වයස අවුරුදු දහතුනේදී සාමාන්‍ය පෙළ ඉහළින් සමත්වූ කොච්චිකන්දේ නේමින්ද පොඩි හාමුදුරුවෝ

78

වයස අවුරුදු දහතුනකක් වෙනකොට දරුවෙක් හත්වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබිය යුතු ශිෂ්‍යයෙක්. අපට හමු වුණ පොඩි හාමුදුරුවෝ වයස දහතුන වන විට 2023 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඉන් විශිෂ්ට ලෙස සමත්ව දැන් උසස් පෙළට සූදානම් වෙනවා.

සිංහල, පාලි, සංස්කෘත, ත්‍රිපිටක ධර්මය, ගණිතය, සමාජ විද්‍යාව, යන විෂයයන්වලට විශිෂ්ට සාමාර්ථ සහිතව හා ඉතිහාසය, සෞඛ්‍යය විද්‍යාව, ඉංග්‍රීසි යන විෂයන් ඇතුළු සියලුම විෂයයන් සමත්වී ඇති කොච්චිකන්දේ නේමින්ද පොඩි හාමුදුරුවන් ඉගෙනුම ලබන්නේ සියඹලාගොඩ ශ්‍රී විද්‍යාකීර්ති මහ පිරිවෙණේ. මේ හාමුදුරුවෝ වැඩ ඉන්නේ ශ්‍රී නිත්තමළුව පුරාණ විහාරයේ.

පොඩි හාමුදුරුවන්ට අයියල දෙන්නෙක් සිටින අතර ලොකු අයියා ශ්‍රී ලංකා පොලිසියේ සේවය කරනවා. අනෙක් අයියා ලබන ජනවාරි මාසයේ උසස් පෙළ විගාගයට පෙනී සිටින්නට සූදානම් වෙනවා.

පොඩි හාමුදුරුවො මේ ප්‍රතිඵලය ලබා ගැනීමට අමතර පන්ති කිසිවකට සහභාගි වුණේ නැතුවාක් මෙන්ම එසේ සහභාගි වන්නට අවස්ථාවකුත් ලැබෙන්නේ නැහැ. පොඩි හාමුදුරුවෝ කියන්නේ පිරිවෙණේ උගන්වන වෙලාවල් වලදී යහපත් සිහියෙන් යුතුව ඒ කටයුත්තේ යෙදෙනවා නම් කිසිවක් අමතක නොවන බවයි. එමෙන්ම නොතේරුණ යමක් ඇත්නම් ඒ මොහොතේම නිරාකරණය කරගැනීම නැතහොත් පමා නොවී පොත පත ආශ්‍රයෙන් හා වැඩිහිටි ස්වාමීන් වහන්සේගේ උදව්වෙන් ගැටලු නිරාකරණය කර ගන්නේ නම් උගන්වන දේවල් වලින් අපෙන් අසන ප්‍රශ්නවලට උත්තර සැපයීම එතරම් අපහසු කාරියක් නොවන බවයි.

පොඩි හාමුදුරුවන්ට ඉගෙනීමේ කටයුතුවලදී සියඹලාගොඩ ශ්‍රී නිත්තමළුව පුරාණ විහාරාධිපති, පිටබැද්දර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති, සමථ මූල මණ්ඩල සභික ශාස්ත්‍රපති පණ්ඩිත වැලිහේනේ අතුල ස්වාමීන් වහන්සේගේත් පරිවේණාධිපති, ශාස්ත්‍රවේදී පණ්ඩිත පූජ්‍ය අම්පනාගල පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ ඇතුළු ගිහි පැවිදි ආචාර්ය මණ්ඩලයේත් නොමඳ සහයෝගය ලැබුණ අතර දෙනියාය කලාප භාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ රාජකීය පණ්ඩිත පූජ්‍ය තිත්තගල්ලේ ඥානරතන ස්වාමීන් වහන්සේගේ මග පෙන්වීම හා අභිප්‍රේරණයද ලැබුණ බව උන්වහන්සේ සඳහන් කරති.

චිත්‍රාන් මොරකන්දෙ ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment