අභියෝග මැද්දේ සසුන රැක ගනිමු

392

ශ්‍රී ලාංකිකයන් ලෙස අප නූතනයෙහි බොහෝ අභියෝගයන්ට මුහුණදී ඇති බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. එකී අභියෝග අතර මේ වන විට බුදුදහමට එල්ල වන තාඩන පීඩන විවේචන බෙහෙවින් ප්‍රබල වී ඇත. ඒවාට නිසි ලෙස පිළිතුරු දෙමින් බුදුදහම රැක ගැනීම අප සැම දෙනාගේම ප්‍රබල යුතුකමක් සේම වගකීමකි. ඒ සඳහා මූලික ලෙසම අවශ්‍ය කරනුයේ මනා අවබෝධයයි. එය නොමැති කල සිදුවන්නේ තවදුරටත් ශාසනය පිරිහීම පමණි. අඳුරින් ආලෝකයට පැමිණ නිසි අවබෝධය පෙරදැරිව ක්‍රියා කිරීමේ කාලය එළැඹ ඇති බව මතක් කර දීමට කැමැත්තෙමි.

‘සද්ධහතී තථාගතස්ස බෝධිං’ යනුවෙන් දැක්වෙන්නේ තථාගතයන් වහන්සේ පිළිබඳ ඇතිවන නිවැරදි අවබෝධය ශ්‍රද්ධාව ලෙසයි. මිනිසත් ජීවිත ලබා බෞද්ධ වූ පමණින් ශ්‍රද්ධාවන්තයෙක් නොවන අතර ඒ සඳහා මූලික වශයෙන්ම මනා අවබෝධය හෙවත් විශ්වාසය ඇති විය යුතුය. නූතන සමාජ පරිසරය දෙස විමසිලිමත්ව බැලීමේදී ශාසනයට එල්ල වන බොහෝ අභියෝග හමුවේ අපේම බොදු ජනතාව ක්‍රියාකරන අයුරු දෙස බලන විට දැනෙන්නේ මහත් කලකිරීමක් හා වේදනාවකි. එක් අයෙකු කළ වරදට සියලු දෙනාටම චෝදනා කරන සමාජ වටපිටාවක බුදුසසුනට එල්ල වන අභියෝග හා ඒවාට කෙසේ මුහුණ දිය යුතු ද යන්න සිතා ගැනීමට පවා නොහැකිය. මූලික වශයෙන්ම භික්‍ෂූන් වහන්සේලා මෙකී පිරිහීමට වගකිවයුතු අතර ගිහි බෞද්ධයා ද මනා අවබෝධයෙන් ක්‍රියා කිරීම බෙහෙවින් වැදගත් වන සාධකයකි. මෙම කාල සමය තුළ බුද්ධ චීවරය පොරවාගත් ඇතැම් භික්‍ෂූන් වහන්සේලා සිදුකරනු ලබන්නේ කෙසේවත් මහණකමට නොගැලපෙන ක්‍රියාය.

බුද්ධ වචනය විකෘති කොට දේශනා කරමින් තම වාසි ප්‍රයෝජන පසුපස යන විවිධ පිරිස් නිසාම නූතන අභියෝග බොහෝ සෙයින් ප්‍රබලවී ඇත. පරුෂ වචන කියමින් හැසිරෙන විවිධ සාපරාධී ක්‍රියාවන්ට සම්බන්ධ ඇතැම් භික්‍ෂුන් වහන්සේලා නිසා ශාසනයට එල්ල වී ඇත්තේ මරු පහරකි. විවිධ කල්ලි කණ්ඩායම්වලට සම්බන්ධවී මුදල් නිසා සිදුකරන මෙම පරිහානිය නූතනය වනවිට ප්‍රබල ලෙස උඩුදුවා ඇති අතර මෙකී ක්‍රියාවන් නිසා ගිහි ජනතාව ද බොහෝ පිරිසක් සෑම භික්‍ෂුවක් දෙසම බලන්නේ වැරදි දාෂ්ඨියෙනි. මේ නිසා පැවිදි වීමට දරුවන්ද නොදෙන තරමට මව්පියන් කලකිරී ඇති බව අමුතුවෙන් කිවයුත්තක් නොවේ. පැවිදි වී සිටින පිරිසෙන් තවත් කොටසක් ශාසනය හැරදමා යෑමද වත්මන් ශාසනික අර්බුදය වේගවත් වීමට හේතුවී ඇත.

බෞද්ධයෙක් ලෙස උපේක්‍ෂාවෙන් බලන කල මේවා එතරම් සිතට ගත යුතු ඒවා නොවේ. මන්ද යත් බුදුන් දවස ද මෙවැනි බොහෝ අභියෝගවලට මුහුණදී ඇති හෙයිනි. ඒ සියල්ල විඳ දරාගෙන වසර දෙදහස් පන්සියයකට වඩා කාලයක් බුදුදහම රැකගෙන පැමිණි අප නූතනයෙහි ඒ සියල්ලටම වඩා එල්ල වී ඇති අභියෝග හා විවිධ කුමන්ත්‍රණ ඉතා ප්‍රබල ලෙස ඉදිරියට පැමිණ ඇති බව සිතට ගත යුතුම සාධකයකි. ඒ බව මෙම කාල සමය තුළ ගිහි පැවිදි ඇතැම් පිරිසකගේ ක්‍රියාවන් තුළින් මනාව ප්‍රකට වී ඇත. අතීතයේ මෙන්ම නූතනයේද බුදුදහමට එල්ල වනුයේ කිව නොහැකි අභියෝගයන්ය. මේවාට අපි නිසි අවබෝධයෙන් මුහුණ දිය යුතු අතර කිසි විටෙකත් සැබෑ බෞද්ධයකු නම් වැරදි මගට එළැඹිය යුතු නොවේ. මනා දැක්ම, අවබෝධය, විශ්වාසය ඔස්සේ ඉදිරියට ගමන් කළ යුතු අතර ඒ තුළ මෙම අභියෝගයන්ට කදිමට මුහුණදීමේ හැකියාව පවතී. එය නොමැති කළ ඇති වන්නේ වැරදි දෘෂ්ඨියයි.

ඒ බව ඇතැම් පුද්ගලයන්ගේ ක්‍රියා කලාපයන් දෙස බැලීමෙන් මනාව පැහැදිලි වේ. නවීන තාක්‍ෂණය දියුණු වී ඇති මෙවැනි කල සමයක බුදුරඳුන්ට හා භික්‍ෂූන් වහන්සේට සිදුකරන අපවාද, නින්දා හා චෝදනා ලෙස බලන කල මිනිසුන් කොතරම් වැරදි අවබෝධයෙන් සිටින්නේද යන්න පැහැදිලි වේ. එක් අයෙකු කළ වරදට සමස්ත ශාසනයටම දොස් නඟන තරමටම මිනිස් සමාජය අවබෝධයෙන් පහළටම වැටී ඇත. මිථ්‍යා දෘෂ්ඨික ආකල්ප අනුව ක්‍රියාකරන ඇතැම් පිරිසක් ශාසනයට සිදුකරන්නේ සුළු පටු හානියක් නොවේ. ලාංකිකයන් ලෙස අපගේ සංස්කෘතිය හා සෑම අංශයක්ම දියුණු වූයේ බුදුදහම නිසාය. එහෙත් එයටම අභියෝග කිරීමට තරම් මුලාවී ඇති තවත් පිරිසක් නිසා බුදුදහමේ අගය හීනවී යනු ඇත.

බුදුරජාණන් වහන්සේගේ දහම සෑම කලකටම පොදු වුවත් වැරදි මත දරන්නන්ගේ ක්‍රියාවන් නිසා සිදුවන විනාශය කෙරෙහි මනා අවබෝධයෙන් ක්‍රියා කළ යුතු කාලය එළැඹ ඇත. එය ගිහි පැවිදි අප සැමගේම පරම යුතුකමක් මෙන්ම වගකීමකි. ඒ සඳහා ශ්‍රද්ධාව මූලික කොටගෙන විශ්වාසය හා අවබෝධය ඇතිව මෙකී අභියෝගයන්ට සම සිතින් මුහුණ දිය යුතුය. නොමැති නම් සිදුවන්නේ ශාසනයේ විනාශය තවදුරටත් වේගවත් වීම පමණි. රටේ පාලකයන්ගේ පටන් සියලු වගකිවයුත්තන්ද මේ සඳහා මුල්විය යුතු අතර විශේෂයෙන් බුදුදහමට එල්ල වන බොහෝ අභියෝග හමුවේ අප කළ යුත්තේ නිසි අවබෝධයෙන් බුද්ධ දේශනාව ප්‍රචලිත කොට නිර්වාණ මඟට එළැඹීම සඳහා මැදහත් සිතින් ක්‍රියා කිරීමයි.

ගාල්ල ශ්‍රී ලංකා ධර්මදූත මහ පිරිවෙනෙහි
ආචාර්ය දර්ශනපති කනංකේ විජිත නන්ද හිමි
සංස්කරණය – නිශාන්ත අමරසිංහ

[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment