නොනිමි සිත්තම – කේ. ජයතිලක

1021

උසස් පෙළට සිංහල – 16

සිත්තරකු වන අසංග විවාහ වෙන්නේ මාලිනී සමග ය. මාලිනී අසංග ගේ පන්තියට පැමිණීමෙන් පසුව චිත්‍ර ඇඳීමේ හැකියාව දියුණු කර ගත්තා ය. අපේ හැඟීම්දැනීම් කලින් කලට වෙනස් වෙයි. අසංග සහ මාලිනී අතර විවාහ වීමට පෙර පැවැති සොඳුරු හැඟීම් විවාහ වී කලක් ගත වීමෙන් පසුව වෙනසකට ලක්වේ. සෑම මොහොතක ම අපේ සිරුර පමණක් නොව සිත ද වෙනස් වන අතර වෙනස් වීම යනු ලෝ දහම යි.

නොනිමි සිත්තම කෙටි කතාවට බලපෑ සමාජ සංස්කෘතික පසුබිම.

අසංග සංවේදී සිත්තරකු වුව ද භෞතික දියුණුවත් උජාරු ජීවිතයත් පතන සමාජයකට ඔහු ගේ හැකියාවන් ගෙන් වැඩක් නැත. අසංග ජීවත් වන සමාජය ගොම රිටි මතු ව මැණික් යට ගිය සමාජයකි. එබඳු සමාජයකට වැදගත් වනුයේ බොරු ආටෝපය මිස දාර්ශනික යථාර්ථය නොවේ. තාගෝර් තුමා උගත් පාසල්වලට දැඩි අකැමැත්තක් දැක්වූ අතර හැකි ඉක්මනින් ඒවා හැර ගියේ ය. එමෙන් ම තමන් කළ නිර්මාණ පවා හැවක් සේ බැහැරලීමට තරම් මමත්වය තුනී වූ අයකු නමුදු සියුම් රාගාධී අරමුණුවල අසංග ඇලෙයි. බොරු සෝබනයෙන් පිරි සමාජයක අපිත් දිවියක් ගෙවන කලාකරුවන් අපහාසයට හා උපහාසයට ලක් වී හුදෙකලාවට පත් වන බැවින් සංස්කෘතික හර පද්ධතීන් තව තවත් යට යයි.

නොනිමි සිත්තම කෙටි කතාවේ භාෂාව

අතීතාවර්ජනය ඔස්සේ සිදුවීම් විස්තර කරන කෙටි කතාකරුවා මාලිනී ගේ චරිතයේ කාලානුරූපී වෙනස්කම් දක්වනු පිණිස කදිම උපමාවක් යොදා ගනියි. “ රත් පැහැ ළා රෝස දල්ලක් මෙන් මෑ සිටියේ මොන තරම් මුදු මොළොක් ගතියකින් ද? කෙමෙන් කටු මෝරා රොස් පරොස් වී ගියේ කී දවසට ද? ” මිනිස් හැඟුම්හි වන වෙනස දක්වනු පිණිස සොබාවික පරිසරයෙන් ගත් මේ උපමාව සිත් ගන්නා සුලු ය. ළා රෝස දල්ලක් දකින පෘතග්ජනයා එහි ඇලෙනු මිස අනියත බව දැකීමට නො පෙළැඹෙයි. අසංග ද මාලිනී ගේ සුන්දරත්වයත් චාම් බවත් කෙරෙහි ඇලුණා මිස ඇය ගේ මුදු මොළොක් ගති කලක් ඇවෑමෙන් මෝරා රොස් පරොස් වන බව කල් තබා හඳුනා ගැනීමට සමත් නො වී ය.

නොනිමි සිත්තම කෙටි කතාවේ විස්තර සහ දෙබස්

නොනිමි සිත්තම කෙටි කතාවේ අතීතාවර්ජනය කරන අවස්ථාවල කෙටි කතාකරුවා දිගු විස්තර යොදා ගනියි. කෙටි කතාකරුවා යොදා ගෙන ඇති කෙටි දෙබස් ආකර්ශනීය යි.

“ සර් හරි කරුණාවන්තයි. නෝනා …. ”

“ නෝනා හරි නපුරුයි නේ ද ? ”

ශීලා සඟවා ගත් වදන් අසංග එළියට දමනුයේ ප්‍රශ්නයක සොබාවයෙනි. ඒ දෙබස්වල සජීවී බවක් දැකිය හැකිය. මේ දෙබසින් ශීලා ගේ සිත තේරුම් ගැනීමට අසංගට පැවැති හැකියාව මැනැවින් පෙන්නුම් කරයි.

නොනිමි සිත්තම කෙටි කතාවේ චරිත නිරූපණය

අසංග ගේ චරිතය

“ මනුෂ්‍යයා උපදින්නේ පසිඳුරන්ට ගොදුරු වන මේ විෂය ලෝකයෙහි වුව ද ඔහු වෙසෙන්නේ එහි පමණක් නො වේ. ඔහු මනසට පමණක් ගොදුරු වන කල්පනා ලෝකයක් මවා ගෙන එහි ද වාසය කෙරේ” යැයි එදිරිවීර සරච්චන්ද්‍ර කල්පනා ලෝකය ග්‍රන්ථයෙහි සඳහන් කරයි. අසංග ද මාලිනීට අවංකව ආදරය කළේය. කලාකරුවකු වූ අසංග බවුන් වඩන්නකු නො වුවද කුල, ලාභ, ගණ සහ ඥාති පරිබෝධවලින් තරමක් මිදුණු අයෙකි.

මාලිනී ගේ චාම් බවටත් අහිංසක මුදු බවටත් අසංග ඇලුම් කළේ ය. එහෙත් කලකට පසු මාලිනී ගෙන් ඒ චාම් බව ගිලිහී යෑම නිසා අසංග ගේ සිත ශීලා කෙරෙහි ඇදී ගිය ද එය කායික ඇසුරක් නොවේ.

මාලිනී ගේ චරිතය

චිත්‍ර ඇඳීමේ දක්‍ෂතාවක් තිබුණු මාලිනී මුලින් ම ගුණේරිස් මාස්ටර් ගෙන් චිත්‍ර ඇඳීම ඉගෙන ගත් නමුදු ඇඳීමේ විශේෂ කුසලතාවක් ලබා ගන්නේ අසංග ගේ චිත්‍ර පන්තියට සහභාගී වීමෙන් පසුව ය. ඇය අසංග ගේ සිත් දිනා ගත් අතර පසුව ඔහු සමග විවාහ වූවා ය. පුවත් පතක සේවයට එක් වීමත් සමග මාලිනී වෙනස් වූවා ය. චාම් බව වෙනුවට ඇය බාහිර ඔපයට රිසි වූවා ය.

ශීලා ගේ චරිතය

ශීලා අසංග ගේ කරවල කඩයේ සේවය කරන්නියකි. අවංකව වැඩ කරන ඇය කය ද සිත ද වෙහෙසා වැඩ කරන්නී ය. ශීලා අසංග ගේ කාරුණික බව ප්‍රිය කළා ය. ඇය අවංකව අසංගට ගරු සත්කාර කළා ය.

මාර්ටින් වික්‍රමසිංහ, ජී. බී. සේනානායක සහ අමරසේකර මෙන් ම කේ. ජයතිලක ද අපේ රටේ මුල් කාලීන කෙටි කතාකරුවන් ගෙන් අයෙකි. මුල් කාලීන කෙටි කතාකරුවන් ගේ කෙටි කතාවල ලක්‍ෂණ කෙරෙහි උසස් පෙළට ඉගෙන ගන්නා ඔබේ අවධානය යොමු කිරීම වැදගත් වේ.

නොනිමි සිත්තම - කේ. ජයතිලක

ආචාර්ය – විරාජ් ධර්ම ශ්‍රී
ගා/ අත්‍ථදස්සි කනිටු විදුහල

advertistmentadvertistment
advertistmentadvertistment