දීපාවලිය ඉන්දීය – ශ්‍රී ලංකා සමානතා පිළිබිඹු කෙරෙන සැමරුමක් – ජනපති පවසයි

83

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එකම කාසියක දෙපැත්ත බව පෙන්වා දෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංස්කෘතික සහ ආගමික වශයෙන් යම් වෙනස්කම් තිබුණ ද දෙරට අතර සමානතා බොහොමයක් පවතින බව පැවසීය.

දීපාවලි යනු එම සමානතා පිළිබිඹු කෙරෙන එක් අවස්ථාවක් බවත්, එය අද මුළු ලෝකයම සමරන උත්සවයක් බවට පත්ව ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ කොළඹ විදේශිකයන්ගේ සංස්කෘතික සංගමය විසින් (Colombo Expats Cultural Association) පසුගිය 29 දා පස්වරුවේ කොළඹ කිංග්ස්බරි හෝටලයේ සංවිධානය කර තිබූ විශේෂ දීපාවලි සැමරුම් උත්සවයට එක්වෙමිනි.

දීපාවලි සැමරුම් සියලුදෙනා එකට එක්කරගෙන සහ සමීපතමයන් මුණගැසෙන අවස්ථාවක් බව වැඩිදුරටත් සඳහන් කළ ජනාධිපතිවරයා එකමුතුකම සහ සහයෝගිතාව සංකේතවත් කෙරෙන දීපාවලි සැමරුම් උත්සවයක් සංවිධානය කිරීම පිළිබඳ කොළඹ විදේශිකයන්ගේ සංස්කෘතික සංගමයට සිය ස්තුතිය පිරිනැමීය.

කොවිඩ් වසංගතය සහ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් අභියෝගකාරී තත්ත්වයකට මුහුණ දී සිටින අවස්ථාවේ අඩු වරප්‍රසාදිත පවුල්වල දරුවන්ගේ ජීවිත ආලෝකවත් කිරීම වෙනුවෙන් සංගමය ඉටුකරනු ලබන කාර්යභාරය ද ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක්විය.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, කොළඹ විදේශිකයන්ගේ සංස්කෘතික සංගමයේ සභාපති කපිතාන් ඒ. බැනර්ජි (A. Banerjee) යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment