සැගවී සිටි සැමියා එල්ල කළ පිහිපහරකෑ දෙදරු මව එතනම මරුට

1192

පවුල් ආරවුල් නිසා වසර දෙකකට පෙර බේකරියේ වැඩට ඇවිල්ලා

වෙන්නප්පුව පොලිස් වසමට අයත් වයික්කාල, අලුත්තොට ප්‍රදේශයේ පවත්වාගෙන යන බේකරි නිෂ්පාදන ආයතනයක සේවය කළ කාන්තාවක් ඇයගේ සැමියා විසින් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති බව වෙන්නප්පුව පොලිසිය පවසයි

ඊයේ (14 දා) අළුයම 2.00 ට පමණ මෙම ඝාතනය සිදු කර තිබේ. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ හැටන් වටවල ප්‍රදේශයේ පදිංචිව සිටි සත්‍යවේළු නදීකා නමැති වයස අවුරුදු 32 ක දෙදරු මවකි.

විවාහ වීමෙන් පසු ඇය හැටන්, වටවල ප්‍රදේශයේ සිය සැමියා සමග ජීවත් වී තිබේ. මීට වසර දෙකකට පමණ පෙර සැමියා සමග ජීවත් වීමට නොහැකි බව පවසා මෙම බේකරි නිෂ්පාදන ආයතනයේ සේවයට පැමිණ තිබේ.

අනතුරුව කිහිප අවස්ථාවකම සිය සැමියා දුරකථනයෙන් අමතා ඇයට නිවසට පැමිණෙන ලෙස ඉල්ලා සිටියත් ඔහු සමග ජීවත්විය නොහැකි බව පවසා ඇය එම යෝජනාව ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ හේතුවෙන් ඇයට කිහිප අවස්ථාවකම මරණ තර්ජනද එල්ල කර ඇති බව පොලිසිය පවසයි.

මීට උරණ වූ සැමියා මෙම සිද්ධියට පෙර දිනයේ රාත්‍රියේ සිට එම බේකරි නිෂ්පාදන ආයතනයේ ආසන්නයේ රැඳී සිට තිබේ. එහිදී අලුයම 2.00 ට පමණ ඇය බේකරි නිෂ්පාදන ආයතනයේ අවශ්‍ය කටයුතු කිරීමට පැමිණි අවස්ථාවේ සැඟවී සිටි සැමියා විසින් පිහි පහර කිහිපයක් පපුව ප්‍රදේශයට සහ හිස ප්‍රදේශයට එල්ල කර තිබේ. ඉන් බරපතළ තුවාල ලැබූ කාන්තාව එම ස්ථානයේ මියගොස් ඇති බව පොලිසිය පවසයි.

ඝාතනයට ලක්වූ කාන්තාවගේ සැමියා මේ වනවිට ප්‍රදේශයෙන් පලා ගොස් ඇත. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වෙන්නප්පුව පොලිසිය විමර්ශන කටයුතු සිදු කරයි.
අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment