නවසීලන්තයට ප්‍රබල භූමිකම්පාවක්

316

නවසීලන්තයට අයත් කර්මඩෙක් දූපතෙහි ඊයේ (16දා) උදෑසන හටගත් ප්‍රබල භූමිකම්පාවක් හේතුවෙන් එම භූමිකම්පාව සිදු වූ ප්‍රදේශය අවට කලාපයට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට එරට කාලගුණ විද්‍යාඥයන් විසින් පියවර ගෙන තිබේ. රිච්ටර් මාපකයේ 7.1ක් වශයෙන් සටහන් වූ මෙම ප්‍රබල භූමිකම්පාව කිලෝ මීටර් 10ක් (සැතපුම් 6.21ක) දිගැති ප්‍රදේශයකට ව්‍යාප්ත වී ගොස් තිබූ අතර මෙම ව්‍යසනයෙන් සිදු වූ හානිය පිළිබඳව ඊයේ දහවල් වන විටද අනාවරණය වී නොතිබිණි.

නවසීලන්ත කාලගුණ විද්‍යාඥයන් විසින් නිකුත් කර තිබූ සුනාමි අනතුරු ඇඟවීමට අනුව අදාළ භූමිකම්පාව හටගත් කේන්ද්‍රස්ථානයේ සිට කිලෝ මීටර් 300ක ප්‍රදේශයක් තුළ පිහිටි වෙරළබඩ ප්‍රදේශවලට දරුණු සුනාම් රළ හටගැනීමේ අවදානමක් උද්ගතව තිබිණි. කෙසේ වුවද යාබද ඔස්ටේ්‍රලියාවේ කාලගුණ විද්‍යා කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ මෙම භූමිකම්පාවෙන් ඔස්ටේ්‍රලියාවට සුනාමි තර්ජනයක් එල්ල වී නොමැති බවයි. නවසීලන්තය, ෆීජි හා ටොන්ගා යන රටවලට බලපාන ලෙස නිකුත් කර තිබූ මෙම සුනාමි අනතුරු ඇඟවීම පසුව ඉවත් කෙරිණි. මෙම භූමිකම්පාවෙන් හානියට පත් ප්‍රදේශවල කොටු වී සිටින ජනතාව මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව බලධාරීහු පවසති. මෙම ප්‍රබල භූමිකම්පනයෙන් පසු පැය කිහිපයක් ගතවන තුරු ප්‍රබල පසු කම්පනයන් හටගෙන ඇති අතර ඉන් එක පසු කම්පනයක් රිච්ටර් මාපකයේ 2.5ට වැඩි අගයක් ගෙන තිබුණු බවත් ප්‍රබලම පසුකම්පනය රිච්ටර් මාපකයේ 5.5ක් වශයෙන් සටහන්ව තිබූ බව වාර්තා වී තිබිණි. ඉකුත් මාර්තු 04 වැනිදාද නවසීලන්තයේ කර්මඩෙක් දූපත ආශ්‍රිතව රිච්ටර් මාපකයේ 6.9ක් වශයෙන් සටහන් වූ ප්‍රබල භූමිකම්පාවක් හටගෙන තිබිණි.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment