ඝාතන 4 ක සැකකරුවෝ 8 ක් දැලේ

53

මරදාන මාලිගාකන්ද ප්‍රදේශයේදී 06 හැවිරිදි දැරියක් වෙඩි තබා ඝාතනය කිරීම මෙන්ම අඹන්පොල, බේරුවල, කොටහේන, තණමල්විල යන ප්‍රදේශවල සිදුවූ මිනිස් ඝාතන 4 කට සම්බන්ධ සැකකරුවන් 8 දෙනකු පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ඉකුත් 17 වැනිදා මරදාන මාලිගාකන්ද ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක ගමන් කරමින් සිටි පියකු සහ 06 හැවිරිදි ඔහුගේ දියණිය වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

වැලිකඩ ඔබේසේකරපුර ප්‍රදේශයේ සැඟවී සිටියදී මෙම ඝාතනයට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගත් අතර ඔවූහු අවුරුදු 36, 61, සහ 62 යන වයස් සීමාවල පසුවන පුද්ගලයෝ වෙති.

මේ අතර ඉකුත් 09 වැනිදා තණමල්විල ප්‍රදේශයේදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවකු ආයුධත් සමඟ පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර කොටහේන ශ්‍රී ගුණානන්ද මාවතේ දී තියුණු ආයුදවලින් පහරදී තරුණයකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු කොටහේන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අවුරුදු 29 සහ 43 යන වයස්වල පසුවන එම සැකකරුවෝ කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවෝය.

බේරුවල ප්‍රදේශයේදී ඉකුත් 08 වැනිදා කාන්තාවකට පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 58 හැවිරිදි සැකකරුවකු මිරිහාන ප්‍රදේශයේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර අඹන්පොල ප්‍රදේශයේදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් 45 හැවිරිදි පුද්ගලයකු අඹන්පොල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment