මිල්ලනියේ ගුරුවරියගේ මුදල් පසුම්බිය සිද්ධියේ සිසුවකුට විදුලි සර වැද්දවීම

403

වයර් එකිනෙක ස්පර්ශ කර විදුලිසර වැද්දවීමට බැහැ නියෝජ්‍ය රස පරීක්‍ෂක ජී. ජී. මඩවලගෙන් අධිකරණයට වාර්තාවක්

පාසල් ගුරුවරියකගේ මුදල් පසුම්බියක් පන්ති කාමරය තුළදී අතුරුදන් වීමක් මුල්කරගෙන මිල්ලනිය ප්‍රදේශයේ පිහිටි කනිෂ්ඨ පාසලක පහ ශ්‍රේණියේ සිසුවකුට විදුලිසර වැද්දීම සඳහා උපයෝගි කරගත්තේ යැයි කියන මිල්ලනිය පොලිසියේ පොලිස් ජීප් රථයේ පණිවුඩ හුවමාරු යන්ත්‍රය පරීක්‍ෂා කිරීමේ දී එහි වයර එකනෙක ස්පර්ශකර පුද්ගලයකුට විදුලි සර වැද්දවීමක් හෝ පිළිස්සීමක් සිදුකළ නොහැකි බව රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ රස පරීක්‍ෂක වාර්තාවක් මගින් පෙන්වා දී තිබේ.

එම වයර දෙක එකිනෙක ස්පර්ශ කිරීමෙන් තාපයක් උත්පාදනය කරගත හැකි වුවද විලායකය ඉන් ක්‍ෂණිකව දැවී විදුලි ධාරාව විසන්ධි වන බැවින් තාපය උත්පාදනය වීම ඇනහිටින බවත් නියෝජ්‍ය රස පරීක්‍ෂක ජී. ජී. මඩවල මහතා ඉදිරිපත් කළ එම රස පරීක්‍ෂක වාර්තාව මගින් අධිකරණයට පෙන්වා දී තිබේ.

කෙසේ වුවද එම ජීප් රථයේ දැනට සවිකර ඇති බැටරියට විලායකයක් රහිතව බාහිරින් සම්බන්ධ කරගත් විදුලි රැහැන් දෙකක හෝ රථය තුළ තිබූ රථවාහනවලට භාවිත කරන හෝ (වැඩි විදුලි ධාරාවක් ලබාගත හැකි) වෙනත් ආරෝපිත බැටරියක අග්‍රවලට සම්බන්ධ කරගත් විදුලි රැහැන් දෙකක හෝ නිරාවරණය වූ අග්‍ර එකිනෙක ස්පර්ශ වීමට සැලැස්වීමෙන් තාපය උත්පාදනය කරගත හැකි වන අතර ඒවා යම් පුද්ගලයකුගේ ශරීරය මත ස්පර්ශවීමට සැලැස්වීමෙන් අදාළ පුද්ගලයාගේ සම්මත පිළිස්සුම් තුවාල ඇතිකළ හැකි බව එම රස පරීක්‍ෂක වාර්තාව මගින් වෙන්වා දී ඇත.

මහෙස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය නොවැම්බර් 10 වැනිදා කරන ලද නියෝගය අනුව ජ්‍යෙෂ්ඨ සහකාර රස පරීක්‍ෂකවරුන් වන ඩබ්ලිව්. පී. ඒ. ආර්. ඩී. බණ්ඩාර, ඩබ්ලිව්. කේ. ආර්. ප්‍රනාන්දු යන මහත්වරුන් පසුගිය නොවැම්බර් 18 වැනිදා එම ජීප් රථය පරීක්‍ෂා කොට තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment