ලීග් රග්බි ශූරතාවය වසර 26කට පසුව සී. ආර්. පිලට

91

දිවයිනේ ප්‍රබලතම ක්‍රීඩා සමාජ 08 ක සහභාගිත්වයෙන් ක්‍රියාත්මක කෙරුණු අන්තර් සමාජ ලීග් රග්බි පාපන්දු තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම බවට පත්වෙමින් ඊයේ (18 වැනිදා) පැවති අවසන් මහා තරගයට අවතීර්ණ වූ සී. ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩකයෝ එම තත්ත්වය තවදුරටත් ආරක්ෂා කර ගනිමින් “නිපෝන් පේන්ට් අභියෝග කුසලානය” දිනා ගැනීමට සමත් වූහ.

තියුණු තරගයකින් අනතුරුව ප්‍රබල මහනුවර ක්‍රීඩා සමාජය ලකුණු 08 කින් පරාජය කිරීමත් සමගම සී.ආර්. පිලට “නිපෝන් පේන්ට් අභියෝග කුසලාන” මෙවර හිමි විය.

ඒ වර්ෂ 26 කට පසුවය.

මෙවර තරගාවලිය තුළ තරග 11 ක ජයග්‍රහණ සී. ආර්. පිල සතු වන අතර වාරයේදී මහනුවර පිලට ජයග්‍රහණ සටහන් කර ගැනීමට හැකි වූයේ තරග 08 දී පමණි.

මහනුවර ලත් ලකුණු 25 ට එරෙහිව සී.ආර්. පිල ලකුණු 33 ක් රැස් කර ගැනීමට ඊයේ (18) සමත් වූයේ තමන් සතු සටන්කාමීත්වය මොනවට ප්‍රදර්ශනය කරමිනි. සී.ආර්. පිල සහ මහනුවර පිල අතර ලොන්ඩන් පෙදෙසේ දී එම අවසන් මහා තරගය පැවැත්විණි.

තරගයේ ප්‍රථම භාගය නිමා වන විට ලකුණු 13 – 06 ක් ලෙස පෙරමුණ ගැනීමට මහනුවරට හැකියාව ලැබිණි.

නමුත්, දෙවන භාගය ආරම්භ වීමත් සමගම ප්‍රබල ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක නිරත වීමට සී.ආර්. ක්‍රීඩකයන් පෙළඹීමත් සමග එහි අවසන් ප්‍රතිඵලය ලෙස ලකුණු 08 ක ජයග්‍රහණයත් සමඟින් “නිපොන් පේන්ට් කුසලානය” ද සී. ආර්. පිල සතු විය.

සී. ආර්. පිල එක් ගෝල් දිණුමක් සමගින් උත්සාහක දිනුම් 04 ක් හා දඬුවම් පහර 02 ක් සාර්ථක කර ගනිමින් තම ලකුණු 33 සටහන් කර ගත්තේය. පරාජිත මහනුවර පිලට වාර්තාකර ගැනීමට හැකියාව ලැබුණේ ගෝල් දිනුම් 02 ක් සමගින් එක් උත්සාහක දිනුමක් හා දඬුවම් පහර 02 ක් පමණි.

මූලික වටයේදී තමන්ට හුරු පුරුදු නිත්තවෙල ක්‍රීඩාංගණයේදී මෙන්ම සුපිරි සිව් දෙනාගේ වටයේ ලොන්ඩන් පෙදෙසේදී මහනුවර පිල ප්‍රතිවාදී සී.ආර්. පිල හමුවේ දෙවතාවක් පරාජය වීම හේතුවෙන් ලීග් ශූරතා කුසලාන මහනුවර පිලෙන් ගිලිහී ගිය ආකාරය දක්නට ලැබුණි.

මේ අතර වාරයේදී සී.එච් ඇන්ඩ් එෆ්.සී. පිල ලකුණු 28 – 11 ක් ලෙස පරාජය කරමින් තෙවන ස්ථානය තහවුරු කර ගැනීමට හැව්ලොක්ස් සමාජයට හැකියාව ලැබිණි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment