අදහා ගන්නට නොහැකිය කිසි දින ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර  

187

ඇය යන්න ගියා මැකිලා

වන සිරසක තුරු සෙවනැලි අතරේ

ගී ගයමින් හිඳ මා තුරුලේ

ඇය යන්න ගියා මැකිලා

පිනි කඳුළක් මල් පෙති අග තවරා

මිහිදුම් සළුවෙන් මුහුණ වසා…



නිල්ල නිලන නිල් කඳු වැටි අතරේ

සඳ එළියේ මං පෙත පාදා

රහසක් සඟවා ගොළු වූ හදකින්

යන්න ගියා මැකිලා…



යළි කවදාවත් හමුනොවනා බව

මඳ පවනක් හිස අත ගා කීවද

අදහා ගන්නට නොහැකිය කිසි දින

ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර

යන්න ගියා මැකිලා…



පද රචනය – සුනිල් සරත් පෙරේරා

සංගීතය – එච්. එම්. ජයවර්ධන

ගායනය – අමරසිරි පීරිස්



විභූතිභූෂණ බන්ද්‍යොපාධ්‍යාය නම් ප්‍රකට ඉන්දියානු ගත් කතුවරයා වංග බසින් රචනා කළ කෘති සියල්ලම ශ්‍රී ලාංකේය අපට සමීප වූයේ ඒවා ඇසුරෙන් නිපදවූ සත්‍යජිත් රායි තුමන්ගේ සිනමා නිර්මාණ හරහා මෙන්ම චින්තා ලක්ෂ්මී සිංහාරච්චි සිංහලයට පරිවර්තනය කළ නව කතා කිහිපය නිසාවෙන් යැයි මට සිතෙනවා.

මේ දිනවල පවතින වර්ෂාව අධික කාලගුණය සහ ඉන්ධන හිඟය නිසා අත්‍යවශ්‍ය ගමනක් යෑම හැර අන් සියලු කාලයම නිවසට වී ගත කිරීමේ පුරුද්දට අනුගතවූ මට මගේ අලස සුවය එහා මෙහා කරන්නට අත් උදව් දෙන්නේ මගේ පුංචි පොත් ගුලෙහි පොතපත පමණයි. විශේෂයෙන් මට පරිවර්තන කෘති නැවත නැවත කියවන පුරුද්දක් තිබෙන නිසාම, පරිවර්තන පොත් ගොන්න වෙත ඇස යොමු කරද්දී චින්තා ලක්ෂ්මී පරිවර්තනය කළ ‘අරණකට පෙම් බැඳ. පාරිසරික නවකතා පොත වෙත එකවර මගේ ඇස ගමන් කළේ ජීවිතේ එක්තරා කාලයක් දේශීය වනගත බිම්වල ගතකළ මගේ ජීවිතයට සමාන්තරව මේ නවකතාවේ ‘සත්‍ය වරණ. නම් ප්‍රධාන චරිතය ගොඩනැංවී ඇති ආකාරය මට ඉතා සමීපව දැනෙන නිසයි. මා මේ විශිෂ්ට පරිවර්තන කෘතිය කී වරක් කියවා ඇත්දැයි මතක නැති මුත් එහි සෑම චරිතයක්ම, පරිච්ඡේදයක්ම මගේ තුරුණු සමයේ මතකය අවදි කරනවා.

“තැනින් තැන හමු වූ එළිමහන් ප්‍රදේශවලදී වනයේ අනූපම වූ ශෝභාසම්පන්න ස්වභාවය ප්‍රකට විය. කුඩා සුදු මල් වර්ගයක් පිපී සෙවනැලිවලින් ගහන සන්ධ්‍යාවේ තුරුහිස් ආලෝකමත් කළේය. මිනිසුන්ගේ දෑස් සීමාවෙන් එපිට ශිෂ්ට සමාජයේ සීමාවෙන් බොහෝ ඈත් වූ තැනක වන රැජිණිය මොනතරම් සුන්දර ලෙස සැරසී සිටින්නේ කවුරුන් වෙනුවෙන්ද….”

විභූතිභූෂණයන් වංග බසින් ලියා ඇත්තේ එක්තරා කලෙක මා ගත කළ ජීවිතයේ කොටසක් දැයි වරෙක මට දැනෙයි.

අප දෙටු ගී පද රචක සුනිල් සරත් පෙරේරා සූරීන් ලියූ මේ පද පෙළ මා සිතට එබිකම් කරයි. සැබැවින්ම සවන් දෙන විට දී මානව ප්‍රේම විප්‍රයෝගයක් දනවන ගීයක් සේ දැනුනත්, මේ ගීතය අසන සෑම වාරයක් පාසාම මගේ මතකය දිව යන්නේ වර්ෂා වනාන්තර අතරේ ගත කළ ගතකර හුදකලා තනිකඩ ජීවිතයටයි.

අදහා ගන්නට නොහැකිය කිසි දින ඇය යළි නොඑතැයි ගිම්හානෙට  පෙර  



අප කණ්ඩායමක් එක්තරා අගෝස්තු මාසයකදී සිංහරාජය ආසන්න වනබිම් පෙදෙසක් සොයායන ගමනකදී දිවා ආහාරයෙන් පසුව සවස හතරට පමණ, රක්වාන දෙනියාය පාරේ සූරියකන්ද පෙදෙසින් හැරී, මෝනිං සයිඩ් (පදරබසබට ිසාැ) නම් හුදකලා ඉසව්ව කරා ගමන් කළේ, සිංහරාජයේ නැගෙනහිර මායිමක මිනුම් සහ සංගණන කටයුතු වෙනුවෙනි. අප ගිය ජීප් රථය කඳු කපොලු දෝරු පල්ලම් පසුකොට එක්වරම පැමිණියේ පතන් බිමකට ආසන්න පඳුරු සහිත තැනිතලා බිම් තීරයකට ය. ඉහළින් ඇත්තේ වටේටම සිංහරාජ වන වියනයි. තෙතබරිත තැනිතලාවේ ඈතින් කුරුල්ලන් රොද බැඳ ගැවසෙන පෙදෙසක පඳුරු මත රතු තැඹිලි පාටින් ඉදී තිබෙන යම් ගෙඩි වර්ගයක් දැක අප සියලු දෙනා සැනින් එතැනට ළඟා වූයේ මේ කුමක්දැයි දැනගනු රිසියෙනි. ඇස් අදහාගත නොහැක. මුළු තැනි බිම පුරාම පඳුරු මත ඇඹුල්පේර ඉදී තිබෙයි. ශීතල කාලගුණය නිසා ඒවා සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාලව වැඩී ඇත. ඒවා කඩාගෙන කමින් තැනි බිමේ ඈතින් පිහිටි අත්හැර දැමූ පැරණි බංගලාවක් වෙතට අප ගමන් කළේ එහි කිසිවකු නැතැයි සිතා ගෙනය. හුදකලා මිනිසෙක් බංගලාව මුර කරයි. සීතලෙන් බේරීමට ඔහු පොරෝනාවක් දවටාගෙන සිටියි. කැඩුණු සිංහල බසින් ඔහු අපට අවට විස්තරය පවසයි. මේ වන විට අප සිටින්නේ බේසමක පතුලක වැනි තැනක ය. ඉහළ ඇති වන වියන් වාටියෙන් පෙරී ඝන මීදුම ගලා එන්නේ අපව යට කර ගන්නට මෙනි. නිමේෂයකි!. අපට අපව නොපෙනී යන තරමට මීදුම ගලා ඇවිත් තිබේ. අධික සීතලෙන් ගතේ හිරිගඩු පිපෙයි. එහෙත් එලෙස පැය භාගයක් පමණ ගත වන්නට ඇත. මිහිදුම් සළුව කෙමෙන් අපව අතහැර යන්නට පටන් ගෙන ඇති සැටියකි. අපේ රැහේ එකෙක් යමක් මුමුණයි.

“සුසිනිඳු සුදු සේල ගලවා තියා”.. මිහිඳුම් මනමාලි පැනල ගියා.”

මම යළි මට සමීප ගීතය වෙත දිව යමි…

“නිල්ල නගන නිල් කඳුවැටි අතරේ”..

සඳ එළියේ මං පෙත පාදා..

රහසක් සඟවා ගොළු වූ හදකින්…

යන්න ගියා මැකිලා….”

ගී පද වැලෙහි නිර්මාතෘවරයා වූ සුනිල් සරත් පෙරේරා මහතා මේ ගීතය ගැන කළ විවරණයක් මගේ මතකයට නැඟෙයි… අපේ දේශයේ පරිණත පරිසරවේදියකු වූ එතුමා මේ ගීතය ලියා ඇත්තේ ප්‍රේම ගීතයක් ලෙසින් නොව, මා මෙන් ම එක්තරා පරිසර සංසිද්ධියකින් වශීකෘතව වන බිමක සිටියදී දුටු මනස්කාන්ත දසුනක් නිසා මත් වූ සිත, ඊට ටික වේලාවකට පසු සම්පූර්ණයෙන්ම වෙනස් වී ගිය පරිසර තත්ත්වයක් නිසා ඇතිවුණු හුදකලාවේ ප්‍රකම්පනය සහ පාළුව මතින් එතුමා මේ ගී පද රචනා කරන්නට පෙළඹුණු බව ඉන් කියැවිණි. විභූතිභූෂණයන් සහ සුනිල් සරත් පෙරේරා කිවිඳුන් ඒකාත්මික වූ අයුරක් නොවේද? මේ.

එසේනම්, අපේ රටේ වැසි වනාන්තර තුළ ද ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ භාගල්පූර් හි පිහිටි වනගත පරිසරයේ ද මිමිනෙන්නේ එකම තනුවකින් සුසර වූ සොබාදහමේ ගීතයයි. එය මගේ ජීවිතයේ ද කොටසකි.

“අදහා ගන්නට නොහැකිය කිසිදින”..

ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර..

යන්න ගියා මැකිලා..

ඇය යන්න ගියා මැකිලා…”

මෙහි ඔබේ අත්දැකීමක සේයාවක් ද රැඳී ඇතැයි මම අනුමාන කරමි.

advertistmentadvertistment
advertistmentadvertistment