කෙටි කලකට සර්වපාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවා කලබල මගහැරුණු පසු ඡන්දයකට යෑම සුදුසුයි

142

මල්වතු අස්ගිරි මහනාහිමිවරු ජනපති හමුවේ පවසති

සමගි සම්පන්නව කෙටි කාලයකට හෝ සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා පවතින කලබල මදක් හෝ මගහැරුණු පසු මහ මැතිවරණයකට යෑම සුදුසු යැයි තමන් වහන්සේලා කල්පනා කරන බව අස්ගිරි මල්වතු මහාවිහාර මහා නායක ස්වාමීන් වහන්සේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ ප්‍රකාශ කොට සිටියහ.

කෙටි කලකට සර්වපාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවා කලබල මගහැරුණු පසු ඡන්දයකට යෑම සුදුසුයි

රට පත්ව තිබෙන අර්බුදයෙන් මුදාගැනීම සඳහා දේශපාලන භේදයෙන් තොරව සියලු දෙනා එකතු වී සතියක පමණ කාලයකදී සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පත් කරමු යන යෝජනාව පක්ෂ නායකයන්ට දැනුම් දුන් බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම හමුවේ පැවසීය. දේශපාලන භේදයෙන් තොරව අදාළ වැඩපිළිවෙළ සඳහා සියලු දෙනා එකතු විය යුතුව තිබෙන බවත්, මෙය ඒ සඳහා අපට තිබෙන අවසන් අවස්ථාව බවත් ඒ මහතා කීය.

කෙටි කලකට සර්වපාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවා කලබල මගහැරුණු පසු ඡන්දයකට යෑම සුදුසුයි

මල්වතු මහා විහාරයට ගොස් එම මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානාහිමියන්ද, අස්ගිරි මහා විහාරයට ගොස් එම පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියන් ද බැහැදැක ජනපතිවරයා පෙරේදා (30) පස්වරුවේ උන්වහන්සේලාගේ ආශිර්වාද ලබා ගත්තේය.

අස්ගිරි මහා විහාරීය මංගල උපෝෂතාගාරයේදී අදහස් දැක්වූ අස්ගිරි මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහානාහිමියෝ මේ රට ඉතාමත්ම දුර්භාග්‍යය සම්පන්න තත්ත්වයකට පත්වුණා කියන කාරණය සියලු දෙනා දන්නා කාරණයක් බවත්, තමන්ගේ නිවස පවා ගිනි තබා විනාශ කළ අවස්ථාවක රනිල් වික්‍රමසිංහ මහතා ඒ සියල්ල ඉවසා දරාගනිමින් ජනපති පදවියට පත්ව ජනතාව වෙනුවෙන් කැපවී ක්‍රියා කිරීම අගය කරන බව ද ප්‍රකාශ කළහ.

රට වෙනුවෙන් තරුණ පිරිසක් පෙරමුණට පැමිණි බවත්, ඔවුන්ගේ අදහස් හා සහාය ලබාගෙන සියලු පක්ෂ සම්බන්ධ කරගනිමින් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම මේ මොහොතේ අවශ්‍ය බවත් කී උන්වහන්සේ, ඒ සඳහා මැති ඇමැතිවරුන් සියලු දෙනාගේ සහාය ලැබිය යුතු බවත් පැවසූහ.

මල්වතු මහාවිහාරීය මංගල උපෝෂතාගාරයේදී අදහස් දැක්වූ එම මල්වතු කාරක සංඝ සභික මහවෙල රතනපාල හිමියෝ අටවන විධායක ජනපති ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා හය වතාවක් මෙරට අග්‍රාමාත්‍යය ධුරය හෙබවූ ජාතික තලයේ පමණක් නොව ජාත්‍යන්තර තලයේ ද සම්භාවනාවට පත් පිරිපුන් දේශපාලනඥයකු බව පැවසූහ.

මේවන විට රට තුළ උද්ගතව තිබෙන සමාජ, ආර්ථික, දේශපාලනික අර්බුද පිළිබඳව නව ජනාධිපතිවරයා හොඳින් දැනුවත් බවත් වසර 45ක දේශපාලන දිවිය තුළ ඇතිවීම් නැතිවීම්, ලැබීම් නොලැබීම්, වැටීම් නැඟිටීම්වලට හොඳින් මුහුණ දුන් පරිණත දේශපාලනඥයකු ලෙස එතුමාට අදාළ ගැටලුවලට විසඳුම් ලබාදීමේ හැකියාව තිබෙන බවත් උන්වහන්සේ කීහ.

බුදු දහම තුළ උගන්වන අත්හැරීමේ ගුණය රනිල් වික්‍රමසිංහ මහතා ජීවිතයට බද්ධ කරගෙන ඇතැයි සිතන බවත් ඒ ඔස්සේ ඇතිකර ගත් අධ්‍යාත්මික සංවර්ධනයත් සමඟ මේ පවත්නා අර්බුදයන් දෙස පැහැදිලි මනසකින් බලා ඒ සඳහා අවශ්‍ය කඩිනම් සහන හා විසඳුම් මහජන සුබසිද්ධිය පිණිස ඉතා ඉක්මනින් ලබාදෙනු ඇතැයි විශ්වාස කරන බවත් රතනපාල හිමියෝ ප්‍රකාශ කළහ. අද වන විට යම් ප්‍රමාණයකට රටේ නීතියේ ආධිපත්‍යය බිඳ වැටී රාජ්‍ය පාලනය කෙරෙහි ඇති මහජන විශ්වාසය යම් ප්‍රමාණයකට කඩා වැටී තිබෙන බවත් පවත්නා තත්ත්වය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් නව ජනපතිවරයා කෙරෙහි විශාල වගකීමක් පැවරී තිබෙන බවත් කී උන්වහන්සේ නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කර රට තුළ සාමය ඇති කිරීමට සුවිශාල වගකීමක් ජනපති දෙවුර මත පැටවී තිබෙන බවද අවධාරණය කළහ.

මෙම අවස්ථාවට එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් යන මහත්වරු ද සහභාගි වූහ.

සමන්ති වීරසේකර
 

advertistmentadvertistment
advertistmentadvertistment