කීරි සම්බා විකුණන්නේ කුඩු විකුණනවා වගේ…

හැම භාණ්ඩයකටම උපරිම මිලක් පැනවිය යුතුයි…

පාරිභෝගික දිනය දවසේ අධිකාරියම හිස්…

පුළුවන් නම් ඉන්දීය බිත්තරවල මිල හෙළි කරන්න…

බිත්තර කර්මාන්තය අද කුරුණෑගලට සීමා වෙලා…

මේ කන්නෙවත් දඹුල්ලේ ලොකුලූනු ටික වවාගන්න…

පාරිභෝගිකයා යනු උපතේ සිට මරණය දක්වාම ජීවත්වන්නට අපමණ දුක් උහුලන කාගේවත් කිසි පිළිසරණක් නැති අසරණ සත්ව කොට්ඨාසයකි. අර්ථයෙන් ගත් කල යාචකයාගේ පටන් රට කරවන ජනාධිපතිවරයා දක්වා වූ සාර්ව සියලු සත්වයෝ අයත් වන්නේ පාරිභෝගික ගණයට බව සැබෑය.

එහෙත් අපේ රටේ පාරිභෝගිකයෝ යනු තමන් විසින් උපයනා ධනය වියපැහැදම් කර වෙළඳපොළේ පවතින භාණ්ඩ හා සේවා ලබා පරිභෝජනය කරන පිරිසකටය. ජනතා බදු මුදලින් බත් කන, නිවාස වතුපිටි යාන වාහන භාණ්ඩ හා සේවාවන් පරිභෝජනය කරමින් යෙහෙන් වැජඹෙන රාජරාජ මහාමාත්‍යවරු හා නිලධාරීහු හුදු ස්වල්පය හැරුණු විට මේ රටේ ජීවත්වන සියයට අනූනවයක් පොදු ජනතාව පාරිභෝගිකයෝ ය.

එදා තෙල් නැතිදා තෙල් පෝලිමේ සිටියේ ඔවුන්ය. ගෑස් නැති දා ගෑස් පෝලිමේ සිටියේ ඔවුන්ය. කර කියා ගත හැකි කිසිවක් නොමැතිව ගෙවල්වලට කොටු වූයේ ඔවුන්ය. දුක කියාගන්නට කෙනෙක් නැතිව මහපාරට වන් කල අරගලවලට මැදිවූයේත් අවස්ථාවාදී දේශපාලනඥයන්ට අසුවූයේත් ඒ පවට ආරක්ෂක අංශවලින් බැට කෑවේත් ඔවුන්ය.

එපමණක්ද..? නැත. වී ගොවියා රකින්නට යැයි කියමින් අසාමාන්‍ය මිලකට බත් කන්නේ ඔවුන්ය. ලූනු ගොවියා මෙන්ම අල ගොවියා රකින්නට වැඩි මුදලට අල ලූනු කන්නේද ඔවුන්ය. වෙළෙන්දන් විසින් හිතූ හිතූ මිලට වැඩි කරන බිත්තර හැටට හැත්තෑවට ගෙන කෑවේ ඔවුන්ය. හාල්මැස්සන් කරවල, මස්, මාළු නොකා කිරි හොදියි ලුණු මිරිසුයි සමග බත් කන්නේද ඔවුන්ය. අමු මිරිස් තක්කලි කන්නට බැරුව කාලෙන් කාලෙට විකල්ප සෙව්වේ ඔවුන්ය. කොටින්ම කිවහොත් කාගේ හෝ පව් කන්දක් වෙනුවෙන් සොච්චං ආදායමකින් සැනසෙමින් තමන්ට දරාගන්නට බැරි පාරිභෝගික වියදමක් දරමින් අද කබලෙන් ලිපට වැටී ඇත්තේද ඔවුන් ය. ඔවුන් ගැන අද කිසිවෙකුත් කතා කරන්නේ නැති තරම්ය. ඔවුන් මොන දුකක් දැරුවත් රට කරවන මහ මැති උතුමන්ට වගේ වගක් නැති ගාණය.

එබැවින් මුළුමහත් ලෝකයම පාරිභෝගිකයන් ගැන කතා කරන දිනයේ (මාර්තු 14) එනම් ජාත්‍යන්තර පාරිභෝගික දිනයේ අපි ඔහු හමුවූයේ ඔවුන් ගැන වෙනදාට වැඩියෙන් තව ටිකක් කතා කරන්නටය. ඔහු පාරිභෝගිකයින් සුරැකීමේ සංවිධානයේ වත්මන් සභාපති අසේල සම්පත් මහතාය. අද දවසේ පාරිභෝගිකයා මුහුණපා සිටින ඛේදවාචකය ගැන කියන්නට ඔහු ළඟ කරුණු බොහෝය.

“මූලිකම කාරණාව තමයි පාලන මිල. ආණ්ඩුව, පාරිභෝගික අධිකාරිය එකතුවෙලා හැම භාණ්ඩයකටම සේවාවකටම පාලන මිලක් පැනවිය යුතුයි. ඒ කියන්නේ උපරිම මිලක් පැනවිය යුතුයි. මේ ගාණට වඩා මේක විකුණන්න බෑ. තරගකාරීත්වය මත අඩුවෙන් විකුණුනාට කමක් නැහැ. වැඩියෙන් බැහැ. එහෙම නොකරන පාරිභෝගික අධිකාරියක් රටට මොකටද…”

එතකොට තරගකාරීත්වය ඇති වෙන්නේ කොහොමද…?

“තරගකාරීත්වය ඇතිවෙන්නේ භාණ්ඩයේ හෝ සේවාවේ ප්‍රමිතිය හා ගුණාත්මක භාවය අනුව. ප්‍රමිතියෙන් ඉහළ භාණ්ඩ රජය තීරණය කරපු ඉහළ මිල මත විකුණුනාට කමක් නෑ. හැබැයි ප්‍රමිතියෙන් පහළට එනකොට ඉහළ මිලට විකුණන්න බෑ. ඒවට තමයි පාරිභෝගික නීති රීති තියෙන්න ඕන.”

පැමිණෙමින් තිබෙන්නේ උත්සව සමයයි. උත්සව සමයට මිල වැඩිවන භාණ්ඩ අතර මස්, මාළු, කරවල, කිරි, බිත්තර ප්‍රධාන වේ. මේවායේ මිල පාලනය කිරීමට රජයට නොහැකි මන්දැයි යන ප්‍රශ්නයට අසේල සම්පත්ට දැඩි විවේචනයක් තිබුණි.

“ආණ්ඩුවට වැඩපිළිවෙළක් නැතිකම. දුප්පත් මිනිස්සුන්ට පුංචි දරුවොන්ට පෝෂණය දෙන්න පුළුවන් ලාභම ක්‍රමය තිබුණේ බිත්තර. ඉස්සර කතාවක් තිබුණනේ අපි උදේ පාන්දර කුකුල හඬලනකොට අවදි වෙනවා කියලා. දැන් අපේ ගම්වල හඬලන්න කුකුල්ලු නෑ. ගංකුකුල්ලුත් නෑ, ෆාම් කුකුල්ලුත් නෑ. ග්‍රාමීය වශයෙන් තිබුණු පුංචි පුංචි කුකුළු ගොවිපළවල් ඔක්කොම පහුගිය කොරෝනා කාලයේ වහලා දැම්මට පස්සේ ඉතුරු වුණේ හෙට්ටිපොලයි, කුරුණෑගලයි, කුලියාපිටියෙයි මහා පරිමාණ කුකුල් ෆාම් ව්‍යාපාරිකයො කීපදෙනෙක් විතරයි. දැන් ඒගොල්ලෝ තමයි බිත්තරවල මිල තීරණය කරන්නේ. ඒගොල්ලෝ කියනවා බිත්තරයකට මෙච්චර නිෂ්පාදන වියදමක් යනවා. ඒක පියවගෙන ලාභය පවත්වාගෙන විකුණන්න නම් මේක තමයි මිල කියල දවසින් දවස බිත්තර ඉහළ යවනවා. ආණ්ඩුවට තියෙනවා NLDB ෆාම්. නමුත් ඔවුන්ට වැඩපිළිවෙළක් තියෙනවද කුකුලෙක් හදන්න. මෙච්චරයි වියදම් වෙන්නේ බිත්තරේක නිෂ්පාදන වියදම මෙච්චරයි මේ ගාණට බිත්තරේ දෙන්න පුළුවන් කියලා උදාහරණ දක්වන්න කුකුළු ගොවිපළක්. නැහැ. ආණ්ඩුව දැන් මොකක්ද කරන්නේ. ඉන්දියාවට ගිහිල්ල ගිහිල්ල කරක් ගහලා එහේ තියෙන පුංචිම බිත්තරේ ගෙනල්ලා අත ඇරියා ලංකාවේ. මම ඇමැතිට අභියෝග කරනවා පුළුවන් නම් ඒ ගේන බිත්තරේ එහේ මිල කීයද කියන්නේ? ඇයි පුංචිම බිත්තරේ ගේන්නේ මීඩියම් සහ ලාජ් බිත්තර ගේන්නැතුව කියලා කියන්න. ඒ ගේන ටිකත් පාරිභෝගිකයට නොදී දානවා බේකරිකාරයොන්ට.

දැන් ඔන්න මං දැක්කා හීනෙන් බය වුණා වගේ කෘෂිකර්ම ඇමැති ගම්වල ගිහිල්ලා කුකුල් පැටව් බෙදනවා ගමේ කුකුළු කර්මාන්තය ඇති කරන්න. එහෙමද මේක කරන්න ඕන. සමෘද්ධි නියාමක ඉන්නවා, ගොවි නියාමක ඉන්නවා, ග්‍රාම නිලධාරී ඉන්නවා ගමේ. කෝ මේගොල්ලෝ හවුල් කරගෙන ගම් මට්ටමෙන් කුකුළු කර්මාන්තය ගමේ බිහි කරන්න ව්‍යාපෘතියක් හැදුවා. ඒවා නෑ… ආණ්ඩුවට තියෙන්නේ මේ ඔක්කොම බොරු පැලැස්තර විසඳුම් විතරයි. ගෙන්නනවා කියලා ඉන්දියාවෙන් බිත්තර ගේනවා. හැබැයි ඒ ගේන එකත් බාලයි.”

පාරිභෝගිකයාට පසුගිය සතියේ හොඳටම දැනුණු මිල වැඩිවීම වූයේ වෙළෙඳපොළේ ලොකු ලූනු මිල ඉහළයෑමයි. ලොකු ලූනු සම්බන්ධ ප්‍රශ්නය ද බිත්තර ප්‍රශ්නයට දෙවැනි නැත. ලොකු ලූනු ප්‍රශ්නය අපට අද වඩාත් තදට බලපාන්නේ ලංකාවේ ඊට විකල්ප වශයෙන් ලොකු ලූනු වැවීමේ කර්මාන්තයක් නොමැතිකමයි.

මීට කලකට පෙර ලංකාවේ ලොකු ලූනු අවශ්‍යතාවයෙන් 50% ටත් වඩා ලංකාවේ වවාගන්න හැකි වී තිබුණේ දී අයි සී ආයතනය ඇතුළු ආයතන කිහිපයක් රාජ්‍ය අංශවල ද මැදිහත්වීම ඇතුව අනුරාධපුර හා මාතලේ දිස්ත්‍රික්කවල ගලේවෙල, දඹුල්ල, සීගිරිය, කලාවැව ප්‍රදේශවල අරඹා තිබූ ලොකු ලූනු වගා ව්‍යාපෘති නිසාය. අප්‍රේල් මාසයේ තවාන් දමා මැයි මාසයේ වගා කරන ලොකු ලූනු වගාවේ අස්වැන්න අගෝස්තුවේ නෙළාගන්නට ඒ ප්‍රදේශවල ගොවියෝ සමත් වූයේ හොඳ බීජ, හොඳ පොහොර, කෘමි නාශක ඇතුළු යෙදවුම් හිඟයකින් අපහසුවකින් තොරව එකල ලැබී තිබුණ නිසාය. අගෝස්තුවේ ටොන් අසූදාහක පමණ අස්වැන්නක් මේ ප්‍රදේශවල වගාවෙන් රටට ලැබුණු බව අපට මතකය.

පසුකාලීනව දඹුල්ලේ ගොවියෝ ලොකු ලූනු වගාව අත්හැර දැම්මේ විශේෂයෙන් පොහොර හා කෘමිනාශක ප්‍රශ්න නිසාය. දැන් දඹුල්ලේ එක ලූනු ගහක්වත් වගා කරන්නට ගොවියෝ පෙලඹෙන්නේ නැත. අද අපට ඉන්දියාවට හා පාකිස්ථානය දෙසට කට ඇරගෙන බලා සිටින්නට වී ඇත.

“ලංකාවේ ලූනු වගාව තිබුණ නම් අද මේ ප්‍රශ්නය මෙච්චරටම අපට දැනෙන්නෙ නැහැ තමයි. හැබැයි මේක වෙළෙන්දන්ගේ නැහැදිච්ච වැඩක්. පහුගිය කාලේ ඩොලරය තිබුණෙ රුපියල් 320ට විතර. මේ දවස්වල ඒක රු. 299ට අඩු වෙලා තිබෙද්දීත් හිටිහැටියේම ලූනු මේගොල්ලා මිල ඉහළ දැම්මා. ගිය සතියේ සෙනසුරාදා පිටකොටුවෙත් මිල ලොකුලූනු 380 යි. රතුලූනු 230යි, සුදුලූනු 520යි.

මේව ගේන ව්‍යාපාරිකයෝ මිල අඩු වෙලාවට තොග ගෙන්නල ගෙන්නල ගබඩාවල පුරෝගෙන ඉන්නවා අඩුම තරමේ මාසෙකටවත් ඇතිවෙන්න. හැබැයි ඉන්දියාවේ හරි පාකිස්ථානයේ හරි පොඩි වෙළඳපොළ වෙනසක් ඇති මේගොල්ලන්ට මිල වැඩි කරන්න. මේ පාර වුණේ පකිස්ථාන් වෙළඳපොළේ ප්‍රශ්නයක් අල්ලගෙන සඳුදා වෙනකොට 420යි කිව්වා. සඳුදා හවස 450. ඔන්න පහුවදා 490යි. දවසින් දවස ඒක හත්සීය දක්වා ආවා. මේක තනිකරම මාෆියාව. ඩොලරය අඩුවෙද්දි ඇයි මේ ලූනු මිල වැඩිවෙන්නෙ කියලා මොන රාජ්‍ය නිලධාරියා ද මොන ඇමැතිවරයාද ඇහුවේ ව්‍යාපාරිකයන්ගෙන්. අපි ඔන්න කෑ ගැහුවට පස්සේ බදාදා හවස මේගොල්ලෝ ගෙනලා සාකච්ඡා කරනවා වෙළඳ ඇමැති. අන්තිමේ වෙළෙන්දෝ ටික ජනතා මුදලින් හොඳට තේ එහෙම බීලා යන ගමන් මාධ්‍යවලට තගද්දාලා ආපහු ගියා. කිව්වද ලොකු ලූනු වැඩිවුණේ ඇයි කියලා. නෑ… ඇමැති කියනව ඒ වෙනුවට ඒගොල්ලෝ පිටරටින් ගෙන්නන කිරිපිටි මිල අඩු කරනවාලු. කවුද ඇහුවේ ගබඩාවල තිබුණු ලූනු ටික දවස් දෙක තුනක් ඇතුළත එක පාරට වැඩි වුණේ කොහොමද කියලා. මොනවද ඒ සාකච්ඡා ඇතුලේ කතා වුණේ කියලා කවුරුවත් දන්නේ නෑ. ජනතාවාදී ඇමැතිවරු හරි නම් මාධ්‍යවලට පේන්න එපැයි ඒ සාකච්ඡාව කරන්න. ඒ අතරේ කියනවා මීඩියම් රෝස ලූනු එකක් ගේනවලු රු. 370ට දෙන්න. ඇමැතිවරයා ඒ කතාව කියන්නේ මිල ගණන් හොයල බලලා ද? නැහැ.

මේ වෙලාවේ අපි ජනතාවට කියලා දෙන්නේ මුංගෙ ලූනු ගබඩාවලම පැළවෙන්න වෙන වෙන විකල්පවලට යන්න කියලා. යාපනයේ රතුලූනු හොඳයි ගුණයි. ඒවගේම රසයි. මේ දවස්වල අපි විකල්පවලට ගිහින් ඇමැතිවරු හුරතල් කරන කූඨ ව්‍යාපාරිකයන්ට පාඩමක් උගන්වමු.

කැරට් රුපියල් 3000ට යනකොට අපි ජනතාවට කිව්වේ කැරට් කන්න එපා කියලා. ජනතාව බුද්ධිමත්ව ඒ දවස්වල දෙහි මිල යනකොට දෙහි කන එක නතර කරා. තක්කාලි මිල යනකොට තක්කාලි ගන්න එක නතර කළා. එළවළු මිල නගිනකොට එළවළු ගන්න එක නතර කළා. අපි මේ පාඩම් උගන්නන්නෙ ගොවියාට නෙමෙයි. ගොවියයි පාරිභෝගිකයයි අතර ඉන්න තක්කඩි කළුකඩකාර වෙළෙන්දන්ට. ඒගොල්ලෝ ආණ්ඩු මට්ටු කරන වැඩේ ආණ්ඩුව කරන්නේ නැත්නම් ජාතික පාරිභෝගික පෙරමුණ එහෙම නැත්නම් පාරිභෝගිකයින් සුරැකීමේ සංවිධානයේ හැටියට අපිටවත් කරන්න වෙනවා. ඒකයි මම කියන්නේ. ආණ්ඩුවට පාරිභෝගික සේවා අධිකාරියෙන් ගන්න වැඩේ ජනතාවාදීව ගන්න බැරිනම් කරුණාකරලා ඔන්න ඕක අපට දෙන්න. අපි ඔය වැඩේ සති දෙකෙන් කරලා දෙන්නම්. කයිවාරු ගහනවා නෙමෙයි. අර කතාවක් තියනවනේ ඔන්න ඕක දීපන් ළමයෙකුට කියලා.

මේ දවස්වල පාරිභෝගික සේවා අධිකාරියේ ක්‍රියාකාරීත්වයට මොකද වෙලා තියෙන්නේ…? ඒ ගැනත් අමුතු විවේචනයක් අසේල සම්පත්ට තිබුණා.

“දන්නැද්ද ඒක… ඕක ඒගොල්ලෝ අවුල් කරගත්තේ 2014 දී. ඒ කාලේ පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති ඇමැති අනුමැතියක් නොමැතිව ශ්‍රී සමාගමක් සමග ගිවිසුමක් අත්සන් කරනවා භාණ්ඩවල අලවන්න ස්ටිකරයක් නිෂ්පාදනය කරන්න. අම්බානක ගැහිල්ලකටයි සූදානම් වුණේ. ඒකෙ හිටපු නිලධාරියෝ ටික මොරොක්කෝ ගෙනිහිල්ලා කන්න බොන්න සැප ඔක්කොම දීල එක්කන් ආවා. ගිවිසුම අත්සන් කරාට අන්තිමේ වැඩේ කෙරුවේ නෑ…

මොනවා උනත් ඒ සමාගම ජාත්‍යන්තර උසාවියේ නඩු දැම්මා. අන්තිමේ බේරුම්කරණ අධිකරණයකින් රුපියල් ලක්ෂ විසිඅටදාහක් (බිලියන 2.8) සමාගමට ගෙවන්න තීන්දුවක් ලැබුණා.

ඕක ගෙවන්න උනාට හරියට සිද්ධ වුණේ නෑ. හිටපු සභාපතිවරයා ඕකෙන් කොටහක් ගෙවන්න පටන් ගත්තා. අපි ඒකට නඩුවක් දැම්මා. ඔන්න ඔය වරදට තමයි ඇමැතිවරයා කිව්වේ අධ්‍යක්ෂක මණ්ඩලයටයි සභාපතිටයි ඉල්ලා අස්වෙන්න කියලා. දැන් ඕකේ සභාපති කෙනෙක් නෑ අධ්‍යක්ෂ මණ්ඩලයක් නෑ. අධ්‍යක්ෂවරු විසි දෙදෙනෙක් හිටියා රුපියල් ලක්ෂය බැගින් පඩි ගන්නවා. වාහනවලට ගන්නවා, ඉන්ධනවලට ගන්නවා. එක අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමකට දහදාහ ගාණේ ගන්නවා. මොනතරම් විනාශයක් කරාද ජනතා මුදල්. කොහොම හරි දැන් අන්තිමේ අපේ රට මේ 15 වැනිදා ජාත්‍යන්තර පාරිභෝගික දිනය සමරද්දී පාරිභෝගික අධිකාරියේ තනතුරු හිස්. හිටියත් මේගොල්ලෝ රටට දැනෙන හරි හමන් වැඩක් කළේ නෑනෙ.

පාරිභෝගිකයෙක් පැමිණිල්ලක් කළාම ඒක වටලන්න යන්නේ සති ගාණක් පහු වෙලා. ඇහුවම කියන්නේ අපිට නිලධාරීන් නෑ කියලා. රටටම ඉන්න නිලධාරීන් 200යි. කොළඹ විතරක් වැඩ කරනවා කියලා පේන්න මාධ්‍ය සංදර්ශන දානවා. කරන්නෙ එච්චරයි. සේවක ප්‍රශ්නෙට අපි ළඟ නම් තියෙනවා විසඳුම්. ඒගොල්ලන්ට එහෙම නිර්මාණශීලීව හිතන්නවත් බෑ…”

එළඹෙන උත්සව සමය තුළ තව මොන මොන පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළ යා දැයි කිව නොහැක. ඩොලරයේ මිල පහළට ආවත් පිටරටින් ගෙන්වන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල පහළට ඒ ඇයි සිතාගත නොහැක. එහෙත් හාල්, පරිප්පු, පිටි, සීනි, ලූනු, අල, සැමන්, කරවල හාල්මැස්සන් මිල තවදුරටත් ඉහළ යා හැකි බව අසේල සම්පත් ගේ මතයයි.

“ඇයි ඉතින් පාලනයක් නැහැනේ. මම නම් කියන්නේ මේවා නිෂ්පාදනය රටේ වැඩි කරන්නේ නැතුව විසඳන්න බෑ. ඒකටයි කෘෂිකර්ම ඇමැතිවරයා ඉන්නේ. පසු සම්පත් ඇමැතිවරු ඉන්නවා. සුළු අපනයන භෝග සම්බන්ධයෙන් ක්‍රියා කරන ආණ්ඩුව ඇමැතිවරු ඉන්නවා. වාණිජ භෝග වගා කරන ආයතන තියෙනවා. පුළුවන් තරම් මෙයාලා මැදිහත් වෙලා ඒවායේ නිෂ්පාදන ඉහළ නංවන්න ඕන. ඒවා කරන අතර අනිත් පැත්තෙන් ආනයනයන් හරියට පාලනය කරන්න ඕනා. විවෘත ආර්ථිකයක් කියලා කිය කිය වෙළෙන්දොන්ට ඕන ඕන හැටියට මේක පාලනය කරන්න දුන්නොත් ඒකාධිකාරිය බිඳින්න බෑ. ආණ්ඩුවට එකට වැඩපිළිවෙළක් ඕන. ඒක දන්නේ නැත්නම් අපෙන් අහන්න අපි කියලා දෙන්නම්.

ඔක්කොටම කලින් මේ උත්සව සමයේවත් ජනතාවට කන්න බොන්න ටික දෙන්න භාණ්ඩවල අවම මිලක් නෙවෙයි, උපරිම මිල පනවන්න ඕන.

පරිප්පු මිල මෙච්චරයි කියලා කිව්වම අර කන්න බැරි උයනකොට දියවෙන සූපින් පරිප්පු එක ඒ මිලට දෙනවා. ඊට වඩා හොඳ ප්‍රමිතිගත කප් පරිප්පු වගේ දේවල් මිල වැඩි කරනවා. ඒක නිසා ආණ්ඩුව කරන්න ඕන හොඳම දේ තෝරගෙන ඒකට උපරිම මිලක් නියම කරන එක. අර කීරි සම්බාවලට මිලක් නියම කළා වගේ…”

කීරි සම්බාවලට උපරිම මිලක් නියම කරලා අන්තිමේ උනේ කීරි සම්බ ඇටයක්වත් රටේ නැති එක නෙවෙයිද..?

ඇත්තටම නැති උනාද… නැහැනේ. මේ මහ මෝල්ලු කීපදෙනා තමන්ගේ වෙළඳාමේ ඒකාධිකාරිය පාවිච්චි කරලා කීරි සම්බ ටික හැංගුවා. අද කඩකාරයෝ කීරි සම්බා විකුණන්නෙ හොරෙන්. හරියට කුඩු විකුණනවා වගේ. දෙන්නෙ වැඩි ගාණට, ෆ්‍රයිඩ්රයිස් ගහන කඩවලට විතරයි.

ඉතින් මොකක්ද ඒකට කරන්න ඕන. ඒක ඇමැතිට මං කියලා දෙන්න ඕනද. කරන්න තියෙන්නේ වැටලීම් කරන එක. වැටලීම් කරන්න අපට ඉන්නෙ දෙසීයයි සෙනඟ මදි කිය කිය හිටියොත් මේක කවදාවත් විසඳෙන්නේ නෑ. අපි දන්නවා විසඳන්න උවමනාවක් නැත්තෙ මොකද කියලා. ඒකයි මම කියන්නේ ඕක අපට භාර දෙන්න. අපි කරලා දෙන්නම්.

ඕකට මේ පාරිභෝගික සේවා අධිකාරියේ සේවකයෝ ගාණ වැඩි කරන්න ඕනේ නැහැ. ගම් මට්ටමින් ඉන්නවා රජයේ නිලධාරියෝ හත් දෙනෙක් ගමේ. බලන්න ග්‍රාම නිලධාරි, සමෘද්ධි නිලධාරි, කෘෂි නිලධාරි, ප්‍රජා පොලිස් නිලධාරි වගේ කීදෙනෙක්ද. අන්න ඒ අය ගම් මට්ටමින් වැඩට යොදා ගන්නවා. ඊළඟට තව බලන්න අර බැසිල් මහත්තයා පත්වීම් දීපු උපාධිධාරීන් කොච්චර ආයතනවල නිකන් ඉන්නවද කියලා. සමහර ආයතනවල ඉඳගන්න පුටුවක් මේසයක් වත් නැති අය. අන්න ඒ අයට වටිනාකමක් දෙනවා. එතකොට හමුදාව, පොලිසිය වගේ ආයතනවල සහයෝගයක් ගන්න බැරි නැහැනේ අවශ්‍යයි නම්. මෙතන තියෙන්නේ වුවමනාවක් නැතිකම විතරයි.

ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති
අසේල සම්පත් සමග
සාකච්ඡාවක් ඇසුරින් සකස් කළේ
බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment