වැට් වංගගිරියේ අතරමං වෙමු

733

එකතු කළ අගය මත බද්ද (වැට්) හඳුන්වා දෙනු ලබන්නේ 2002 අංක 14 පනත මගිනි. එය 2002 අගෝස්තු 01 වැනි දින සිට අපේ රටේ බලාත්මක වේ. අප මේ ගත කරන මොහොත වන විට මේ බද්ද සියයට 15 සිට 18 දක්වා ආණ්ඩුව විසින් වැඩි කර තිබීම ජන දුකට පාත්‍ර වී ඇති බව අමුතුවෙන් කියන්නට වුවමනා නැත. වැට් හඳුන්වා දෙන්නේ භාණ්ඩ හා සේවා බද්ද (ජීඑස්ටී) වෙනුවට ය. මේ කියන වැට් (වැලිව් ඇඩඩ් ටැක්ස්) භාණ්ඩ හා සේවා යන දෙඅංශයටම බලපාන සෘජුවම ගෘහස්ථ පරිභෝජනය මත පැටවෙන බද්දකි.

එසේම අපේ රටට ආනයනය කරනු ලබන භාණ්ඩ සහ රට ඇතුලේ සපයනු ලබන භාණ්ඩ හා සේවා මෙම බද්දට යටත් වේ. මෙය එක් අතකින් ගත්කල බහු-අදියර බද්දකි. වක්‍ර බද්දක් වන මෙමගින් ඇති කරන පීඩනය පැටවෙනුයේ භාණ්ඩ හෝ සේවාවල අවසාන පාරිභෝගිකයා වෙතය. ඒ අනුව අවසන් පාරිභෝගිකයා ගෙවන මුදලින් සියයට ප්‍රමාණයක් (දැනට ඉහළ දැමූ සියයට 18) අවසානයේ රජයට ලැබෙනු ඇත.

වැට් මීට පෙරද සියයට 15ක් අයකරනු ලැබීය. එහෙත් හිටපු ජනපති ගෝඨාභය තම ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රකාරව එය සියයට 08 දක්වා අඩු කරනු ලැබීය. එය එක් පෑන් පාරකින් කරන ලද්දක් වන අතර එමගින් ආණ්ඩුවට ලැබිය යුතු රුපියල් ආදායම විශාල වශයෙන් අහිමි විය. අප මේ කියන තත්ත්වයෙන් ගොඩ ඒමට පසුව වැට් සියයට 12, 15 ආදී වශයෙන් අවස්ථා දෙකකදී වැඩිවී දෙයියනේ කියා මේ අවුරුද්ද ලබද්දී එය සියයට 18 දක්වාම වැඩි කළ අතර පෙර නොවූ විරූ ආකාරයට බඩු ලැයිස්තුවක් මත එහි බර දරනු ලැබ තිබේ.

ඇත්තටම අප රටේ ජනයා සිටිනුයේ බදු ගෙවනවා තියා පාන් කියා ගන්නවත් බැරි මට්ටමකය. බොහෝදෙනකු දවස පටන් ගන්නේම අතේ සතේ නැතිව ය. නැත්නම් හාමතේ ය. එසේත් නැත්නම් ණයකාරයාගෙන් කෙසේ බේරේන්නේ දැයි කියාය. ලයිට් බිල්, වතුර බිල්, ළමයින්ගේ වියදම් ආදී මෙකී නොකී දේ සඳහා හතර අතේ ණය වෙන මට්ටමකය. එසේ තිබියදී වත්මන් ජනාධිපතිවරයා ද රටේ ජනයා වැට් නම් වංගගිරියේ රිංගවා ඇත්තේය. එහි කලින්ම ආ ප්‍රතිපල වූයේ තෙල්, ගෑස් මිල ඉහළ යෑමය. එය එතැනින් නවතින්නේ නැත. තවත් භාණ්ඩ අනූහතක් සඳහා ද මෙම බර පැටවේ. ඇත්තටම ගතහොත් අපේ ආණ්ඩුව යම් දෙයක් වැඩි කරන්නේ ද අපේ සත්ගුණවත් ව්‍යාපාරික පැලැන්තිය එය තවත් දෙගුණයක් කර මිල නියම කිරීම කරනු ලබයි. අරකටත් වැඩිවුණා, මේකටත් වැඩි වුණා යැයි කියමින් ඒ චෞර පැලැන්තිය පාරිභෝගික ජනතාවගෙන් වෙනම බද්දක් අය කරන්නේ දැන් බොහෝ කාලයක සිටය. එවැනි කූට ව්‍යාපාරික තැන් වැටලීමට පාරිභෝගික අධිකාරියක් ඇතත් එයින් සත පහක සේවයක් ඇත්තේම නැත.

මේ ආණ්ඩුව පත් වූයේ දහසකුත් සහන දෙන බව කියාය. එහෙත් ආණ්ඩුවේ ධුර කාලය හරි අඩකින් ගෙවෙන්නටත් පෙර ජනතාවට එලෝ පොල් පෙන්නන්නට ගොස් උන්හිටි තැන් අහිමි කර ගත්තේ මේ හැට නව ලක්ෂයේ ආණ්ඩුව ය. මේ ආණ්ඩුවේ අගභාගය වන විට ජනපතිකම් කරනා හැටනව ලක්ෂයේ ප්‍රතිවිරුද්ධවාදී රනිල් වික්‍රමසිංහ ද විටින් විට ඇට්ටි හැලෙන තීන්දු තීරණ ගනී. වැට් වැඩි කිරීම එවැන්නක් බව කියන්නට අප පසුබට වන්නේ නැත.

මේ කරගෙන යන ආකාරයට ගහන ගැහිල්ලෙන් කොහෙන් නතරවේදැයි කියන්න තවම නොහැකි නමුත් මීළඟ ජනපතිවරණය වන විට ජනතාවට පොදු සමා කාලයක් ලැබෙන බව නම් විශ්වාසය.

එතෙක් වැසිකිළි බද්දක් පැනෙව්ව ද පුදුම විය යුතු නොවේ. කාන්තාවන්ට තන බද්දක් ද බල්ලන් ඇති කරනු ලබන අයට බලු බද්දක් වැනි නව බදු ද පැනවීමට පුළුවන. එහෙත් මීළඟ ජනාධිපතිවරණය වන විට අප මේ කියන බදු පැනවූ කෙනෙක් සොයා ගන්නට නොහැකි වනු ඇත. කොටින්ම කිවහොත් මේ බදු නිසා ජනතාව පත් වූ අසහනයට දේශපාලන නායකයන් තම පපුවට ගසා අඬනවා නොඅනුමානය.

එය එසේ කරනු ලබන හෝ ජන දුක පදනම් කරගෙන ඉතා තාත්වික රංගනයක, වචන හරඹයක නිරත වන අපේක්ෂකයා මීළඟ ජනාධිපතිවරණයේදී කප් එක උස්සනවා ඇත. එතෙක් උලා කා හෝ ඔලුව බේරාගෙන සිටියහොත් හොඳ ෂෝ එකක් ලබන ජනපතිවරණයේදී අපට දැක බලා ගැනීමට අනිවාර්යයෙන්ම හැකියාව ලැබෙනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment