නීතියේ හිලෙන් රිංගා ඇවිත් රෝගීන්ට මරුකැදවන බාල බෙහෙත්… අතුරු ආබාධ නොමිලේ! – වෛද්‍ය චමල් සංජීව කියයි

160

තත්ත්වයෙන් බාල අක්‍ෂි ඖෂධ නිසා අක්‍ෂි ආබාධ

පොලීසිය, රේගුව සහ ඖෂධ පාලන අධිකාරිය අතර අන්තර්සබඳතාවක් නොමැතිකම

ඖෂධ මාෆියාවට රුකුලක්

රෝගීන්ට විවිධ සංකූලතා මතුවීම නිසා නිර්වින්දන ඖෂධ එන්නත් ලක්‍ෂයක් ඉවතට

බාල ඖෂධ නිසා මැලේරියාව, නියුමෝනියාව, මොළයේ උණ, ටයිෆොයිඩ්, ක්‍ෂය රෝගය ආදිය යළි හිස එසවිය හැකියි

නිදහස් සෞඛ්‍ය සේවයක් ක්‍රියාත්මක වන රටවල් අතර ශ්‍රී ලංකාවට ඉතා ඉහල ස්ථානයක් හිමි වී ඇත. මේ අතර රජයේ රෝහල් වලින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ට නොමිලේ ලබාදෙන ඖෂධ සඳහා ඉතා ඉහල පිරිවැයක් වැය කිරීමට රජයට සිදුවී ඇත. වසරින් වසර ඖෂධ සඳහා වෙන්කළ යුතු වන මුදල් ප්‍රමාණය සීග්‍රයෙන් ඉහළ යමින් පවතී.

2000 වර්ෂයේ දී ඖෂධ සඳහා වැය වූ මුදල රුපියල් බිලියන 3000 ක් වූ අතර මේ වන විට එම මුදල රුපියල් මිලියන 6000 ක් 8000ක් වැනි ඉතා ඉහළ අගයකට පත්වෙමින් පවතී. මෙය ඉතා ඉහළ වියදමක් බව පැවසිය හැක. රජයේ රෝහල් වල නව වෛද්‍ය ඒකක ආරම්භ කිරීම, බෝ වන රෝග වෙනුවට දියවැඩියාව අධි රුධිර පීඩනය වැනි බෝ නොවන රෝග වැළදීමේ ප්‍රවනතාව ඉහළ යාම සහ ජනතාවට සපයන සෞඛ්‍ය සේවාවන් පුළුල් වීම මේ කෙරෙහි හේතු වී ඇත. ඒ හැරුණු කොට හදිසි මිලදී ගැනීමේ මුවාවෙන් පසුගිය කාලය තුළ නිසික්‍රමවේදයෙන් බැහැර මෙරටට ගෙන ආ ඖෂධ හේතුවෙන් මෙරටට විශාලධනස්කන්දයක් අහිමි වී ඇත. මෙයට ප්‍රධාන ලෙස බලපා ඇත්තේ හදිසි මිලදී ගැනීමේ ක්‍රියාවලිය යටතේ වැඩිමිලට මෙරටට තත්ත්වයෙන් බාල ඖෂධ හා වෛද්‍ය උපකරණ ගෙන්වීම බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

● බාල ඖෂධ ගෙන්වූ බව ඖෂධ නියාමන අධිකාරිය පිළිගනී

තත්ත්වයෙන් බාල ලියාපදිංචි නැති නිර්වින්දන ඖෂධ ලක්‍ෂයක් මෙරට රෝගීන්ට නිදහස් කළ බව ඖෂධ නියාමන අධිකාරිය පිළිගෙන ඇත. එමෙන්ම රෝගීන්ට විවිධ සංකූලතා මතුවීම නිසා නිර්වින්දන ඖෂධ එන්නත් ලක්‍ෂයක්ද භාවිතයෙන් ඉවත දැමූ බවද වාර්තා වේ. එනම් පසුගිය කාලය තුළ තත්ත්වයෙන් බාලවූ ඖෂධ මෙරටට පැමිණීම හා ඒ සඳහා රජයට විශාල මුදලක් වැයකිරීමට සිදුවිය. තවද එසේ මෙරටට ගෙන්වන ලද නිසි ප්‍රමිතියෙන් තොර ඖෂධ හේතුවෙන් මෙරට දහස් ගණනින් රෝගී ජීවිත අසරණ වූ බව පසුගියදා විවිධ පුවත් තුළින්ද අනාවරණය විය. පසුගිය දිනවල මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ සිදුවන විවිධ අක්‍රමිතා හා මහත් ආන්දෝලනාත්මක පුවත් හෙලිකළ වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතියේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා මෙරට පවතින සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ගැටලු හා නිසි ක්‍රමවේදයෙන් බැහැරව සිදුකරන ලද තත්ත්වයෙන් බාලඖෂධ ගෙන්වීම හේතුවෙන් මේවන විට මෙරට සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ පැනනැගී ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව පළකළ සවිස්තරාත්මක විස්තරයක් මෙවර මෙම ලිපිය මගින් සාකච්ඡාවට ලක්කරන්නෙමු.

මෙරට පවතින ඖෂධ මාෆියාව ගැන විවිධ අදහස් ඉදිරිපත් කරන ඔහු නිසික්‍රමවේදයකින් තොරව මෙරටට පැමිණෙන ඖෂධ හා නිසි ප්‍රමිතියෙන් තොර ඖෂධ භාවිතයෙන් මෙරට රෝගීජනතාව පත්වන ඉරණමද මාරාන්තික බවද ඔහු පෙන්වා දෙන්නේ මේ ආකාරයෙනි.

“ඕනෑම ඖෂධයක් රට තුළට පැමිණෙන්නේ යම් ක්‍රමවේදයකට අනුවයි. එය ඖෂධ යාමනය ලෙස හැඳින්විය හැකියි. මෙහිදී වෙළඳපොළට පැමිණීමට පෙර (Pre market) වෙළඳපොළේදී සහ (market) වෙළඳපොළට නිකුත් වූ පසුව (Post market) පූර්ණ අධීක්ෂණයට ලක්විය යුතුව ඇත. වෙළඳපොළට පැමිණීමට පෙර අවස්ථාවේ දී අදාල ඖෂධ සමාගමේ ලියාපදිංචිය ඖෂධ සමාගමේ ක්‍රියාකාරීත්වය අධීක්ෂණයට ලක්විය යුතුයි. මෙහිදී ශ්‍රී ලංකාව තුළ භාවිතයට ලබාදෙන ඖෂධ සාම්පලය පරීක්‍ෂා කළ යුතුයි. දෙවනුව ටෙන්ඩරය නිකුත් කිරීමේ දී ලබා දෙන ඖෂධ සාම්පලය පරීක්‍ෂා කළ යුතුයි. තෙවනුව ශ්‍රී ලංකාවට පැමිණෙනෙ ඖෂධ තොගය ළඟා වූ අවස්ථාවේ දී පරීක්‍ෂා කළ යුතුයි. අවසානයේ දී ඖෂධය රෝහල් වලට බෙදා හැරීමට පෙර නිසි පරීක්‍ෂාවට ලක්කළ යුතුයි. තවද ඖෂධයක් වෙළඳපොළට නිකුත් කළ පසුවද එහි තත්ත්වය ආරක්‍ෂිත බව හා කාර්යක්ෂමතාව සම්බන්ධව අවධානයෙන් සිටිය යුතු අතර හදිසි පරීක්‍ෂාවන්ටද ලක්කළ යුතුයි. ඖෂධයක් වෙළඳපොළට නිකුත් කළ පසුව ඒවායේ අතුරු අබාධ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකර වරින් වර ඖෂධ සාම්පල් ලබා ගෙන අධ්‍යයනය කිරීම කළ යුත්තක්.

ශ්‍රී ලංකාව තුළ ඖෂධ භාවිතාව සිදුවන්නේ ඖෂධ කළමණාකරන චක්‍රයකට අනුවයි. මෙය ෘරමට ඵ්බ්ටැපැබඑ ක්‍හජකැ ලෙස හැඳින්විය හැකියි. මෙහි පළමු අදියර රටට අවශ්‍ය කරන ඖෂධ මොනවාදැයි තේරීමක් සිදුකිරීමයි. මෙය Selection ලෙස හඳුන්වා දිය හැකියි. දෙවන අදියර තෝරා ගත් ඖෂධ නිසි ලියාපදිංචි ක්‍රමවේදයකට අනුව තත්වයෙන් උසස් හා ආරක්‍ෂිත ලියාපදිංචිය සහිතව රට තුළට ගෙන්වීමයි. මෙය Procurement ලෙස හඳුන්වයි. මෙම චක්‍රයේ තෙවන අධියර රට තුළට ගෙන්වන ලද ඖෂධ ගබඩා කිරීම හා බෙදා හැරීමයි -Distribution ලෙස මෙය හඳුන්වන අතර අවසාන අදියරේ දී බෙදා හරින ලද ඖෂධ භාවිතය සිදුවෙයි. ඉහත සෑම අදියරක්ම ඉතාමත්ම සුපරික්ෂාකාරීව අධීක්ෂණයට ලක්කළ යුතුයි.”

මෙවන් ප්‍රතිපත්ති රාමුවක් පවතිද්දී පසුගිය කාලසීමාව තුළ දීම අපට අසන්නට හා දකින්නට ලැබුණේ දිගින් දිගටම ශ්‍රී ලංකාව තුළ සිදුවන තත්වයෙන් බාල ඖෂධ භාවිතාව හා තහනම් කිරීම සම්බන්ධ ප්‍රවෘත්තියයි. ඉතාම මෑතක දී සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කළ චක්‍රලේඛණයකට අනුව ඉතා විශාල ඖෂධ කාණ්ඩ සංඛ්‍යාවක් මෙරට ගෙන්වීමෙන් හා රෝහල් වලට බෙදා හැරීමෙන් අනතුරුව රෝගීන්ට භාවිතා කොට අතුරු ආබාධ ජනිත වූ පසුව භාවිතයෙන් ඉවත් කිරීම හෝ තහනම් කිරීම සිදුවිය. මෙය ඉතා කණගාටුදායක තත්ත්වයකි. එයට හේතුව මෙම ඖෂධ තොග ගෙන්වීම සඳහා රජය මගින් ඩොලර් බිලියන ගණනක් යළි ලබා ගත නොහැකි ලෙස වියදම්ව තිබීමයි.

තත්ත්වයෙන් බාල (Counterfeit) හෝ ගුණාත්මකභාවයෙන් පහළ (Substandard) බටහිර ඖෂධ මේ වන විට ලොව පුරා ඖෂධ වෙළඳපොලේ සීඝ්‍රයෙන් පැතිර යන නමුත් මේ දක්වා ඒ සඳහා ප්‍රමාණවත් අවධානයක් යොමු වී නැත. මින් වඩාත්ම බැට කන්නේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, අප්‍රිකාව, වැනි දිළිඳු රටවල ජනතාව බව සමීක්‍ෂණ වාර්තා පෙන්වා දෙයි.

● නීතියෙන් රිංගන තත්ත්වයෙන් බාල ඖෂධ

තත්ත්වයෙන් බාල බටහිර ඖෂධ වෙළඳපොලේ සැරිසැරීම පසුගිය දශකය පුරා ඉහළ ගොස් තිබෙන අතර, මෙහි ප්‍රතිඵලයක් ලෙස රෝගීන් ගේ මරණ සංඛ්‍යාව ද, අතුරු ආබාධ ද කැපී පෙනෙන ලෙස වැඩි වී ඇත. මේ වන විට ලෝක වෙළඳපොලේ පවතින ඖෂධ වලින් සියයට 1ත් සියයට 50ත් අතර සංඛ්‍යාවක් තත්ත්වයෙන් බාල බටහිර ඖෂධ ය. ඖෂධ සමාගම් වාර්ෂිකව ඖෂධ මිලියන ගණනක් නිපදවන නිසා, මින් සියයට 1ක් යනු මිලියන සංඛ්‍යාවකි. මේ අනුව ලොව පුරා පැතිරුණු මාෆියා අපරාධ කල්ලි වලට මෙය විශාල ධනෝපායන මාර්ගයක්ව ඇත. දැනට වෙළඳපොලේ පවතින තත්ත්වයෙන් ඉහළ ඖෂධ වල මිල ද ඉහළ අගයක් අගයකි. එසේ ම සමහර ඖෂධ සල්වල මේ තත්ත්වයෙන් ඉහළ ඖෂධ විකිණීමට නොමැත. මීට අමතරව මේ පහත් ඖෂධ වලට එරෙහිව නීතිරීති ක්‍රියාත්මක වීම මන්දගාමී ලෙස සිදුවන අතර, පවතින නීතිරීති වල සිදුරු වලින් පහසුවෙන් රිංගා යා හැකි ය. එසේම ලැබෙන දඬුවම ද නොසැලකිය හැකි තරම් ය. පොලීසිය, රේගුව සහ ඖෂධ පාලන අධිකාරිය අතර නිසි පරිදි ක්‍රියාත්මක වන අන්තර්සබඳතාවක් නොමැතිකම ද මේ සඳහා රුකුලක් වී තිබේ.

තවද තත්ත්වයෙන් බාල බටහිර ඖෂධ සම්බන්ධව සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ නිලධාරීන්, වෛද්‍යවරුන් මෙන් ම සාමාන්‍ය මහජනතාව අතර ද පුළුල් දැනුමක් හෝ අවබෝධයක් නොමැත.

තත්ත්වයෙන් බාල ඖෂධ හඳුනා ගැනීමටත්, ඒවාට එරෙහිව ක්‍රියාත්මක වීමටත් ජනතාව දැනුවත් කිරීටත් ප්‍රමාණවත් මානව සම්පතක් නොමැති වීම තවත් ගැටලුවකි. ලෝක සෞඛ්‍ය සංවිධානයට සම්බන්ධිත රාජ්‍යයන් හි කාර්යක්‍ෂම ඖෂධ අධිකාරියක් ක්‍රියාත්මක වන්නේ සියයට විස්සක පමණ වන ප්‍රමාණයක පමණි. රාජ්‍යයන් ගෙන් සියයට තිහකම කිසිම ඖෂධ අධිකාරියක් නැත. මීට අමතරව රාජ්‍ය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් මේ ඖෂධ විද්‍යාත්මක විමසීමකින් තොරව අල්ලසට යටවී අනුමත කිරීම ද සිදු වෙයි.

රට රටවල් අතර ඇති වන සංකීර්ණ වෙළඳ ගිවිසුම් ද තත්ත්වයෙන් බාල ඖෂධ රටක් තුළ සැරිසැරීමට අත් උදව්වකි. මේවායේ ප්‍රතිඵලයක් ලෙස මේ ඖෂධ වෙළෙන්දෝ ඉහළ ලාභයක් ගනිති.

● බාලඖෂධ භාවිතයෙහි අතුරු ප්‍රතිඵල

අපේක්‍ෂිත ප්‍රතිඵල ලබා නොදෙන, තත්ත්වයෙන් බාල බටහිර ඖෂධ භාවිතය නිසා මැලේරියාව, නියුමෝනියාව, මොළයේ උණ, ටයිෆොයිඩ්, ක්‍ෂය රෝගය ආදිය යළි හිස එසවීමටත්, එම රෝග නිසා ඇති වන මරණ සංඛ්‍යාව ඉහළ යාමටත් මඟ පෑදී ඇති බව අප අමතක නොකළ යුතු ය. එහෙත් ඝර්ම කලාපීය රටවල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වාර්තා සැකසීම් නිසි පිළිවෙලකට සිදුනොවන නිසා මේ සම්බන්ධව නිශ්චිත සංඛ්‍යා ලේඛන නොමැත.

තත්ත්වයෙන් බාල බටහිර ඖෂධ තුළ අන්තර්ගත විවිධ රසායන ද්‍රව්‍ය බොහෝ අතුරු අබාධ වලට මුල පුරයි. සාමාන්‍යයෙන් ඖෂධයක් තුළ නියමිත ක්‍රියාකාරී සංයෝගය පැවතිය යුත්තේ අදාළ මිලිග්‍රෑම් ගණනින් පමණි. එහි සුළු වශයෙන් හෝ වැඩි වීමක් වුවහොත් යහපත් ප්‍රතිඵල වෙනුවට මාරාන්තික ප්‍රතිඵල උදා වෙයි.

ඇතැම් බටහිර ඖෂධ තුළ අවශ්‍ය කරන සංයෝගය වෙනුවට අනවශ්‍ය සංයෝග රැසක් ම පැවතීම නිසා ඒ එක් එක් සංයෝගයේ අතුරු ආබාධ සියල්ලම රෝගියාට උරුම වෙයි. නිදසුනක් ලෙස Artesunate ඖෂධයේ තත්ත්වයෙන් බාල ආකාරවල Artimisinin, Chloramphenicol, Erythromycin, Paracetamol, Metronidazole සහ Metamizole යන සංයෝග සියල්ල අඩංගු ය. මෙමගින් රෝගියාට ප්‍රතිකාර කරන වෛද්‍යවරයා මෙන්ම රෝගියා ද යන දෙදෙනාම අන්දමන්ද වෙති.

කුඩා ළමයින්ට මැලේරියා රෝගයට ලබා දෙන Gentamycin ඖෂධය තුළ ඇස්ප්‍රීන් අඩංගු වන අවස්ථා හෙළි වී ඇත. මේ නිසා කුඩා ළමයින්ට මෙම ඖෂධ ලබාදීමෙන් බලාපොරොත්තු නොවන අතුරු ප්‍රතිඵල ලැබී ඇත. තත්ත්වයෙන් බාල ඨැබඒපහජසබ වර්ගයේ අක්‍ෂි ඖෂධ නිසා බලාපොරොත්තු නොවන ආකරයේ අක්‍ෂි ආබාධ මතු වී ඇත.

බාල වර්ගයේ ඖෂධ නිපදවීම රට රටවල ආර්ථික යාන්ත්‍රණයන්ට ද දැඩි බලපෑමක් එල්ල කර ඇත. දැනට අනාවරණය කරගෙන ඇති පරිදි තත්ත්වයෙන් බාල ඖෂධ අලෙවියෙන් වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 35-44 ක් අතර ආදායමක් ලැබෙන අතර, මේ ඖෂධ භාවිතයේ ප්‍රතිඵල නිසා රෝගීන් අසාධ්‍ය තත්ත්වයට පත් වීමත්, මියයාමත් නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රයට මීට වඩා විශාල අලාභයක් සිදු වෙයි.

රෝගීන්ගේ පවුල් වලට දැරීමට වන පිරිවැය ද ඉහළ යයි.

තත්ත්වයෙන් බාල ඖෂධ මෙසේ වෙළඳපොල පුරා අණසක පැතිරවීම සමඟ සැබෑ ඖෂධ කෙරෙහි ද පවතින විශ්වාසනීයත්වය බිඳ වැටීම නොවැළැක්විය හැකි ය. මීට අමතරව ජනතාව රාජ්‍ය සෞඛ්‍ය ප්‍රතිපත්ති ආදිය ද නොසලකා හරිනු ඇත.

මේ ආකාරයට දැනට වෙළඳපොලේ පවතින බොහෝ ඖෂධ වලට එරෙහිව ප්‍රතිරෝදයක් ගොඩ නැඟීම නිසා රෝග වලට එරෙහිව සටන් කිරීම සඳහා අලුතින් ඖෂධ නිපදවීමට සිදු වී තිබේ. මේ අනුව තත්ත්වයෙන් බාල ඖෂධ බිහි වීම අවුල් වුණ නූල් බෝලයක් මෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය වියවුල් කර දමා ඇත.

● ව්‍යාජ ඖෂධ මෙල්ල කරන්නේ කෙසේ ද?

තත්ත්වයෙන් පහළ, ව්‍යාජ ඖෂධ මෙල්ල කිරීම ඔබට හෝ මට තනි තනි ව කළ හැක්කක් නොවෙයි. එය ශ්‍රී ලංකාව වැනි තනි රටකට තනිව කළ හැකි අරගලයක් ද නොවෙයි. මේ සඳහා විවිධ රටවල් අතර දැවැන්ත ඒකාබද්ධ ව්‍යාපාරයක් පැවතිය යුතුය. රට රටවල් අතර හා රාජ්‍යයන් තුළ මේ සම්බන්ධව ජනතාව දැනුවත් කළ යුතුය. රාජ්‍ය සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, සෞඛ්‍ය බලධාරීන්, කර්මාන්තශාලා හිමියන් හා සිවිල් සංවිධාන එකා මෙන් මේ ව්‍යායාමයට හවුල් විය යුතු ය. තනි ව සටන් වැදීමට වඩා එක්ව සටන් වැදීම සාර්ථකය. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මේ සඳහා පෙරමඟ නායකත්වය ලබා ගත යුතු බව ලැන්සෙට් වෛද්‍ය සඟරාව පෙන්වා දෙයි.

පසුගිය දශක දෙක තුනක ආසන්න කාල සීමාව තුළ ශ්‍රී ලංකාව තුළට බටහිර ඖෂධ ගෙන්වීම සම්බන්ධව ආන්දෝලනාත්මක සිදුවීම් රාශියක් වාර්තා වුවද අදාල සිදුවීම් වලට වගකිව යුතු කිසිවකු හෙලිදරව් වී නැත. ඖෂධ ගෙන්වීමේ අක්‍රමිකතා මෙන්ම ගෙන්වන ලද ඖෂධ ආසාත්මික වීමේ සිදුවීම් රාශියක් දිගින් දිගටම පුවත් පත් මගින් වාර්තා විය. මෙරට සාමාන්‍ය ජනතාව රජයේ රෝහල් වෙත පැමිණෙන්නේ නොමිලේ තම රෝග ස්වභාවයන් සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම පිණිසය. රෝහල් සායන වලින් නිකුත් කරන ඖෂධ නොමිලේ ලබාදුන් පමණින් නිසි ප්‍රමිතියකින් තොර නොවිය යුතුය. එසේම එම ඖෂධ හැකි සෑමවිටම

රෝගියාගේ ජීවිතයට අනතුරක් නොවිය යුතුය. ගෙන්වන ලද ඖෂධ ශරීරය තුළනිසි පරිදි ක්‍රියාත්මක නොවීම හෝ ගෙන්වන ලද ඖෂධ නිසා ආසාත්මික විය හැකි අවස්ථා එක්වරක් හෝ දෙවරක් සිදුවිය හැකි නමුත් නමුත් රෝගීන්ට ලැබෙන අහිතකර ඖෂධ ලැයිස්තුව දිගින් දිගටම වැඩි වර්ධනය වේ නම් එය නොසළකා හැරිය යුතු තත්ත්වයක් නොවේ. බලයට පත්වන සෞඛ්‍ය බලධාරීන් වැඩ භාර ගනිමින් පවසන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති දූෂණ අක්‍රමිකතා වලට වගකිව යුතු හිටපු නිලධාරීන්ට දඬුවම් පමුණන බවත්ය.

මිලෙන් අඩු ඖෂධ මිලදී ගන්නා ලෙස රාජ්‍ය ආයතන නිතර ප්‍රකාශ කරන නමුත් මිලෙන් අඩු ආසියානු කලාපයේ රටවලින් ගෙන්වන බොහෝ ඖෂධ අතුරු ආබාධ රැසකින් සමන්විත වන බව රෝගීන්ට ප්‍රතිකාර කරන විශේෂඥ වෛද්‍යවරුන්ම රෝගීන්ට නියම කරන ඖෂධ වලින්ම තහවුරු වේ. මේ වනවිට පෞද්ගලික චැනලින් සේවා සඳහා දෛනිකව පැමිණෙන රෝගීන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. මේ බොහෝ රෝගීන් පවසන්නේ “ඉස්පිරිතාලෙන් බෙහෙත් ගත්තට වැඩක් නෑ ලෙඩේ සනීප වුණේ නෑ. කීයක් ගියත් කමක් නෑ චැනල් කරලා ඩොක්ටර් කෙනෙකුට පෙන්නන්න ආවා. ලෙඩේ සනීප වෙනවනම් එච්චරයි’ කියමිනි. මෙවැනි ප්‍රකාශ රෝගීන් පවසන්නේ ආවාට ගියාට නොවේ.

රමින්ද ලසන්ත මාවතගේ

advertistmentadvertistment
advertistmentadvertistment