‘මූලික අයිතිවාසිකම් කඩවුණා’ කොටි සැකකරුවෝ 8 ක් ලොහාන්ට එරෙහිව උසාවි යති

431

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරය තුළදී තමාව දණගස්වා හිසට පිස්තෝලයක් එල්ල කර සිදුකළ මරණීය තර්ජනය නිසා තමා ඇතුළු එල්.ටී.ටී.ඊ. සැකකරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩවූ බවට නිගමනය කරන ලෙස ඉල්ලා එල්.ටී.ටී.ඊ. සැකකරුවකු වන පුගාලසිංහම් සුරියබාලන් ඇතුළු සැකකරුවෝ අටදෙනෙක් ඊයේ (30 දා* ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ.

පසුගිය 12 වැනිදා පස්වරු 6.05 ට පමණ අනුරාධපුර බන්ධනාගාරයට පැමිණි රාජ්‍ය අමාත්‍යවරයා තමන් ඇතුළු එල්.ටී.ටී.ඊ. සැකකරුවන් පිරිසක් සිර මැදිරිවලින් ඉවතට ගෙන පිස්තෝලයක් හිසට එල්ල කර කළ එම මරණීය තර්ජනය නිසා තමන් ඇතුළු එල්.ටී.ටී.ඊ. සැකකරුවන්ගේ ජීවිත බලවත් අවදානමකට ලක්වී ඇතැයි ද පෙත්සම්කරුවන් එමගින් ශ්‍රේෂ්ඨාධිකරණයට කියා තිබේ. එබැවින් තමන් ඇතුළු එල්.ටී.ටී.ඊ. කි‍්‍රයා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන වසර ගණනාවක් තිස්සේ රඳවාගෙන සිටින පිරිස යාපනය බන්ධනාගාරයට මුදාහැරීමට බලධාරීන්ට නියෝගයක් කරන ලෙසත් තමන් ඇතුළු පිරිස සියලූ චෝදනාවලින් මුදාහැරීමට හා ඇප මත මුදාහැරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටත් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා තිබේ.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, අධිකරණ අමාත්‍යවරයා හා නීතිපතිවරයා නම්කොට ඇත.

බන්ධනාගාර භාර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන තමාට ජනාධිපතිවරයා විසින් එල්.ටී.ටී.ඊ. සැකකරුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ පූර්ණ බලය ලබාදී ඇති බැවින් තමන් ඇතුළු එල්.ටී.ටී.ඊ. සැකකරුවන් සම්බන්ධයෙන් සිය අභිමතය අනුව කටයුතු කිරීමේ බලය ඔහුට හිමි බව පවසමින් රාජ්‍ය අමාත්‍යවරයා තර්ජනය කළ බවද පෙත්සම්කරුවන් වැඩිදුරටත් සිය පෙත්සම මගින් අධිකරණයට දන්වා තිබේ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment