පොහොරවල ප්‍රමිතිය පිළිබඳ කිසිදු පරීක්ෂණයක් නැහැ

ඩොලර් 5.25ට මිලදී ගැනීමට තිබූ දියර පොහොර බෝතලයක් ඩොලර් 12.45ට මිලදීගෙන

කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට කුණු මාළු මිලදීගෙන ඇත්තේ ටින් මාළු කර්මාන්තශාලා හිමියෙක්

කුණු මාළු බහාලුම් 04ක් අතුරුදන්. හදපු පොහොරක් නැහැ. පැහැදිලිව වංචාවක් සිදුවෙලා විගණනය කියයි

නැනෝ නයිට්‍රජන් දියර පොහොර ගනුදෙනුවෙන් වූ පාඩුව රුපියල් මිලියන 711යි

කුණු මාළු බහාලුම් රට තුළට ගැනීමට අවසරදීම ජාතික අපරාධයක්. කෝපා කමිටුවෙන් පරීක්ෂණ

රසායනික පොහොර තහනම් කිරීමට ගත් තීරණයේ අනිටු ප්‍රතිවිපාක මේ වනවිට රට්ටුන් අත්විඳිමින් සිටිති. මෙවැනි අණුවන තීන්දු තීරණ නිසා දේශීය ආර්ථිකයට වූ බලපෑමද සුළු පටුනොවේ. රසායනික පොහොර තහනම් කිරීමෙන් මඩි තරකර ගත්තේ දේශපාලනඥයන් ඇතුළු ගජමිතුරු කල්ලියකි. මේ තුළ සිදුවී ඇති වංචා හා දූෂණ එකින් එක විගණන වාර්තා මගින් මේ වනවිට අනාවරණය වෙමින් තිබේ. කාබනික පොහොර හඳුන්වාදීමේ නාමයෙන් ඇතැම් සමාගම් කෝටි ප්‍රකෝටි ගණනින් ලාභ ලැබූහ. මේ කාලයේදී කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සඳහා හතු පිපෙන්නාක් මෙන් නා නා මාදිලියේ සමාගම් බිහිවිය. මෙකී සමාගම් විසින් නිෂ්පාදනය කරනු ලැබූ කාබනික හා දියර පොහොරවල ප්‍රමිතිය පිළිබඳ පැවතියේ ගැටලු රැසකි.

කාබනික පොහොර සමාගම්වල එජන්තවරු ලෙස කටයුතු කළ නිලධාරීන්ට කොමිස් මුදල් කොටින්ම කිවහොත් කාබනික පොහොර ප්‍රචලිත කිරීමේ නාමයෙන් ගොවීන්ට ලබා දුන්නේ කිසිදු වැදගැම්මකට නැති කුණු අශූචි පොහොර වන අතර මේ තුළින් ගොවියාට අත්වූ සෙතක් නැත. මේ කාලයේදී ඇතැම් නිලධාරීන් කාබනික පොහොර සමාගම්වල එජන්තයින් බවට පත්වූහ. දේශීය වශයෙන් නිෂ්පාදනය කරනු ලැබූ කාබනික හා දියර පොහොරවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා කිසිදු වැඩපිළිවෙළක් නොතිබුණි. කාබනික පොහොර තහනම් කිරීමත් සමග බිහිවූ කුප්‍රකට සමාගම් ගොවීන්ට කුණු පොහොර ලබාදී අධික ලාභයක් උපයාගනු ලැබීය.

ගොවීන්ට කාබනික හා දියර පොහොර හඳුන්වාදීම සඳහා මෙකී සමාගම් අතර පැවතියේ දැඩි තරගකාරී බවකි. සමාගම්වල ඒජන්තවරුන් ලෙස කටයුතු කළ ඇතැම් නිලධාරීන්ට ලබාදෙන කොමිස් මුදල් මත සියල්ල තීරණය විය..

ගහපු කොමිස් නිසා කුණු පොහොර ගෙනත් ගොවිතැන හදන්න ගිහින් රටක් වැටුණු තැනක්

කොටින්ම කිවහොත් මේ කාලයේ පැවතියේ කාබනික පොහොර මාෆියාවකි. රට තුළ කාබනික පොහොර උන්මාදයක් නිර්මාණය කොට තිබුණි. එක්තරා ටින් මාළු කර්මාන්තශාලා හිමියකුද මෙම වකවානුවේදී දියර පොහොර නිෂ්පාදනය කිරීම සඳහා කුණු මාළු පවා මිලදී ගනු ලැබීය. එහෙත් ඔහු නිෂ්පාදනය කරනු ලැබූ දියර පොහොරක් නැත. එම කුණු මාළු තොගය මෙරට පාරිභෝගිකයාට ගිල්වූයේ ද නැද්ද යන්න පිළිබඳ කාටනම් සහතිකයක් ලබාදිය හැකිද? කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට බව සඳහන් කරමින් මෙකී ව්‍යාපාරිකයා විසින් මිලදීගනු ලැබූ කුණු මාළු කන්ටේනර් 102 ගැනද මෙහිදී සඳහන් කළ යුතුයි. කාබනික පොහොර නිෂ්පාදනය කරන මුවාවෙන් මේ තුළ සිදුවී ඇත්තේ ජාවාරමක් සහ විශාල වංචාවකි. මෙකී ජාතික අපරාධය හා වංචාව පිළිබඳ පසුගියදා පැවති කොප් කමිටු රැස්වීමේ දී තොරතුරු රැසක් අනාවරණය විය. ඒ විතරක් නොව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට තිබූ විගණන වාර්තා මගින්ද මේ පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය කොට තිබුණි.

කාබනික පෙහොර නිෂ්පාදනය කිරීමට කුණු මාළු මිලදීගෙන ඇත්තේ ටින් මාළු කර්මාන්තශාලා හිමියෙක් එම තොරතුරුවලට අනුව සිද්ධිය මෙසේය.

ෂි ෂෙල්ස් රාජ්‍යයේ සිට තායිලන්තය දක්වා ටූනා මත්ස්‍යයන් ගබඩා කළ බහාලුම් 102 රැගත් නෞකාවක් කොළඹ වරායට ආසන්න මුහුදු තීරයේදී කාර්මික දෝෂයකට ලක්ව තිබුණි. විදුලිය ඇණහිටීමත් සමග බහාලුම්වල තිබූ මසුන් නරක් වී තිබූ අතර තායිලන්තය විසින් මසුන් මිලදී ගැනීම ප්‍රතික්ෂේප කොට තිබුණි. මෙම නෞකාව කොළඹ වරාය වෙත 2022 වර්ෂයේ ජනවාරි මස 13 වැනි දින ළඟා වී තිබුණි. මෙකී විදේශීය නෞකාවේ දේශීය නියෝජිතයා මගින් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට බව සඳහන් කරමින් නරක් වූ මාළු තොගය මෙරට දේශීය සමාගමක් විසින් මිලදීගෙන තිබූ අතර එම සමාගමේ හිමිකරු ටින් මාළු කර්මාන්ත ශාලාවක හිමිකරුවෙකි. කුණු මාළු තොගය රට තුළට ගැනීම සඳහා ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව මගින් බලපත්‍රය ලබාදී තිබුණි.

මෙකී බලපත්‍රය ලබාගැනීම සඳහා ඉල්ලුම් කළ යුත්තේ කුණු මාළු තොගයේ ආනයනකරු ය. එහෙත් මෙහි ඇති හාස්‍යයට කරුණ වන්නේ ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම අපහරණ අංශයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක විසින් මේ සඳහා බලපත්‍රයක් නිකුත් කරන ලෙස ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කොට තිබීමයි. කාබනික පොහොර නිෂ්පාදනය කරන බවට සඳහන් කරමින් කුණු මාළු තොගය මිලදී ගත් මෙරට සමාගම විසින් 2021 දෙසැම්බර් මස 10 දිනැති පෙරදාතම් කරන ලද ව්‍යාජ වාණිජ්‍ය ඉන්වොයිසියක් ඉදිරිපත්කොට තිබුණි. එහෙත් කුණු මාළු තොගය රට තුළට ගැනීම සඳහා බලපත්‍රය නිකුත් කිරීමේ දී ඒ පිළිබද ආනයන අපනයන පාලන ජනරාල්වරයගේ අවධානයට ලක්ව නොතිබුණි. කාබනික පොහොර නිෂ්පාදනය කරනු ලබන සමාගමේ ධාරිතාවය පිළිබඳ කිසිදු සැලකිල්ලක් නොදක්වා මෙතරම් විශාල කුණු මාළු තොගයක් නිදහස්කොට තිබීම ද ගැටලුවකි. කෝප් කමිටුවේ දී අනාවරණය වූ තොරතුරුවලට අනුව කුණු මාළු බහාලුම් 102ක් තිබුණ ද මින් බහාලුම් 04ක් අතුරුදන් වී ඇත. එසේ අතුරුදන් වූ කුණු මාළු බාහලුම් හතර යොදාගනු ලැබුවේ කුමක් සඳහාද යන්න ගැටලුවකි. කුණු මාළු තොගය එක්තරා මත්ස්‍ය අලෙවි සැලක් වෙත නිකුත්කොට තිබූ බවට මෙම වකවානුවේ සමාජය තුළ මතයක් ද නිර්මාණය වී තිබුණි.

කුණු මාළු බහාලුම් 04ක් අතුරුදන් හදපු පොහොරක් නැහැ. පැහැදිලිව වංචාවක් සිදුවෙලා විගණනය කියයි.

ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුවේ තොරතුරුවලට අනුව කුණු මාළු බහාලුම් 98න් කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සඳහා අදාළ සමාගම විසින් යොදාගෙන ඇත්තේ බහාලුම් 43කි. බහාලුම් 55ක් කාබනික දියර පොහොර නිෂ්පාදනය කිරීමට යොදාගෙන නොතිබුණි. මින් කුණු මාළු බහාලුම් 15ක් කාබනික පොහොර සඳහා යොදාගන්නා බවට අදාළ සමාගම විසින් දැනුම්දී ඇති බව ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේය. අදාළ සමාගම විසින් කුණු මාළු යොදාගෙන කාබනික පොහොර නිෂ්පාදනය කොට ඇති බවට මධ්‍යම පරිසර අධිකාරිය මගින් තහවුරුවක් ලබාදී ඇති බව ආනයන අපනයන පාලකවරිය කෝපා කමිටුවේ දී සඳහන් කළාය. කෙසේ වුවද ජාතික විගණන කාර්යාලය පවසන්නේ මෙකී සමාගම විසින් කාබනික පොහොර නිෂ්පාදනය කළ බවට කිසිදු සාක්ෂියක් නොමැති බවය. මේ තුළ පැහැදිලි වංචාවක් සිදුවී ඇති බව ජාතික විගණන කාර්යාලය සඳහන් කරන්නේය.

කුණු මාළු බහාලුම් රට තුළට ගැනීමට අවසරදීම ජාතික අපරාධයක්. කෝපා කමිටුවෙන් පරීක්ෂණ.

කෝපා කමිටුවේ සභාපති රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා සඳහන් කරන්නේ මෙය මහ දවල් වූ වංචාවකටත් එහා ගිය ජාතික අපරාධයක් බවයි. මෙකී සමාගම විසින් කාබනික පොහොර නිෂ්පාදනය කළේද නැද්ද පිළිබඳ හා ආනයන බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට කෝපා කමිටුව මගින් තින්දුකොට තිබේ. මේ එවකට පැවති කාබනික පොහොර උන්මාදයේ එක් අතුරු කථාවකි.

කාබනික පොහොර උන්මාදයට පිංසිදුවන්නට ඇතැම් දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරින්, කුප්‍රකට ව්‍යාපාරිකයින් හා ගජමිතුරන් කෝටි ප්‍රකෝටිපතියන් බවට පත්වූහ. ගොවියා කබලෙන් ළිපට ඇද වැටුණි. චීන අශූචි පොහොර ගනුදෙනුව නිසා රජයට සිදුවී ඇති පාඩුව රුපියල් මිලියන 1382කි. අවාසනයේ ඒ සඳහා වන්දිගෙවීමට සිදුවූයේ රට්ටුන්ට ය. ඒ විතරක් නොව නැනෝ නයිට්‍රජන් පොහොර වැඩි මිලට ඉන්දියාවෙන් ආනයනය කිරීම නිසා සිදුවී ඇති පාඩුව රුපියල් මිලියන 711කි. මේ කාබනික පොහොර උන්මාදය නිසා මහ දවල් සිදු වූ තවත් හොරකමකි. මෙම කාලවකවානුවේ දී කාබනික පොහොර ආනයනය කිරීම සම්බන්ධයෙන් ගොවීන් අතර පැවතියේ දැඩි විරෝධයකි. එහෙත් එකී විරෝධතාවයන් තුට්ටුවකටවත් මායිම් නොකොට මෙරටට නැනෝ නයිට්‍රජන් දියර පොහොර ආනයනය කිරීමට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය විසින් කටයුතු කර තිබුණි.

නැනෝ නයිට්‍රජන් දියර පොහොර ගනුදෙනුවෙන් වූ පාඩුව රුපියල් මිලියන 711යි.

ගහපු කොමිස් නිසා කුණු පොහොර ගෙනත් ගොවිතැන හදන්න ගිහින් රටක් වැටුණු තැනක්

දියර පොහොර මිලිලීටර් 500ක් අඩංගු බෝතල් 4,250,000 ක් (ලීටර් 2,125,000) බෝතලයක් ඇමරිකානු ඩොලර් 12.45ක් බැගින් ආනයනය කිරීම සඳහා 2021 නොවැම්බර් මස 21 වැනිදින ගිවිසුම්ගතවී තිබුණි. එහෙත් අවස්ථා 04කදී දියර පොහොර බෝතල් 306,454 ආනයනය කොට තිබුණි. ඒ සඳහා රුපියල් හැත්තැඑක්කෝටි, දහඅටලක්ෂ, හැටතුන්දහස් අනූහයක (711,863,096) මුදලක් රජය විසින් වැයකොට තිබුණි. ඉන්දියාවේ නැනෝ පොහොර නිෂ්පාදන සමාගමක් ලෙස හඳුන්වා දී ඇති ඉන්දියන් පාර්මර්ස් පර්ටිලයිසර් කෝපරේටිව් ලිමිටඩ් සමාගම මෙම පොහොර තොගය සැපයීමට කටයුතු කර තිබුණි. දියර පොහොර ආනයනය කිරීමේ කටයුතු මෙකී ඉන්දියන් සමාගමේ නියෝජිත සමාගමක් ලෙස හඳුන්වනු ලැබූ දේශීය සමාගමක් වන යුනයිටඩ් පාර්මර්ස් ට්‍රස්ට් සමාගම (U.F.T) විසින් සිදුකර තිබුණි. කෙසේ වුවද මෙම සමාගම සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇත්තේ රසායනික පොහොර තහනම බලාත්මක වූ දිනට දින 24කට පසුව බව විගණනය මගින් අනාවරණය කොට තිබුණි.

එමෙන්ම මෙකී පොහොර තොගය සම්බන්ධයෙන් ප්‍රසම්පාදනය සිදුකිරීමේ දී අදාළ සැපයුම්කරුගේ පූර්ව සුදුසුකම් ආදිය පිළිබඳව නිසි අවධානයක් යොමුකිරීමට කටයුකර නොතිබුණි. සැපයුම්කාර සමාගමට සැලසුම් කළ පරිදි දියර පොහොර සැපයීමට නොහැකි විය. මේ සඳහා කාර්යසාධන සුරක්ෂණයක් ලබාගෙන නොතිබුණි. මේ හේතුවෙන් රජයේ ආරක්ෂාව තහවුරු වී නොතිබුණි. ඒ විතරක් නොව වෘත්තීයමයභාවයෙන් තොරව පරස්පර වගන්ති මෙකී ගිවිසුමට ඇතුළත්කොට තිබුණි. මේ තුළින් රජයට අවාසිදායක තත්ත්වයක් නිර්මාණය වී තිබූ අතර අදාළ සැපයුම්කාර සමාගම විසින් දැරිය යුතු වියදම් පිළිබඳ වගකීම අනවශ්‍ය පරිදි මහා භාණ්ඩාගාරය විසින් භාරගැනීමට කටයුතු කර තිබුණි.

පොහොරවල ප්‍රමිතිය පිළිබඳ කිසිදු පරීක්ෂණයක් සිදු කර නැහැ

අනික් කාරණය වන්නේ ආනයනය කරනු ලැබූ නැනෝ දියර පොහොර තොගය වගාබිම් වෙත මුදාහැරීමට ප්‍රථම දේශීය පරීක්ෂණාගාරයක හෝ දේශීය ආදර්ශ ගොවිබිමක කිසිදු පරීක්ෂණයක් සිදුකොට නොතිබුණි. එමෙන්ම පොහොරවල අන්තර්ගතය පිළිබඳ කිසිදු තහවුරුවකින් තොරව විවිධ නම්වලින් ගොවීන් වෙත මෙම පොහොර ලබාදී තිබුණි. ගොවීන්ට නොමිලේ මෙකී නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලබාදී තිබූ අතර ඇතැම් ගොවීන් දියර පොහොර ලබා ගැනීම ප්‍රතික්ෂේප කරනු ලැබීය. ඇතැම් ගොවීන් නොමිලේ ලබාදෙන නිසා දියර පොහොර රැගෙන ගියද ඒවා තම වගාබිම්වලට ඉසීමට කටයුතු කරනු නොලැබුණි. මෙකී පොහොර ආනයනය කිරීම සඳහා නෛතික හැකියාව හා අත්දැකීම් ඇති කොළඹ කොමර්ෂල් පොහොර සමාගම හා ලංකා පොහොර යන සමාගම් යොදාගැනීමට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශයට ඕනැතරම් ඉඩකඩ පැවතුණි. එහෙත් ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ආනයනය කාර්ය සඳහා අතරමැදියකු ලෙස යොදාගනු ලැබුවේ යුනයිටඩ් පාර්මර්ස් ට්‍රස්ට් නමැති දේශීය සමාගමකි. පොහොර ආනයනය කිරීම සඳහා අතරමැදිකරුවකු ලෙස මෙම සමාගම යොදාගනු ලැබුවේ ඇයිද යන්න සොයාබැලිය යුතුය. මෙකී සමාගම සමග කිසිවෙකු කිසියම් ලබැඳියාවක් තිබුණා ද යන්න විගණනය මගින් සොයාබැලිය යුතුය. රජයට අයත් පොහොර සමාගම දෙක මගින් මෙකී පොහොර තොගය ආනයනය සිදු කළා නම් මිලිලීටර් 500ක නැනෝ දියර පොහොර බෝතලයක් ඇමරිකානු ඩොලර් 05 ක මුදලකට ආනයනය කොට රජයට ලබාගැනීමට තිබූ වාසිය ද අහිමි වී තිබූ බව විගණන වාර්තාවේ සඳහන් වේ.

අතරමැදි පොහොර සමාගමට අධික ලාභයක් උපයාගැනීමට හැකිවන පරිදි කටයුතු කරලා

පොහොර ආනයනය කිරීම සඳහා තෝරාගත් මෙකී අතරමැදි සමාගම පිළිබඳ සැක උපදවන කරුණු කාරණා රැසක් විගණනය මගින් අනාවරණය කොට තිබුණි. අමාත්‍ය මණ්ඩලය විසින් යුනයිටඩ් පාර්මර්ස් ට්‍රස්ට් සමාගම ආනයනකරු ලෙස සලකා පොහොර තොග සම්බන්ධව එම සමාගම සමග ගනුදෙනු කිරීමට තීන්දුකොට තිබුණි. එහෙත් නැනෝ නයිට්‍රජන් දියර පොහොර සැපයීමට එම සමාගමට ඇති පලපුරුද්ද, සමාගමේ මූල්‍ය ශක්තිය, පරිසර බලපත්‍ර ඇතුළු නෛතික අවශ්‍යතා සපුරා ඇති බව, සමාගමට අඛණ්ඩ පොහොර සැපයුමක් කිරීමට ඇති හැකියාව, ඇතුළු මෙම තීරණ අමාත්‍ය මණ්ඩලය සඳහා ඉදිරිපත් කොට තිබූ සංදේශයට ඇතුළත් කර නොතිබූ බව විගණනය මගින් අනාවරණය කොට තිබුණි. නැනෝ නයිට්‍රජන් දියර පොහොර කාබනින පොහොර වර්ගයක් ලෙස ලියාපදිංචි කිරීම සඳහා අදාළ සමාගම විසින් ඉදිරිපත් කරනු ලැබූ ඉල්ලීම අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කොට තිබුණි. එහෙත් අමාත්‍ය මණ්ඩල තීරණයක් මත අදාළ සමාගමෙන් මෙකී කාබනික පොහොර ආනයනය කිරීමට කටයුතු කර තිබුණි. විගණනය මගින් අනාවරණය කොට ඇති පරිදි මෙකී සමාගම පොහොර ආනයනය කිරීම සම්බන්ධයෙන් කිසිදු අත්දැකීමක් නොමැති සමාගමකි. මෙකී සමාගම ලියාපදිංචි කොට මාස කිහිපයකට පසු ප්‍රසම්පාදනය පිරිනැමීම තුළින් ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය ද උල්ලංඝනය කරමින් කටයුතු කර තිබුණි.

එමෙන්ම දේශීය සමාගමට දියර පොහොර බෝතලයකට පළමු තොගය ආනයනය කිරීමේ දී ඇ.ඩො.12.45ක් හා පසුව කරනු ලැබූ ආනයනයේ දී ඇ.ඩො. 10 බැගින් ගෙවීම හේතුවෙන් එකී සමාගමට විශාල ලාභයක් උපයා ගැනීමට හැකි පරිදි අදාළ ගනුදෙනුව සිදුකොට තිබුණි. එමෙන්ම රටේ පැවති මෙම කාලවකවානුව තුළ ඉන්දියානු ණය පහසුකම් ලැබෙමින් පැවතුණි. එමෙන්ම සැපයුම්කාර ඉන්දියානු සමාගම විසින් වර්ෂ දෙකක කාලයක් නොඉක්මවන පරිදි ඩොලර් මිලියන 200 ණය පදනම මත දියර පොහොර සැපයීමට යෝජනා කර තිබුණි. එහෙත් එකී යෝජනාව පිළිබඳ සලකා බැලීමකින් තොරව මෙරටට ආනයනය කොට තිබූ දියර පොහොර තොගය සඳහා පැවති ආර්ථික අර්බුදය හමුවේ බදු මුදල්ද ඇතුළුව මිලියන 711ක මුදලක් සැපයුම්කරු වෙත අත්පිට මුදල ලෙස ගෙවා තිබුණි.

එවකට රට තුළ පැවතියේ දැඩි විදේශ විනිමය අර්බුදයකි. එහෙත් බලධාරීන් ඒ පිළිබඳ අවධානය යොමුකොට නොතිබූ අතර අත්පිට මුදල් ලෙස රුපියල් මිලියන 711ක මුදලක් අදාළ සැපයුම්කරු වෙත ගෙවා තිබීම සැකයට බඳුන්වන කාරණයකි. අනික් කාරණය වන්නේ මෙකී ගනුදෙනුව රජයන් දෙකක් අතර ගනුදෙනුවක් ලෙස සිදුකිරීමේ හැකියාවක් පිළිබඳ අඩුම තරමින් ඇගයීමක් පවා සිදුකිරීමට කටයුතු කර නොතිබුණි.

ඩොලර් 5.25ට මිලදී ගැනීමට තිබූ දියර පොහොර බෝතලයක් ඩොලර් 12.45ට මිලදී ගෙන

එමෙන්ම අමාත්‍ය මණ්ඩල සංදේශයේ සඳහන් පරිදි නැනෝ නයිට්‍රජන් දියර පොහොර මිලිලීටර් 500ක බෝතලයක් ඇමෙරිකානු ඩොලර් 5.25ක මුදලකට ආනයනය කිරීමට හැකියාව තිබූ බව 2021 වර්ෂයේ නොවැම්බර් මස 10 වැනි දින පැවති රැස්වීමකදී අනාවරණය වී තිබුණි. එවැනි දැනුවත්භාවයක් තිබියදී අඩුමිලට මිලදී නොගෙන නැනෝ නයිට්‍රජන් දියර පොහොර බෝතල් 100,224ක් මිලදීගෙන තිබුණේ ඇමෙරිකානු ඩොලර් 12.45ක මිලකටය. බෝතල් 206,232 ඇමෙරිකානු ඩොලර් 10ක ඉහළ මිලකට මිලදීගෙන තිබුණි. අඩු මිලට දියර පොහොර මිලදී නොගෙන වැඩිමිලට දියර පොහොර මිලදී ගැනීම හේතුවෙන් රජයට වාසිදායක මිලකට සැපයුම්කරු සමග ගිවිසුම්ගත වීමට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය විසින් කටයුතු කර නොමැති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

එමෙන්ම නැනෝ නයිට්‍රජන් දියර පොහොර මෙරටට ගෙන්වීම සඳහා ගුවන් ගාස්තු හා බිම් හැසිරවීමේ කුලිය ලෙස රුපියල් දෙකෝටි හතළිස්හය ලක්ෂ, එකොළොස් දහස් දෙසියපනස්හතයි ශත පනහක මුදලක් (24,611,257.50) ගණනය කොට එම ගෙවීම සඳහා පහසුකම් සපයන ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් භාණ්ඩාගාර ලේකම් වෙතින් ඉල්ලා තිබුණි. එම ගාස්තුව භාණ්ඩාගාරය විසින් ගෙවිය යුතු වියදමක්ද යන්න විගණනයටද ගැටලුවකි. මෙරට වී වගාවේ මහ කන්නය සඳහා නයිට්‍රජන් අවශ්‍යතාවයක් ජනවාරි හා පෙබරවාරි මාසය වන විට නොමැති බවට පොහොර ඇනවුම් කිරීමට පෙර හඳුනා ගැනීමට හැකියාව තිබියදීත් එම කන්නය සඳහා නැනෝ නයිට්‍රජන් පොහොර තොගය ආනයනය කොට තිබුණි. මෙසේ ආනයනය කරනු ලැබූ නැනෝ නයිට්‍රජන් දියර පොහොර මිලි ලීටර් 500 බෝතල් 1810ක් ඉකුත් වර්ෂයේ මැයි මස වනවිටත් කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ ගබඩාව තුළ පැවතුණි. මෙකී පොහොර තොගයේ වටිනාකම රුපියල් 3,674,300කි. ලංකා පොහොර සමාගමේ ගබඩාව තුළ ඇති පොහොර තොගයේ වටිනාකම රුපියල් 1,423,030කි.

පොහොර ආනයන සමාගමට රුපියල් මිලියන 49ක මුදලක් වැඩිපුර ගෙවලා

මෙකී පොහොර ආනයනය කිරීම සඳහා පුද්ගලික අංශයේ අතරමැදි සමාගමක් යොදාගැනීම හේතුවෙන් රජයට අනවශ්‍ය පිරිවැයක් දැරීමට සිදුවී තිබුණි. නැනෝ නයිට්‍රජන් පොහොර සඳහා අසාමාන්‍ය ලාභයක් සහිත මිලක් ඉදිරිපත් කොට තිබුණි. එසේ තිබියදීත් ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව හා ස්ථාවර තාක්ෂණික කමිටුව ඒ පිළිබඳ විධිමත් සොයා බැලීමක් සිදුකර නොතිබූ බව විගණනය මගින් නිර්දේශකොට තිබුණි. සැපයූ පොහොර තොගය වෙනුවෙන් අදාළ සැපයුම්කාර සමාගමට වැඩිපුර ගෙවා තිබූ රුපියල් මිලියන 49ක මුදල ආපසු ගෙවීමට අදාළ සමාගම විසින් කටයුතු කර නොතිබුණි. ඒ පිළිබඳ සමාගමට එරෙහිව සුදුසු පියවරගත යුතු බවට විගණනය මගින් නිර්දේශකොට තිබුණි. මෙකී පොහොර ගනුදෙනුවේදී නිසි ක්‍රමවේදයක් අනුගමනය කර නොතිබූ බව නිරීක්ෂණය වී ඇති බව විගණනය මගින් සඳහන් කොට ඇත. කාබනික පොහොර උන්මාදය නිසා සොරාකනු ලැබූ ජාතික ධනය බිලයන ගණනකි. විගණන වාර්තා මගින් හෝ කෝපා කමිටු මගින් කුමක් අනාවරණය කලද අවාසනයේ මේ සඳහා වන්දි ගෙවීමට සිදුවී ඇත්තේ රට්ටුන්ටය.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment