මහාචාර්ය පල්ලියගුරු අහස්ගව්වට ළංවෙයි!

206

ඉරා අඳුරු පට පෙරදිග අහසේ…

අසූ වසක් සපිරෙන ජන්ම දිනයට දෙසතියකට පෙර ඊයේ (22දා) චන්ද්‍රසිරි පල්ලියගුරු විද්වතාණෝ මෙළොවින් සමුගත්හ. කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු වූ පල්ලියගුරු මහතා කෘතහස්ත ලේඛකයෙකි. සිනමා විචාරකයෙකි. සිනමාව සහ සම්භාව්‍ය කලාව පිළිබඳ පර්යේෂකයකු ලෙසද ටෙලි නාට්‍ය සමීක්ෂණ මණ්ඩලය ඇතුළු කලා විනිශ්චය මණ්ඩල රැසක ඉහළ පෙළෙහි සාමාජිකත්වය දැරූ පල්ලියගුරුගේ මහතා සමාජයේ කැපී පෙනෙන නිහතමානී විද්වතෙකි.

වසර 1943 අප්‍රේල් 05 වැනි දින මාතරදී උපන් ඔහු මාතර රෝහණ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා කැලණිය සරසවියට ඇතුළත්ව තිබේ. එතැන් සිට ලේඛන කලාව ජනසන්නිවේදනය ප්‍රගුණ කරමින් ගී පද රචනයේද නියැළී ඇත.

මහාචාර්ය පල්ලියගුරු අහස්ගව්වට ළංවෙයි!

ධර්මසේන පතිරාජයන්ගේ අහස් ගව්ව චිත්‍රපටය සඳහා ‘එකමුතු වී ඉමු මිතුරෝ – එන්න මගේ ප්‍රිය මිතුරෝ’ ගීතය රචනා කළ පල්ලියගුරුගේ මහතා අමුතු තාලේ ආදර කතාවක්, අංචිය, කාලිංග ලංක්ෂේවර හෙවත් කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල, මහාකාල, මහබිසෝ ලීලාවතී, පරිකල්පනය තාක්ෂණය සහ නිර්මාණය ඇතුළු කෘති තිස් දෙකක් රචනා කර තිබේ.

විශ්‍රාම සුවයෙන් කඩවත නිවසෙහි විසූ මහැදුරෝ මියයන මොහොත තෙක් සාමාන්‍ය ජනයා සමග ඉතා කුළුපඟව ජීවත් වූහ. නොබෝදා තෙක්ම සම් සෙරෙප්පුලා කුඩයක් අතින් ගෙන කඩමණ්ඩියට යන සරල සාමාන්‍ය දිවිපෙවතක් ගත කළ නිහතමානී පුරවැසියකු ලෙස කාගේත් සිත් දිනාගෙන සිටියේය.

නිහතමානී විද්වතාණන්ගේ හදෙහි උපන් පද රචනයෙන්ම අපි ඔබට සුභ ගමන් පතමු!

ඉරා අඳුරු පට, පෙරදිග අහසේ
පොකුරු පොකුරු තරු නිවී යන්ට පෙර,
අරුණළු උදයේ දිලිසෙන පිණිමත
පියමං කරමින් – අහස් ගව්වටයි ළං වන්නේ !!
හිරු රැස් දැඩිවී හැකිළී ගුලි වී සැඟවී යාදෝ
පිණිකැට මිහි තුළ පා පෙරළී ගොස් රැඳී යාවිදෝ
අප හැම – ඉමක් නොපෙනෙනා අහස් ගඟේ සැඟවී යාදෝ

සම්මානිත මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු විද්වතාණන්ගේ දේහය අද (23දා) පෙරවරු 8.30 සිට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තිබේ. දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (24 ඉරිදා) සවස බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය.

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment