හින්දු කෝවිල් 21 බින්ද සැකකරු අත්අඩංගුවට

55

මධ්‍යම හා ඌව පළාතට අයත් හින්දු කෝවිල් 21ක් බිඳ රන් ආභරණ හා පිං කැට මුදල් කොල්ලකෑ පුද්ගලයෙකු පෙරේදා (22දා) නුවරඑළිය පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු ලබන මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නුවරඑළිය මහෙස්ත්‍රාත් කුෂිකා කුමාරසිරි මහත්මිය නියෝග කළාය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ නුවරඑළිය අඹේවෙල වත්ත බොරගස් ප්‍රදේශයේ පදිංචි මුත්තුසාමි රගුනාදන් (අවු.43) යන අයයි.

සැකකරු සමග සොරකම් කරන ලද රන් භාණ්ඩ මිලදී ගත් තලවාකැලේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනකුද අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

ප්‍රධාන සැකකරුගෙන් රන් භාණ්ඩ මිලදී ගත් පුද්ගලයන් දෙදෙනාට ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කර සැකකරුවන් දෙදෙනාට නැවත අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා එම කොවිල්වල සවි කර තිබූ ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ පරීක්ෂණ පැවැත් වූ නුවරඑළිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

හින්දු කෝවිල් 21 බින්ද සැකකරු අත්අඩංගුවට

ප්‍රධාන සැකකරු මත්ද්‍රව්‍ය වලට තදින් ඇබ්බැහි වූවෙකු බවද නුවරඑළිය පොලිසිය පැවසීය.

සැකකරු තලවාකැලේ, රාගල, හයිෆොරස්ට්, ලිදුල, හැටන්, බගවන්තලාව, නානුඔය, උඩපුස්සැල්ලාව, වැලිමඩ, කැප්පෙටිපොළ, මාතලේ, ගම්පොළ සහ නාවලපිටිය යන පොලිස් බල ප්‍රදේශවලට අයත් හින්දු කෝවිල් 21ක් කඩා සොරකම් සිදුකර ඇති අතර, එකම කෝවිල කිහිප වරක් කඩා එහි තුළ තිබූ මුදල් සහ රන් ආභරණ සොරකම් කර ඇති බවට පොලිස් මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. එස්. රාජසිංහ, ප්‍රධාන පොලිස් පරීක්ෂක ත්‍යාගරාජා, පො.සැ. ජයතිලක (40422), පො.සැ. වීරසිංහ (6043), පොකො හේරත් (60326), පො.කො. කුමාරසිංහ (38721), කා.පො.කො. පූර්ණිමා (12991) යන නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment