ඉන්දු-ලංකා ධීවර ගැටලුව ලිහන්න සාකච්ඡා

33

ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු කලාපයට පැමිණීම නිසා ඉන්දු – ලංකා ධීවරයන් අතර ඇතිව තිබෙන ගැටලුවට ස්ථිර විසඳුමක් ලබා ගැනීම වෙනුවෙන් නැවතත් සාකච්ඡා කිරීමට දෙරට තීන්දු කර ඇත.

මෙලෙස තීන්දු කර ඇත්තේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක හා ඉන්දීය මහකොමසාරිස් සංතෝස් ජා මහත්වරුන් අතර ඉකුත් සතියේ පැවැති සාකච්ඡාවකින් අනතුරුවය.

ඉන්දීය ධීවරයින් මෙරට උතුරු මුහුදට අනවසරයෙන් ඇතුළු වී බොටම් ට්‍රෝලින් ඇතුළු නීති විරෝධී පන්න ක්‍රම භාවිතා කිරීම කාලයක පටන් සිදුවන අතර මෙය ලංකාවේ ධීවරයන්ගේ විරෝධයට හේතුවී තිබේ.

එලෙස නීති විරෝධීව පැමිණෙන ධීවරයන් ශ්‍රී ලංකා නාවුක හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා අතර එලෙස අත්අඩංගුවට ගත් ධීවරයෝ 170දෙනකුට ආසන්න පිරිසක් මේ වන විට බන්ධනාගාර ගතව සිටිති. එයින් කිහිප දෙනෙකුට පසුගිය දිනක මෙරට අධිකරණය විසින් දඬුවම් පැමිණ වූ අතර එයට විරෝධය පළ කරමින් ඉන්දියානු ධීවරයින් පිරිසක් එරට දී මේ වන විටත් උපවාසයක් ආරම්භ කර තිබේ.

මෙම ගැටලුව දෙපාර්ශ්වය සාකච්ඡා කරමින් තාවකාලිකව විසඳා ගත්ත ද නැවත නැවතත් එම ප්‍රශ්නය ඇතිවන හෙයින් දීර්ඝ කාලීන ස්ථිර විසඳුමක් ලබාදිය යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහස වී තිබේ. ඉන්දීය රජය ද එම අදහසට එකඟතාවය පළ කළ බැවින් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක හා ඉන්දීය මහකොමසාරිස් ඇතුළු කණ්ඩායම ඊට අදාළව සාකච්ඡා ආරම්භ කර තිබේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment