අලුත් කාන්තා පනත් දෙකක් මැයිවල

54

ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව හා කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වන පනත් කෙටුම්පත් දෙක ලබන මැයි මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වන පනතට අනුව වෙනම කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ යාන්ත්‍රණය හඳුන්වා දීම මගින් කාන්තාවන්ගේ අභිවෘද්ධිය සහ සවිබල ගැන්වීම සඳහා විධිවිධාන සැලැස්වීම එහි අරමුණ බවත් ජනාධිපතිවරයා පැවසීය.

මෙම කෙටුම්පත පසුගිය 07දා ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ බවද ජනාධිපති සඳහන් කළේ ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම් උත්සවය අමතමිනි.

මේ අතර කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත වන ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබඳ කෙටුම්පත එළැඹෙන සතියේ ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බව කී ජනාධිපති සමාජ, දේශපාලන, ආර්ථික, සංස්කෘතික සහ තාක්ෂණික ප්‍රතිපත්ති සකස් කිරීමේ දී ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සහ සමානාත්මතාවය පිළිබඳ මූලධර්ම ස්ථාපිත කිරීම සහ ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම එම පනත හරහා සිදුවන බව ද කියා සිටියේය.

මෙම පනත් කෙටුම්පත් දකුණු ආසියානු කලාපය තුළ හඳුන්වා දී ඇත්තේ පළමුවරට බව ද පැවැසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගන්නා අයවැයකරණය ද ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment