ලෝක කුසලානයේ පරාජය

තරුෂි සඳ බැබළේ

යුපුන් දිනේෂ් පස්සට

චමරි ශ්‍රී ලංකාව දිනවයි

ක්‍රීඩා ක්ෂේත්‍රයේ ජයග්‍රහණයන් අල්පව, පරාජයන් බහුලව හැලහැප්පීම් රාශියක් මැද ගෙවී ගිය වසරක් අද (31 වැනිදා) නිමා වේ. විශේෂයෙන් රටේ ජනප්‍රියම ක්‍රීඩාව වන ක්‍රිකට් ක්‍රීඩාවට ඉහත වැකිය මැනවින් ගැළපේ. ඇමැති මාරු වීම්, තේරීම් කමිටු මාරු වීම්, ජාතික ක්‍රීඩා සභාව වෙනස් වීම් ඒ සියල්ල මූලික වූයේ ක්‍රිකට් මත සිටිමිනි. වසර ආරම්භ වනවිට එම පුටුවල සිටි බොහෝ දෙනකු අද ඒ තැන්වලින් විසි වී ගොසිනි.

එසේම හෙටින් ඇරඹෙන නව වසර ද මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයට ඉතා තීරණාත්මක වූවකි. එහෙත් ගෙවී ගිය වසරේ මෙරට කෙළි බිම පිළිබඳ යම් විමසීමක් අනාගතයට වටී. එම අතීත ආවර්ජනයට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ගත හොත් එකී කණ්ඩායම 2023 වසරේ ජයග්‍රහණය කළේ ටෙස්ට් තරග දෙකක් පමණි. එම ටෙස්ට් ජයග්‍රහණයන්ද ලැබුවේ අයර්ලන්තයට එරෙහිවය. ශ්‍රී ලංකාවට පැමිණි අයර්ලන්ත කණ්ඩායම අප්‍රේල් මාසයේදී 2-0 ක පරාජයක් නොලැබුවේ නම් ශ්‍රී ලංකාවේ ටෙස්ට් ජයග්‍රහණ බිංදුවක වසරක් ලෙස 2023 හැඳින්විය හැක. ටෙස්ට් තරග හයකට මුහුණ දුන් ශ්‍රී ලංකාව අනෙක් තරග හතර පරාජයට පත් වූයේ නවසීලන්තය ට එරෙහිව තරග දෙකක් සහ පකිස්තානයට එරෙහිව තරග දෙකක් ලෙසය.

එක් දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සහ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාව මේ වසරේ මුහුණ දුන් ප්‍රධාන සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලි දෙක වේ. ඒ අතරින් එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් කීමට සුදුසුකම් ලැබීමේ තරගාවලියකටද මුහුණ දෙන්නට ශ්‍රී ලංකාවට සිදු විය. එම සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරයන් ලෙස සිම්බාබ්වේ දේශයේදී කිරුළු දැරූවද ශ්‍රී ලංකාවට ලෝක කුසලාන තරගාවලියේදී ජයග්‍රහණය කළ හැකි වූයේ තරග දෙකක් පමණි. තරග හතක් පරාජයට පත්විය. ඒවාද දරුණු පරාජයන් වූ අතර ඉන්දියාවට එරෙහිව තරගයේදී සියලු දෙනා ලකුණු 54 කට දැවී ගියහ. නායක දසුන් ශානකට ආබාධයක් මත තරගාවලියේ තරග හතක් මගහැරුණු අතර කුසල් මෙන්ඩිස් නායකයා ලෙස පත් විය. ඇන්ජලෝ මැතිව්ස් බංගලාදේශයට එරෙහිව පැවති තරගයේදී ලොව පළමු වරට “ටයිම්ඩ් අවුට්” වූ ක්‍රීඩකයා බවට වාර්තාවක්ද තැබුවේ එම ලෝක කුසලාන තරගාවලියේදීය.

2022 වසරේ ආසියානු කුසලාන ශූරයන් ලෙස මෙවර ආසියානු කුසලාන තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම යළිත් වරක් අවසන් මහා තරගයට පිවිසියේය. එය විශිෂ්ට දස්කමකි. එහෙත් එම අවසන් මහා තරගයේදී ඉන්දියාවට එරෙහිව සියලු දෙනා ලකුණු 51 කට දැවී ගියහ. කොළඹ ආර්. ප්‍රේමදාස පිටිය මැද සිදු වූ ඒ අවාසනාවන්ත කඩා වැටීම පිළිබඳ හඬා වැටීමට හැර වෙනත් දෙයක් ඉතුරු වූයේ නැත. කෙසේ වුවද එක්දින තරග 31 කට 2023 වසරේ මුහුණ දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් තරග 16 ක් ජයගෙන තරග 15ක් පරාජයට පත් වූයේය. ඒ අනුව බලන කල පරාජයන්ට වඩා ජයග්‍රහණයන් වැඩි වුවද සමස්තයක් ලෙස ප්‍රදර්ශනය කළ දුර්වල දස්කම් මත ශූරයන්ගේ කුසලාන තරගාවලියට සහභාගි වීමේ අවස්ථාවද ශ්‍රී ලංකාවට අහිමිව ගියේය. එවැන්නක් සිදු වූයේ ඉතිහාසයේ පළමු වරටය.

පන්දු වාර විස්සයි විස්ස තරග 7 ක ශේෂ පත්‍රය ලෙස සටහන් වී තිබුණේ තරග පහක් පරාජය වී තරග දෙකක් ජයග්‍රහණය කළ කණ්ඩායමක් ලෙසය.

ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම එසේ පරාජයන් බහුලව ලබද්දී කාන්තා කණ්ඩායම සුවිශේෂී ජයග්‍රහණ කීපයක් ලැබීමට ගෙවී යන මේ වසරේදී සමත් වූයේය. එහිදී නායිකා චමරි අතපත්තු දැක්වූ දස්කම් ලෝකයටම දැනෙන තරම් විය. ඇයගේ නායකත්ව කුසලතා සහ තුන් ඉරියව් දස්කම් මත පන්දුවාර විස්සයි විස්ස තරග හතක් සහ එක් දින තරග තුනක් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වූයේය. 2023 දී ශ්‍රී ලංකා කාන්තාවන් මුහුණ දුන් එක් දින තරග අටක සහ විස්සයි විස්ස තරග 16 ක ජයග්‍රහණයන් එසේ සටහන් වෙද්දී පිළිවෙළින් එහිදී ලැබූ පරාජයන් ගණන තුනක් සහ හතක් වේ. එංගලන්තය ට එරෙහිව එංගලන්තයේ දී කාන්තා කණ්ඩායම ජයග්‍රහණය ලැබූ අතර නවසීලන්තය ට එරෙහිව ශ්‍රී ලංකාවේ දී ජය ලැබීය. ඒවා ඉතිහාසයේ දී ඊට පෙර සිදුවූ දේවල් නොවේ. ඒ අනුව 2023 වසර ශ්‍රී ලංකා කාන්තාවෝ ක්‍රිකට් පිටියේදී විරල ජයග්‍රහණ ලැබූ වසරක් ලෙස සැලකිය හැක. එමතු නොව ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ලොව ප්‍රධානතම කාන්තා ප්‍රිමියර් ලීග් තරගාවලිය වන බිග් බෑෂ් කාන්තා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත්වීම සුළුවෙන් තැකිය හැකි කාරණයක් නොවේ.

මේ අතර ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායමද ආසියානු කුසලාන තරගාවලියේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බංග්ලාදේශය හමුවේ පරාජයට පත්වී එම තරගාවලියේ මූලික වටයෙන්ම ඉවතට විසිවී ගියේය.

ක්‍රිකට් පරිපාලනයට ද ඉතිහාසයේ කවදාවත් නොවූ විරූ ආකාරයෙන් චෝදනා සහ විවේචන එල්ල වූ අතර ඒවායේ අවසාන ප්‍රතිඵලය වූයේ ඇමැති රොෂාන් රණසිංහ ක්‍රිකට් සඳහා අතුරු කමිටුවක් පත් කිරීමය. ඒ අතුරු කමිටුව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත එල්ල වන අනිසි දේශපාලන මැදිහත්වීම් මත යැයි කියමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) ශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනමක් පැනවීය. එම තහනම ඉවත් කර ගැනීම සඳහා අතුරු කමිටුව බල රහිත කරමින් නව ගැසට්ටුවක් ඉදිරිපත් කෙරුණි. එසේම එම ගැසට්ටුව පිළිබඳව සහ තමන්ට දැන් දේශපාලන බලපෑම් නොමැති බව දන්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අයිසීසීයට මේ වන විටත් දැනුම් දී ඇත. තව නොබෝ දිනකින් එම තහනම ඉවත් ව ගියද තහනම නිසා ශ්‍රී ලංකාවෙන් ඉවතට ගිය 19 න් පහළ ලෝක කුසලාන තරගාවලිය යළි ශ්‍රී ලංකාවට ලබා ගත නොහැක. එම තරගාවලිය දකුණු අප්‍රිකාවේදී පැවැත්වීමට අයිසීසී ක්‍රියා කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් තහනමේ අතුරු ඵලයක් ලෙසය.

ලෝක කුසලාන තරගාවලියේ ලද පරාජයත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට, පුහුණු කාර්ය මණ්ඩලයට මතු නොව ක්‍රිකට් පරිපාලනයටද දසතින් ගල් මුල් එල්ල වූයේය. ඒ අතර ක්‍රිකට් සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක සිටි හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහටද ක්‍රීඩා ඇමැතිකම පමණක් නොව වාරිමාර්ග සහ තරුණ කටයුතු ඇමැතිකම් ද නැතිව අවසානයේ මන්ත්‍රීවරයෙක් වන්නට සිදුවිය. ඒ සමගම ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයන්ගේ වෙනස්කම් ද සිදුවූ අතර හිටපු සභාපති අර්ජුන රණතුංග මහතාටද ඉන් ඉවත්වන්නට සිදු වූයේය. හරින් ප්‍රනාන්දු මහතාට ක්‍රීඩා ඇමැති ධුරයට පැමිණියේ ඒ අනුවය. ඉන් පසුව උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් නව තේරීම් කමිටුවක් ආවේය. එසේම ඇමැති හරින් නව ජාතික ක්‍රීඩා සභාවක් පත් කර ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක ලෙස සනත් ජයසූරිය පත් කළේය. සනත් ඊට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් උසස් දස්කම් මධ්‍යස්ථානයේ ප්‍රධානියාද වෙයි. ඒ අනුව මෙරට ක්‍රිකට් ඉදිරි අනාගතය, අතීතයේ ශ්‍රී ලංකාව ලෝකය ඉදිරියේ ඉහළට ගෙන ගිය සනත් මත දැන් පවරා ඇත.

ක්‍රීඩා ජයග්‍රහණ බොහෝ තිබුණද ශ්‍රී ලංකාව මෙම වසරේ වැඩියෙන්ම සතුටු වූයේ වයස අවුරුදු 19ක දියණියක පෑ දස්කම් පිළිබඳවය. වලල ඒ රත්නායක විදුහලෙන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා අම්බරයට පෑයූ තරූෂි කරුණාරත්න නම් ඇය 21 වසරකට පසුව ශ්‍රී ලංකාවට ආසියානු ක්‍රීඩා තරගාවලියක රන් පදක්කමක් දිනා දීමට සමත් වූවාය. චීනයේ හංජෝ නුවර පැවැති එම ආසියානු ක්‍රීඩා තරගාවලියේදී මීටර් 800 ඉසව්ව විනාඩි දෙකයි තත්පර 3.20 කදී ජයග්‍රහණය කරමින් ඒ අනභිභවනීය ජයග්‍රහණය ඇය ශ්‍රී ලංකාවට ලබා දුන්නාය.

තරුෂි ඊට පෙර මෙම වසරේ කොරියාවේ පැවති ආසියානු කනිෂ්ඨ යොවුන් ක්‍රීඩා තරගාවලියේ රන් පදක්කම් දෙකක් සහ තායිලන්තයේ පැවති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේද රන් පදක්කම දිනා ගත්තාය. එහිදී තරුෂි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ රන් පදක්කම දිනා ගත්තේ ආසියානු තරග වාර්තාවක්ද බිහි කරමිනි. විනාඩි දෙකයි තත්පර 00.66 කින් තම ඉසව්ව නිම කරමින් එකී ආසියානු වාර්තාව ශ්‍රී ලංකා නාමය ඉදිරියේ ඇය සටහන් කළාය.

එසේම එම තරගාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කම් තුනක් ඇතුළුව පදක්කම් අටක් දිනා ගැනීමට සමත් වූ අතර එය ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියක ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ වැඩිම පදක්කම් සංඛ්‍යාව වේ. එහිදී මීටර් 400 කාන්තා සහාය දිවීමේ රිදී පදක්කම සහ මීටර් 400 මිශ්‍ර සහාය දිවීමේ තරගයේදී ද රිදී පදක්කම් ජයග්‍රහණය කිරීමට තරූෂි උර දුන්නාය.

මීටර් 400 පිරිමි සහාය දිවීමේ තරගය ආසියානු මලල ක්‍රීඩා නව තරග වාර්තාවක් බිහි කරමින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.

ක්‍රීඩිකාවෝ මතු වෙද්දී ක්‍රීඩකයෝ පසු බැස්ස 2023

මෙරට පාපන්දු ක්‍රීඩාවටද ජාත්‍යන්තර තහනම් කාලයක් උදා වී යළි නිදහස ලැබුවේ මේ වසරේදීය. වසර ආරම්භයේ ශ්‍රී ලංකාවට පැනවුණු එම ජාත්‍යන්තර තහනම අගෝස්තු මාසයේදී ඉවත් කෙරිණි. ඒ අනුව හත් මසක් පුරා ලෝකයට සංවෘත වී තිබූ ශ්‍රී ලංකා පාපන්දුව යළි තටු ගසා නැගිට්ටේ අගෝස්තු 27 වැනිදා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මගින් නිකුත් කරන ලද නිවේදනයකට අනුවයි. එම නිවේදනය මගින් දැක්වුණේ ඔවුන් ගේ රෙගුලාසි අනුව වහාම නිලවරණයක් පවත්වා විධායක කමිටුවක් පත් කර ගන්නා ලෙසයි. එතෙක් ශ්‍රී ලංකාවට පනවා තිබූ ජාත්‍යන්තර තහනම තාවකාලිකව ඉවත් කරනා බවද ඉන් දැක්විණි. ඒ අනුව නිලවරණය පැවැත්වූ අතර ශ්‍රී ලංකාව පූර්ණකාලීනව නිදහස අත්පත් කර ගත්තේය.

එම තහනමෙන් මිදුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරග සඳහා යේමනය සමඟ තරග වැදුණි. එහිදී පළමු තරගය යේමනය ජයගත්තද දෙවැනි තරගය ලකුණු සමානව අවසන් කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දස්කම් පෑහ.

ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය මෙවර දකුණු අප්‍රිකාවේ පැවති අතර එහිදී කැපී පෙනෙන දස්කම් පෑමට ශ්‍රී ලංකා ක්‍රීඩකාවෝ අසමත් වූහ. ආසියානු තරගාවලිය යටතේ රග්බී තරග සඳහා ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම මෙවර ඉදිරිපත් වූයේ ආසියා ඔලිම්පික් ධජය යටතේය. රග්බි ක්‍රීඩාවට පනවා තිබූ ජාත්‍යන්තර තහනම ඊට හේතු විය.

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතින් එතරම් ඉහළ දස්කම් මෙවර මතු නොවීය. එහිදී සිදු වූයේ ලෝක පැරා ශූර දිනේෂ් ප්‍රියන්තගේ ලෝක වාර්තාව මතු නොව ආසියානු වාර්තාව ද ඉන්දීය ක්‍රීඩක සුන්දර් සිං නමින් ලියැවීම පමණි. එහෙත් ප්‍රංශයේ පැරිස් නුවර පැවැති ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ එෆ් 64 කාණ්ඩයේ ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට සමිත දුලාන් කොඩිතුවක්කු සමත් වූයේය.

ශ්‍රී ලංකාවේ කෙටි දුර ශූර යුපුන් අබේකෝන් 2023 වසරේදී ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය, ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය සහ ආසියානු ක්‍රීඩා තරගාවලියට ද ආබාධ මත සහභාගි නොවීම ශ්‍රී ලංකා මලල ක්‍රීඩා බලාපොරොත්තු අතින් 2023 දී සිදුවූ විශාල පාඩුවකි.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment