දිනකට කිලෝ ලක්‍ෂ 6 ක් අවශ්‍ය විට පසුගිය කාලයේ නිකුත් කළේ කිලෝ 30,000 යි…. පාලන මිලට දිගටම සහල් දෙන්න මෝල් එකඟයි

149

ඇමැති බන්දුල ගුණවර්ධන

සහල් මෝල් වැටලීම්වල ප‍්‍රතිඵලයක් ලෙස එකඟ වූ පරිදි අඛණ්ඩව සහල් තොග වෙළෙඳ පොළට නිකුත් කිරීමට ප‍්‍රධාන මෝල් හිමියන් එකඟතාවකට පැමිණ තිබෙන බව වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

මෙලෙස මෝල් හිමියන් අඛණ්ඩව සහල් සපයන බවට අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා හා පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් හමුවේ පෙරේදා (8 දා) දිනයේම ලිඛිත එකඟතාවයකට පැමිණ තිබෙන ඇමැතිවරයා සඳහන් කළේය.

මෝල් හිමියන් තම වගකීම් හා යුතුකම් එකඟ වූ පරිදි ඉටුකරන්නේ නම් වැටලීම් කිරීමට අවශ්‍ය නොවන බවත්, එය පාරිභෝගික ජනතාවට මෙන්ම ව්‍යාපාරිකයින්ටත් සහනයක් බවත් හෙතෙම පැවැසීය.

අඛණ්ඩව වෙළෙඳ පොළට සහල් සැපයීම් සිදුකරන බවට සාකච්ඡුා සම්මුතීන් ඇතිකර ගෙන තිබියදී පසුගිය සතියේ දී දිගින් දිගටම වෙළෙඳ පොළට සහල් සැපයීම ප‍්‍රධාන මෝල් හිමියන් නතර කළ බව ද හෙතෙම කීවේය. සතොස මගින් සහල් මිලදී ගැනීමට කැඳවූ ටෙන්ඩර්වලට පවා මෙම මෝල් හිමියන් ඉදිරිපත් නොවූ බවත්, දිනකට ලක්ෂ පහක්, හයක් පමණ වෙළෙඳ පොළට සහල් නිකුත් කරන මහා පරිමාණ මෝල් හිමියන්ගෙන් ඇතැමුන් දිනකට නිකුත් කර ඇත්තේ සහල් කිලෝ 30,000ක් පමණ සුළු ප‍්‍රමාණයක් බවත් පැවැසූ ඇමැතිවරයා දිනකට සහල් කිලෝ ලක්ෂ හයක් නිකුත් කළ යුතු වෙළෙඳ පොළට කිලෝ තිස් දහසක් නිකුත් කිරීම තුළින් රටේ විශාල සහල් හිඟයක් නිර්මාණය වීමට ඉඩ තිබූ බවත් සඳහන් කළේය.

මේ නිසා ප‍්‍රධාන මෝල් වටලා සතොසට අවශ්‍ය කරන සහල් තොග ලබා ගැනීමට පියවර ගත් බව පැවැසූ ඇමැතිවරයා සහල් හිඟයක් ඇති කර වෙළෙඳ පොළේ සහල් මිල ඉහළ නැංවීමට සූක්ෂම ලෙස සකස් කළ කුමන්ත‍්‍රණකාරී වැඩපිළිවෙළක් පරාජය කිරීමට ජනාධිපතිවරයා විසින් අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයකු පත්කර ඒ යටතේ පැවරුණු බලතල අනුව රට තුළ හිඟයකින් තොරව රජය නියම කර තිබෙන සාධාරණ මිල ගණන් යටතේ භාණ්ඩ බෙදා හැරීම සඳහා විධිවිධාන සැලසීමට පියවර ගත් බවත් පැවසීය.

වී මෝල් හිමියන් නාඩු සහල් කිලෝවක් රුපියල් 98කටත්, සම්බා කිලෝවක් රුපියල් 103කටත් සැපයීමට මේ වන විට එකඟ වී ඇතැයි ද ඇමැතිවරයා කීවේය.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment