම සම්බන්ධතාව දෙස බලා ඇත්තේ සාමාන්‍ය ස්ත්‍රී පුරුෂ ප්‍රේම සම්බන්ධතාවක හුදු නරඹන්නන් ලෙසින් පමණි. කෙසේ වෙතත්, ගැඹුරු තීක්ෂණ බුද්ධියක් සහිත අයෙකුට මෙම ප්‍රේමය සමග ඔවුන්ගේ ඇතිවූ බුද්ධිමය උත්කර්ෂණය, ලෝක දැක්ම සහ අධ්‍යාත්මික නැඹුරුතාවන් අධ්‍යයනය කිරීම මගින් තාගෝර් සහ වික්ටෝරියා අතර සම්බන්ධය බාහිර ලෞකික අධ්‍යාත්මික තලයකට ඔබ්බට ගිය ප්ලේටෝනියානු ප්‍රේමයක් බව හඳුනාගත හැකිය. ඇත්ත වශයෙන් ම, මෙම සම්බන්ධතාවයට පුරුෂයා සහ ස්ත්‍රිය අතර ෆ්‍රොයිඩියානු අදහස වන ආශාවේ භූගත බන්ධන සාධකයක් තිබූ බව ප්‍රතික්ෂේප කරන්නට නො හැකිය. නමුත් ඒ සමග ම, ඔවුන්ගේ චින්තන ක්‍රියාවලියේ බුද්ධිමය පරිමාව නිසා එය ඉහළ තලයකට නැඟී අධියථාර්ථවාදී මානයන් අතර තිබූ බව සිතාගතන්නට හැකිය.

තාගෝර් ගේ කාව්‍යමය ආදර අන්දරය වික්ටෝරියා

1941 දී වික්ටෝරියා ඔකම්පෝ, රබීන්ද්‍රනාත් තාගෝර්ගේ මරණය ගැන දැනගන්නේ මෝටර් රථ රේඩියෝවකින් ප්‍රචාරය වුණ ප්‍රවෘත්තියකිනි. ඒ මොහොතේ ඇය බුවනෝස් අයර්ස් සිට මාර් ඩෙල් ප්ලාටා වෙත යමින් සිටියා ය. ඇය වහාම තාගෝර්ගේ පවුලේ සාමාජිකයන්ට විදුලි පණිවුඩයක් යැව්වාය. විදුලි පණිවුඩයේ සඳහන් වුණේ මේ වචන තුන පමණි. ‘ ඔහු ගැන සිතමින්.’ මෙම ආදර අන්දරය මොනතරම් කතා බහට ලක්වුණා දැයි කියනවා නම් මෙය පදනම් කරගෙන, වික්ටෝරියා ගේ මේ විදුලි පණිවිඩයේ නමින් ම 2018 දී සිනමා නිර්මාණයක් පවා නිෂ්පාදනය වුණි. Thinking of him චිත්‍රපටය ආර්ජන්ටිනා – ඉන්දියා නිෂ්පාදනයකි. එය අධ්‍යක්ෂණය කළේ ආර්ජන්ටිනා චිත්‍රපට අධ්‍යක්ෂ පැබ්ලෝ සීසර් විසිනි. මෙහි තාගෝර් ගේ චරිතය නිරූපණය කරන්නේ ප්‍රකට බෙංගාලි රංගන ශිල්පී වික්ටර් බැනර්ජි විසිනි. වික්ටෝරියාගේ චරිතය ආර්ජන්ටිනා රංගන ශිල්පිනී එළියෝනෝරා වෙක්ස්ලර් විසින් නිරූපණය කර තිබුණි.

එකල සිටි ප්‍රබලත ම දකුණු ඇමරිකානු කාන්තාවන් ගෙන් කෙනෙකු වූ වික්ටෝරියා ඔකම්පෝ ද 1979 දී බුවනෝස් අයර්ස්හි මිය ගිය අතර බුවනෝස් අයර්ස්හි ම ලා රෙකොලෙටා සුසාන භූමියේ ඇයගේ දේහය තැන්පත් කෙරුණි. එලෙස ඔවුන් දෙදෙනාගේ ප්‍රේමණීය ආදර අන්දරය අවකාශයට මතක ගොන්නක් ලෙසින් මුසුවුණ ද ඔවුන්ගේ නිර්මාණ තුළ තවමත් ඒ ආදරයේ ඉමිහිරි සිහිකිරීම් තැවරී ඇත්තේ කිසිවිටකත් එම හැඟීම කල්ඉකුත් නොවන ලෙස රඳවා තබාගනිමිනි.

1924 නොවැම්බර් 21 වැනි දින වික්ටෝරියා ළඟ ආගන්තුකයෙකු ලෙස රැඳී සිටිය දී ඔහු විසින් ලියන ලද Shesh Basanth (අවසාන වසන්තය) කාව්‍යයෙන් මෙය මනාව පිළිබිඹු වෙයි.

ඇවිද යන තර මගේ හුදකලා මඟ
මට ඔබව හමුවුණේ රාත්‍රිය උදාවෙන සවසක
මගේ අත අල්වාගන්නැයි ඔබෙන් ඉල්ලනු හැදූ මොහොතේ
බියවීමි මම දැක ඔබේ වත.
මක්නිසා ද ඔබේ හදවත් ගැඹුරේ අන්ධකාර නිහඬතාවේ
වැතිර නිදා සිටිනා අග්නි ප්‍රභාව දැක.

තාගෝර් අතින් ලියැවුණ අනන්තවත් ප්‍රේම කාව්‍යයන් අතර කොතෙක් නම් වික්ටෝරියා ගේ ආදරයේ සෙවනැලි වැටී තිබෙන්නට ඇත්දැයි තීරණය කළහැක්කේ තාගෝර්ට ම පමණි.

● නෙතුති බටදූව ආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment