බස් හෝල්ට්වල නිදාගත්ත වාර අනන්තයි – ප්‍රින්සිපල්ගෙන් හොඳට බැණුම් අහන – රන්දික

99

ක්‍රිස් ඇන්තනී අධ්‍යක්‍ෂණය කරන අපේ ප්‍රින්සිපල් සිනමා නිර්මාණය හරහා මේ දිනවල හැමෝම අතර කතාබහ වෙන චරිතයක් තමයි මංජු මුදලිගේ කියන්නෙ. ඔහු ටෙලි නාට්‍යවල වගේම ප්‍රසංග වේදිකාවේත් දකින්න ලැබෙනව. ඉතිං ඔබත් කැමති ඇති මංජුගෙ විස්තර ටිකක් දැනගන්න.

ඔබ රංගනයෙන් දායක වන අපේ ප්‍රින්සිපල් මේ දිනවල සාර්ථකව තිරගත වෙනවා?

මේ මගේ දෙවැනි චිත්‍රපටය. ඇත්තටම කියන්න ඕන අපේ ප්‍රින්සිපල්ට ලැබෙන ප්‍රතිචාර ඉතාමත් ඉහළයි. පාරේ යන එනකොට වුණත්, ප්‍රමෝෂන් වලට හෝල් වලට ගියත් දකින අය කියන්නෙ මූව නම් මරන්න ඕන කියල. මේ දවස්වල බැණුම් අහන එකම තමයි කරන්නෙ.

අධ්‍යක්‍ෂ ක්‍රිස් ඇන්තනී” පිටපත් රචක ලලිත් අරුණ රාජපක්‍ෂ සහ කැමරා අධ්‍යක්‍ෂ විශ්වජිත් කරුණාරත්න යන අය හරහා තමයි මට මේ චරිතය ලැබෙන්නේ. මේ වෙලාවේ ඔවුන් තිදෙනාට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.

බස් හෝල්ට්වල නිදාගත්ත වාර අනන්තයි - ප්‍රින්සිපල්ගෙන් හොඳට බැණුම් අහන - රන්දික

රන්දිකට වැඩිපුර ලැබෙන්නෙ ගල්මුල් ප්‍රහාරද?

ඔව්… ඔව්… තනිකරම තියෙන්නෙ ගල් මුල්. සමහරු එනව මූට නම් ගහන්නමයි ඕන කියල. ඒ ඇවිත් ඔයා චරිතය හොඳට කරල තියෙනව කියල යනව.

කොහොමද මංජුට රන්දිකව මුණගැහෙන්නෙ?

අපේ කැමරා අධ්‍යක්‍ෂ විශ්වජිත් කරුණාරත්න මට එන්න කියනව. ඒ පැමිණි වෙලාවෙ අධ්‍යක්‍ෂ ක්‍රිස් ඇන්තනී සහ පිටපත් රචක ලලිත් අරුණ රාජපක්‍ෂ මුණගැහෙනව. පසුව අපි තුන්දෙනාම එකතුවෙලා චරිතය ගැන කතා කළා. ඒ විදිහට තමයි පිටපත මගේ අතට ලැබෙන්නෙ.

ඒ මොහොතෙ තිදෙනාම මේ සාර්ථක බව දැක්කද?

ඇත්තම කිව්වොත් මම හිතුවෙ නැහැ නිර්මාණය මේ තරම් ඉක්මනට තිරගත වෙයි කියල. මොකද අවුරුදු දොළහ” පහළොව පරණ නිර්මාණ තියෙනව තවමත් තිරයට ගේන්න බැරිව. මුලින්ම මම සතුටු වෙන්නෙ මේ තරම් ඉක්මණට තිරගත කරන්න ඉඩක් ලැබුණ එක ගැන. අපි චරිත රඟපෑවට මුහුරත් උළෙලෙදි චිත්‍රපටය දැක්කාම තමයි හිතුනෙ ෂා… මේක මාරයිනෙ කියල. නමුත් හිතුවෙ නැහැ මේ තරම් ප්‍රතිචාර ලැබෙයි කියල.

ප්‍රින්සිපල් ගැන කතා නොකරම බැහැ?

අපි පාසල් යන කාලෙ දේදුන්නෙන් සමනලියක් චිත්‍රපටයේ පටන් අද වන තුරු දුටු ඒ දැවැන්ත චරිතය” ප්‍රවීණ රංගන ශිල්පිනී දිල්හානි ඒකනායක එක්ක එකට රඟපාන්න ලැබීම ම මම ලබපු භාග්‍යයක්. ප්‍රින්සිපල් චරිතය නිරූපණය කරනව හෙල්ලෙන්න. ඒකෙ ආයෙ දෙකක් නැහැ.

මොනවද මුහුණ දුන් අභියෝග?

පිටපත කියවල මට දැනෙන විදිහට” මගේ විදිහට මම චරිතය කළා. සමහර තැන්වලදි අධ්‍යක්‍ෂවරයා කියනව ඒක එහෙම නෙමෙයි මෙහෙම කරමු කියල. මට හිතන්න සිදුවුණා සාමාන්‍ය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සහ පාසල් දරුවන්ට මත්ද්‍රව්‍ය විකුණන ජාවාරම්කරුවෙක් අතර වෙනස මොන වගේද කියල.

මෙවැනි චරිතයකින් ඔබ ගැන වැරදි වැටහීමක් ඇතිවෙයි කියන බය දැනුණාද?

ඇත්තටම එහෙම බයක් දැනුණෙ නැහැ. මෙහෙම දෙයක් කරන එකම මරු කියන අදහස තමයි මට දැනුණෙ. අද රටේ පාසල් දරුවන් මෙවැනි දේට ඇබ්බැහි වෙලා ඉන්නව. නමුත් අපිට ඔවුන්ට ජීවිතය ගැන ඇත්ත දකින්න” තේරුම් ගන්න පණිවිඩයක් දෙන්න අවස්ථාවක් නැහැ. පුතේ මේ දේ කරන්න එපා කිව්වට දැන් ළමයි අහන්නෙ නැහැ. අපිට ඒක කරන්න වෙන්නෙ මෙවැනි නිර්මාණ හරහා. ඒ නිසා මම අපේ ප්‍රින්සිපල් චිත්‍රපටය දකින්නෙ සමාජ සත්කාරයක් හැටියට.

ෂූටිං අවසානයේ අධ්‍යක්‍ෂවරයාගේ ප්‍රතිචාරය මොන වගේද?

අධ්‍යක්‍ෂවරයා මට කිව්වා මංජු ඔයා හොඳයි” චරිතයට සාධාරණයක් කළා කියල. එතනදි මම ඇහුව මාව මේ නිර්මාණයට සම්බන්ධ කළ විශ්වජිත් කරුණාරත්නගෙන් මචන් කොහොමද වැඩේ කියල. ඔහු මට කිව්වෙ චිත්‍රපටය නරඹලා තමයි මට මේ ප්‍රශ්නයට උත්තර දෙන්න වෙන්නෙ කියල. නැවතත් දින පණහ ලබන දවසෙ මම විශ්වගෙන් මේ ප්‍රශ්නය අහනව. එතනදි ඔහු කිව්වෙ ඇත්තටම මට උඹ ගැන සතුටුයි මචං, වැඩේ හොඳටම කරල තියෙනව කියල.

අපේ ප්‍රින්සිපල්ට ලොකු තරගයක් තිබුණා?

ඔව්, අපේ ප්‍රින්සිපල් එළියට ආවෙ තවත් චිත්‍රපට හතරක් එක්ක. එක ෂෝ ටයිම් එකයි තිබුණෙ. මේ දේවල් එක්ක ලොකු තරගයක් දෙන්න වුණා මේ තැනට එන්න. දැන් දින සියය අත ළඟ තියෙන්නෙ.

මංජු කණ්ඩායම් සංගීතයටත් සම්බන්ධයි?

ඔව්, මම දමිත් රාජමන්ත්‍රී ප්‍රමුඛ ලයිව් හොරයිසන් සංගීත කණ්ඩායමේ නිත්‍ය නිවේදක සහ ගායන ශිල්පියා හැටියට කටයුතු කරනව. ඒ වගේම මෑතකදි ‘ඇස් තෙමාල. නමින් නිර්මාණය වුණ මගේ ගීතය ටික් ටොක් ට්‍රෙන්ඩිං වුණා. මේක මලයාලම් මෙලඩි එකට හදපු ගීතයක්. පද රචනය උවිඳු දයාරත්න” අලුත් ට්‍රැක් එක හැදුවෙ ෆර්හාන් ශාන්.

ජනප්‍රිය සංගීත කණ්ඩායම්වලත් ඔබ කටයුතු කළා?

මංජු මුදලිගේ සංගීත ශිල්පියෙක් හැටියට සමාජගත වෙන්නෙ ආයුබෝවන් ශ්‍රී ලංකා සංගීත කණ්ඩායම හරහා. ඒ වගේම සහරා” නිව් ජෙනරේෂන්” ආයුබෝවන් ශ්‍රී වගේ සංගීත කණ්ඩායම් රැසකම ශිල්පියෙක් හැටියට කටයුතු කළා.

සංගීතය හදාරලාද ක්‍ෂේත්‍රයට එන්නෙ?

ජාතික තරුණ සේවා සභාවට සම්බන්ධ වෙලි ෂර්ලි වෛජයන්ත මහත්මයා යටතේ මාස කිහිපයක හැදෑරීමක් කළා. ඊට අමතරව සංගීතය පිළිබඳව විශේෂ හැදෑරීමක් කරල නැහැ.

ටෙලි නිර්මාණ ගැන මතක් කළොත්?

සීසර්ලා, බේකරි ගෙදර, කළු රෝස, ඉන්ටර්නැසනල් 2, අක්‍ෂි, රැහේ සහ වෙස් ගත්තෝ වගේ ටෙලි නිර්මාණවලට සම්බන්ධ වෙලා තියෙනව. ඉදිරියට තව පහක් පමණ විකාශය වීමට නියමිතව තියෙනවා.

නාවලපිටියේ ඉඳන් කොළඹ ආපු ගමන මොන වගේද?

ඒ ආපු ගමනෙදි මුහුණ දුන්න අත්දැකීම් නම් අනන්තයි. කන්න තිබුණෙ නැති දවස් වගේම බස් හෝල්ට්වල නිදාගත්ත දවස් අනන්තවත් ඇති. බස් එකක යන් සල්ලි නැතිව ස්ටේෂන්වලත් නිදාගෙන තියෙනව.

මේ කට්ට කනකොට කලාව එපා වුණේ නැද්ද?

ඇත්තටම එහෙම එපා වුණ අවස්ථා තියෙනව. නමුත් කලාවට තියෙන ආසාව නිසාම අතහරින්න බැරි වුණා.

ජීවත්වීම ඔබ දකින්නෙ කොහොමද?

ඇත්තටම ජීවත් වෙනව කියන්නෙ යාන වාහන අරගෙන පිටට පේන්න රඟපාන එක නෙමෙයි. කාලා බීලා සතුටින් ඉන්න එක.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment