ඉන්දියානු රුපියල ඇයි අවුල්ද?…හරියටම ඇත්ත කතාව දැනගනිමු

177

● ඉන්දියානු රුපියල් භාවිතය

ඉන්දියානු රුපියලේ මෙරට භාවිතය සම්බන්ධයෙන් නොයෙකුත් අදහස් පැතිර යමින් තිබේ. ඒ අනුව ඇතැම් අය සිතනුයේ හෙට දවසේ අපට ගනුදෙනු කරන්නත් ඉන්දියානු රුපියල් අවශ්‍ය වනු ඇති බවයි. අපට ගනුදෙනු කරන්නත් ඉදිරියේ දී ඉන්දියානු රුපියල් ඕන වෙයි ද? මෙහි ඇත්ත කුමක් ද? මේ පැතිර යන මතවාද සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහා බැංකුවේ ද අවධානය යොමුව ඇත. ඒ අනුව ඉන්දියානු රුපියල සම්බන්ධයෙන් වර්තමානයේ මහජනතාව අතර සංසරණය වන ඇතැම් වැරදි අර්ථකථන ගැන නිවැරදි තත්ත්වය පැහැදිලි කිරීම සඳහා මහ බැංකුව විසින් ද කරුණු පැහැදිලි කිරීමක් මේ වන විටත් සිදුකර තිබේ. මේ ලිපියෙන් අප මේ සූදානම් වන්නේ ඒ ගැන කරුණු පැහැදිලි කිරීමටය.

● විදේශ ව්‍යවහාර මුදල් නම් කිරීම

ඉන්දියානු රුපියල ඇයි අවුල්ද?…හරියටම ඇත්ත කතාව දැනගනිමු

ජාත්‍යන්තර වෙළෙඳාම සහ දේශ සීමා අතර සිදුවන බැංකු ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වරින් වර තෝරාගත් විදේශ ව්‍යවහාර මුදල්, නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් ලෙස අනුමත කරනු ලබයි. එසේ කරනු ලබන්නේ බැංකු පනත සහ විදේශ විනිමය පනත යටතේ පවත්නා විධිවිධාන අනුවය. මේ අනුව මහ බැංකුව විසින් නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් වර්ග අතරට අලුතින්ම එක් වූයේ ඉන්දියානු රුපියලයි. මේ ඉන්දියානු රුපියලේ භාවිතය සම්බන්ධයෙන් නොයෙකුත් අර්ථකථන ද සමාජය තුළ පැතිර ගොස් ඇත. එනම් රටේ දේශීය ගෙවීම් සහ පියවීම් කටයුතු සඳහා ද ශ්‍රී ලංකාවේ වලංගු මුදල් ඒකකයක් ලෙස ඉන්දියානු රුපියල් භාවිතයට පැමිණෙනු ඇති බවයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වර්ෂ 1979 මැයි මස සිට වරින් වර නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් හඳුනාගෙන ඇත. මේ සඳහා අලුතින්ම හඳුනා ගත්තේ ඉන්දියානු රුපියලය. එනම් 2022 අගෝස්තු මාසයේ දී අලුතෙන්ම නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් වර්ගය වූයේ ඉන්දියානු රුපියලයි. මේ ඉන්දියානු රුපියල ඇතුළුව දැනට විදේශ ව්‍යවහාර මුදල් වර්ග 16 ක් මහ බැංකුව විසින් අනුමත වී ඇත. ඒවා පහත පරිදි වේ.

නම්කරන ලද විදේශ ව්‍යවහාර මුදල් ලැයිස්තුව

  1. ඔස්ට්‍රේලියානු ඩොලර්
  2. කැනේඩියානු ඩොලර්
  3. චීන රෙන්මින්බි
  4. ඩෙනිෂ් ක්‍රෝනර්
  5. යූරෝ
  6. හොංකොං ඩොලර්
  7. ඉන්දියානු රුපියල්
  8. ජපන් යෙන්
  9. නවසීලන්ත ඩොලර්
  10. නෝර්වීජියානු ක්‍රෝනර්
  11. ස්ටර්ලිං පවුම්
  12. සිංගප්පූරු ඩොලර්
  13. ස්විඩිෂ් ක්‍රෝනර්
  14. ස්විස් ෆ්‍රෑන්ක්
  15. තායි බාත්
  16. ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර්

● විදේශ ව්‍යවහාර මුදල් නම් කිරීමේ අරමුණ

මහ බැංකුව පවසන පරිදි මේ ආකාරයට නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් ලෙස විදේශ ව්‍යවහාර මුදල් අනුමත කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ රටවල් දෙකක් අතර පවත්නා වෙළෙඳ සහ ආයෝජන සබඳතා දිරි ගැන්වීමටයි. රටවල් දෙකක් අතර වෙනත් විදේශ ව්‍යවහාර මුදල් වර්ගයකින් ගනුදෙනු සිදු වුවහොත් ඒ ගනුදෙනුව සිදු කිරීම සඳහා මෙන්ම ඒ මුදල් නැවත තම රටේ මුදල් වර්ගයට මාරු කර ගැනීමට සඳහා වශයෙන් දෙවරක් මුදල් පරිවර්තනය කිරීමට සිදු වේ. එනම් එමගින් ගනුදෙනු සිදුකරන රටවල මුදල් වර්ගවල ද්විත්ව පරිවර්තනයක් සිදු වේ. ඒ නිසාම අමතර ගනුදෙනු පිරිවැයක් ද දැරීමට සිදු වේ. එහෙත් යම් රටවල් දෙකක් අතර එම රටවල්වල ව්‍යවහාර මුදල් වර්ගයෙන් ගනුදෙනු සිදු කිරීමට හැකි නම් මුදල්වල ද්විත්ව පරිවර්තනය නිසා සිදුවන අමතර ගනුදෙනු පිරිවැය අඩු වනු ඇත. එසේම එය විධිමත් බැංකුකරණ මාධ්‍ය ඔස්සේ වෙළෙඳ ගනුදෙනු ප්‍රවර්ධනය කිරීමට ද සහාය වනු ඇති බව මහ බැංකුව පවසයි. මේ අනුව මහ බැංකුව පවසන්නේ දේශීය ගෙවීම් සහ පියවීම් සඳහා ශ්‍රී ලංකාවේ වලංගු මුදල් (Legal Tender) ඒකකය ලෙස ශ්‍රී ලංකා රුපියල එලෙස ම පවතිනු ඇති බවයි. එනම් මෙරට පුරවැසියන්ට සිය ගනුදෙනු සඳහා භාවිතා වන වලංගු මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල් පමණක් බවයි. මේ සමබන්ධයෙන් කරුණු දක්වන ශ්‍රී ලංකා මහ බැංකුව මෙසේ පවසයි.

● දේශය ගනුදෙනු කරන්නත් ඉන්දියානු රුපියල් ඕන වෙයි ද

‘ඉන්දියානු රුපියල නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් වර්ගයක් ලෙස අනුමත කිරීමෙන් ශ්‍රී ලංකාව තුළ දේශීය ගෙවීම්/පියවීම් කිරීම් සඳහා ඉන්දියානු රුපියල වලංගු මුදල් ඒකකයක් (Legal Tender) බවට පත් නොවේ. ශ්‍රී ලංකාව තුළ නේවාසිකයන් අතර සිදුවන සියලු ගනුදෙනු සඳහා භාවිත කළ හැක්කේ ශ්‍රී ලංකාවේ වලංගු මුදල් ඒකකය වන ශ්‍රී ලංකා රුපියල පමණකි. ඒ අනුව, ඉන්දියානු රුපියල සම්බන්ධයෙන් සංසරණය වන වැරදි අර්ථකථනවලින් නොමඟ නොයන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

2000 මාර්තු මස ක්‍රියාවට නැංවුණු ඉන්දු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමෙන් පසුව ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර වෙළෙඳාම ශීඝ්‍රයෙන් වර්ධනය වුණි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආර්ථික කටයුතු පුළුල් කිරීමේ අරමුණින් විශේෂයෙන් ම දෙරට අතර පවත්නා වෙළෙඳ සබඳතා දිරිගැන්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දෙරට අතර

ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමට, ශ්‍රී ලංකාව තුළ නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් වර්ගයක් ලෙස ඉන්දියානු රුපියල අනුමත කිරීමට කැමති බව ඉන්දියාවේ මුදල් අධිකාරිය වන ඉන්දියානු සංචිත බැංකුව වෙත විවිධ අවස්ථාවන්හි දී සන්නිවේදනය කරන ලදී. ඒ අනුව, 2022 අගෝස්තු මාසයේ දී, ඉන්දියානු සංචිත බැංකුවේ එකඟත්වය සමගින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ශ්‍රී ලංකාව තුළ නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් වර්ගයක් ලෙස ඉන්දියානු රුපියල අනුමත කරන ලදී. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තුළ විදේශ ව්‍යවහාර මුදල් වර්ගයක් ලෙස ඉන්දියානු රුපියලෙහි භාවිතය ඉන්දියානු සංචිත බැංකුව විසින් නිකුත් කරනු ලබන සීමාවන්වලට යටත් වේ.

● ගනුදෙනු පිරිවැය අඩු වීම ඇතුළු වාසි

‘විදේශ ව්‍යවහාර මුදල් වර්ගයක් ලෙස ඉන්දියානු රුපියල අනුමත කිරීම නිසා අපේ රටට තිබෙන ප්‍රයෝජන කිහිපයක් මෙසේ සඳහන් කළ හැකිය. එනම් විශේෂයෙන් ම කුඩා පරිමාණ වෙළෙඳුන් විසින් ඉන්දියානු රුපියල්වලින් සිදුකෙරෙන බැංකු ගනුදෙනු සුමටව සිදු කිරීමට පහසුකම් සැලසීම, වෙළෙඳ ගනුදෙනු සඳහා අවිධිමත් මාර්ග භාවිත කිරීම වෙනුවට බැංකු මාධ්‍යය භාවිත කිරීමට වෙළෙඳුන් දිරිමත් කිරීම සහ ඉන්දියානු රුපියල්, ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර්වලට මාරු කිරීමේ දී සිදුවන ද්විත්ව පරිවර්තනය නිසා වන අමතර ගනුදෙනු පිරිවැය අඩු වීම ඇතුළු බොහෝ ප්‍රයෝජන මේ අතර තිබේ. එසේම දැනට ශ්‍රී ලංකාවට වැඩියෙන්ම සංචාරකයන් එන රට ඉන්දියාවයි. මේ නිසා බැංකු ගනුදෙනු සඳහා ඉන්දියානු රුපියල නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් වර්ගයක් ලෙස අපේ රටේ අනුමත කිරීමෙන් මෙරටට එන ඉන්දියානු සංචාරකයන්ට වඩා වැඩි පහසුවක් ද ලැබෙනු ඇත.

● ඉන්දීය ව්‍යාපාරික හමුවේ දී ජනපති කී දේ

මෙරට තුළ විදේශ විනිමය ඒකක නිදහසේ සංසරණය වීමටත් ගනුදෙනු කිරීමටත් ඉඩ ප්‍රස්ථා පුළුල් කරන බව ජනාධිපති හා මුදල් ඇමැති රනිල් වික්‍රමසිංහ පසුගියදා ඉන්දීය ව්‍යාපාරික ප්‍රජාව හමුවේ ද සඳහන් කර තිබේ. එනම් ගිය මාසයේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවති ඉන්දීය ව්‍යාපාරික හමුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පවසා තිබිණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පසුගිය ඉන්දීය සංචාරයට පෙර මෙම ව්‍යාපාරිකයන් හමු වී අදාළ තහවුරුව ලබාදීම ද විශේෂත්වයකි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග මෙම අවස්ථාවට මෙරට සිටින ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ ද සහභාගි වී සිටියේය. මෙම ව්‍යාපාරික හමුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විදේශීය මුදල් ඒකක රට තුළ සංසරණයට ඉඩදීම සම්බන්ධයෙන් පළ කළ අදහස් මාධ්‍ය මෙසේ වාර්තා කර තිබිණි.

“ආර්ථික වර්ධනය උදාකර ගැනීම සඳහා ශ්‍රී ලංකාව ලෝකයට විවෘත කිරීමට බලාපොරොත්තු වන බවත් ඊට අදාළ නීති ප්‍රතිසංස්කරණ කඩිනමින් ගෙන එන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

දැඩි තරගකාරී ආර්ථික රටාවකට ලංකාව නතු කිරීම තම අපේක්ෂාව බව සඳහන් කළ ජනාධිපතිවරයා හරිත හා ඩිජිටල් ආර්ථිකයක් තුළින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගිය හැකි බවද පෙන්වා දුන්නේය.

ඉන්දියාවේ රුපියල ශ්‍රී ලංකාවේ සංසරණය වීම පිළිබඳව මෙහිදී කතා වුණා. ඉන්දියාවේ රුපියල පමණක් නොවෙයි, ඩොලර් පවා සංසරණය වෙනවා නම් මෙරට ආර්ථිකයට එය ඉතාම වැදගත් වෙනවා. ඉන්දියානු රුපියල ලංකාවේ සංසරණය වීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලීමට අප ඉදිරියේ දී කටයුතු කරනවා. රටක් දියුණු වීමට නම් ලෝකයට විවෘත විය යුතුයි. ඊට අදාළ කඩිනම් නීති ප්‍රතිසංස්කරණ ගෙන එන බව මම කියන්න කැමතියි.”

● භාණ්ඩ ආනයන සීමා

අප මුහුණ දුන් උග්‍ර විදේශ විනිමය අර්බුදය හමුවේ වාහන ආනයනය ඇතුළු බොහෝ ආනයන සීමා පැනවූ බව අපි දනිමු. ඒ අනුව භාණ්ඩ වර්ග රැසක් ආනයන සීමාවන්ට ලක් වුණි. දැන් මේ විදේශ විනිමය අර්බුදය ක්‍රමයෙන් ලිහිල් වීමත් සමග එම ආනයන සීමා ක්‍රමයෙන් ලිහිල් කිරීමට රජය පටන් ගෙන තිබේ. මහ බැංකුව විසින් ද භාණ්ඩ ආනයන සීමා ලිහිල් කිරීම සඳහා රජයට නිර්දේශ කර තිබුණි. එහෙත් අප තවමත් සිටින්නේ ආර්ථික හා විනිමය අර්බුදයෙන් ගොඩ ඒමට උත්සාහ දරමිණි. මේ නිසා එම ආනයන සීමා කිසිවිටෙකත් එක්වරම නිදහස් කිරීමට හැකියාවක් නැති බව රහසක් නොවේ. මේ නිසා එම ආනයන සීමා ලිහිල් කිරීම සිදු කරනුයේ ක්‍රමයෙනි. ඒ අනුව තවත් භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කිරීමට සූදානම් බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. එම කටයුතු සැප්තැම්බර් පළමු සතිය වන විට සිදුවෙනු ඇති බව අපට දැනගන්නට ඇත. දැනට ආනයන සීමාවලට ලක්කර ඇති භාණ්ඩ ප්‍රමාණය 900 ක් පමණ වේ. එම අනුව තවත් භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කිරීමත් සමග ආනයන සීමාවලට ලක්වෙන භාණ්ඩ ප්‍රමාණය 600 ක් පමණ දක්වා අඩුවනු ඇත.

● ප්‍රථම මුදල් ප්‍රතිපත්ති වාර්තාව

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රථම මුදල් ප්‍රතිපත්ති වාර්තාව පසුගිය ජූලි මස 31 වැනි දින ප්‍රකාශයට පත් කළේය. මේ නව වාර්තාව සම්බන්ධයෙන් මූල්‍ය හා ආර්ථික කටයුතු වාර්තා කරන මාධ්‍යවේදීන් සමග සාකච්ඡාවක් ද මහ බැංකුව විසින් ඉකුත් අගෝස්තු 03 වැනිදා පවත්වනු ලැබිණි. මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂ ආචාර්ය පී.කේ.ජී. හරිශ්චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාවට මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් සහ වෙනත් දෙපාර්තමේන්තුවල නිලධාරීන් ද එක්ව සිටියේය. එය එම මුදල් ප්‍රතිපත්ති වාර්තාව සම්බන්ධයෙන් තාක්ෂණික කරුණු සම්බන්ධයෙනි. මුදල් ප්‍රතිපත්තිය, උද්ධමනය, උද්ධමනය මනින මිල දර්ශක, විදේශ විනිමය අනුපාතය, ආර්ථික වර්ධනය සහ නව මහ බැංකු පනත ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ද මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අතර ඒවාට මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂ ආචාර්ය පී.කේ.ජී. හරිශ්චන්ද්‍ර මහතා ප්‍රමුඛ නිලධාරීන් විසින් පිළිතුරු ලබාදෙන ලදී. හරිශ්චන්ද්‍ර මහතා සඳහන් කළේ මුදල් ප්‍රතිපත්ති වාර්තාවක් වසරකට දෙපාරක් ප්‍රකාශයට පත් කිරීම නව මහ බැංකු පනතෙන්ම එන අවශ්‍යතාවක් බවයි. මේ අනුව ඉදිරියට වසරකට දෙපාරක් ජනවාරි සහ ජුලි මාසවල දී මහ බැංකුව විසින් මේ වාර්තාව ප්‍රකාශයට පත් කරනු ඇත. මාර්ගගත ප්‍රකාශනයක් වන මෙම මුදල් ප්‍රතිපත්ති වාර්තාව දැන් භාෂා තුනෙන්ම මහ බැංකුවේ නිල වෙබ් අඩවියෙන් බාගත කරගත හැකිය. මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ක්‍රියාවලිය පිළිබඳ දැනට නොයෙකුත් සන්නිවේදන ක්‍රියාමාර්ගයන් පවතී. ඒවා අතර මුදල් ප්‍රතිපත්ති විවරණ, මාධ්‍ය නිවේදන, මාධ්‍ය සාකච්ඡා සහ මහ බැංකුවේ නිල වෙබ් අඩවියේ සහ මහ බැංකුවෙහි සමාජ මාධ්‍යවල පළ කෙරෙන අනෙකුත් ප්‍රකාශයන් ද තිබේ. මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ක්‍රියාවලිය පිළිබඳ දැනට පවතින මෙම සන්නිවේදන ක්‍රියාමාර්ගයන්ට මෙම මුදල් ප්‍රතිපත්ති වාර්තාව ද අලුතෙන් එක් වේ. ඒ අනුව මේ නව වාර්තාව ප්‍රකාශයට පත් කිරීමේ අවශ්‍යතාව ගැන මහ බැංකුව මෙසේ කියයි.

‘මුදල් ප්‍රතිපත්ති වාර්තාව ප්‍රකාශයට පත් කිරීම මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල විනිවිදභාවය වැඩිදියුණු කිරීම සඳහා වැදගත් පියවරක් වන අතර මුදල් ප්‍රතිපත්ති තීරණ ගැනීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් සලකා බලන ලද දත්ත සහ තොරතුරු ප්‍රකාශයට පත් කිරීම තුළින් ආර්ථිකයේ සියලුම පාර්ශ්වකරුවන් සමඟ සම්බන්ධ වීම තවදුරටත් වර්ධනය කිරීම අපේක්ෂා කෙරේ.

දේශීය හා ගෝලීය වශයෙන් වත්මන් සාර්ව ආර්ථික ප්‍රවණතා සහ ඒවායේ ඉදිරි දැක්ම විශ්ලේෂණය කිරීම මත පදනම්ව උද්ධමනය සහ අනෙකුත් ප්‍රධාන සාර්ව ආර්ථික විචල්‍යයන්ගේ හැසිරීම පිළිබඳව මහ බැංකුවේ ඉදිරි දැක්ම මුදල් ප්‍රතිපත්ති වාර්තාව මගින් ඉදිරිපත් කරයි. මුදල් ප්‍රතිපත්ති වාර්තාවේ තවත් අරමුණක් වන්නේ දැනට පවතින සහ අපේක්ෂිත ප්‍රවණතා සලකා බලමින් උද්ධමනය සහ ආර්ථික වර්ධනය පිළිබඳව සිදුකර ඇති පුරෝකථන සඳහා පවතින අවදානම් පිළිබඳ තක්සේරුවක් ලබා දීමයි. එවැනි ඇගයීමක් මගින් මුදල් ප්‍රතිපත්ති තීරණවලට එළැඹීමේදී මුදල් මණ්ඩලයේ දැක්ම පිළිබඳව සියලු පාර්ශ්වකරුවන්ට වඩාත් පැහැදිලි අවබෝධයක් ලබා දීමට උපකාරී වනු ඇත.

මැදි කාලීන ආර්ථික පුරෝකථන යාවත්කාලීන කරනු ලබන ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති විවරණවලට අනුකූලව මහ බැංකුව සෑම වසරකම ජනවාරි සහ ජූලි මාසවලදී මුදල් ප්‍රතිපත්ති වාර්තාව ප්‍රකාශයට පත් කරනු ඇත. එලෙස මුදල් ප්‍රතිපත්ති වාර්තාව ප්‍රකාශයට පත් කිරීම මගින් මහ බැංකුව සියලු පාර්ශ්වකරුවන්හට දත්ත මත පදනම් වූ සහ ඉදිරි දැක්මක් සහිත තොරතුරු නියමිත කාලයට ලබා දෙනු ඇත..’

● රුපියල තවත් පිරිහෙයි ද ?

මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂ ආචාර්ය පී.කේ.ජී. හරිශ්චන්ද්‍ර මහතා ඇතුළු නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේ දී පී.කේ.ජී. හරිශ්චන්ද්‍ර මහතා ප්‍රකාශ කළේ ඉදිරියේ දී විනිමය අනුපාතයේ උච්ඡාවචනයන් අවම වී විනිමය අනුපාතය බොහෝ දුරට ස්ථාවර වනු ඇති බවයි. එහෙත් නම්‍යශීලී විනිමය අනුපාත ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වන නිසා ඇමෙරිකානු ඩොලරය සහ ශ්‍රී ලංකා රුපියල අතර තීරණය වන විනිමය අනුපාතයේ අගය කවර මට්ටමක පවත්වාගත යුතු ද කියා දෙයක් නොමැති බවත් ඔහු සඳහන් කළේය. එනම් විදේශ විනිමය වෙළෙඳපොළේ ඇමෙරිකානු ඩොලරයට ඇති ඉල්ලුම හා සැපයුම අනුව ඇමෙරිකානු ඩොලරය සහ ශ්‍රී ලංකා රුපියල අතර ඇති හුවමාරු අගය තීරණය වනු ඇති අතර එය වරින්වර අවප්‍රමාණය වීමට මෙන්ම අධිප්‍රමාණය වීමට ද ඉඩ තිබේ. එහෙත් මේ වෙනස්වීමේ ප්‍රමාණය එනම් උච්ඡාවචනය අවම මට්ටමින් තබා ගැනීම මහ බැංකුවේ අපේක්ෂාව වී තිබේ. ඇතැම් පුරෝකථනවලින් ප්‍රකාශ වනුයේ ඉදිරියේ දී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවත් පිරිහීමට ලක් වී නුදුරු කාලයේ දී එම හුවමාරු අගය රු.400 ද ඉක්මවා යනු ඇති බවයි. අනාගත විනිමය අනුපාත අගයන් යනු කිසිවකුටත් නිශ්චිතව පුරෝකථනය කළ හැකි එකක් ද නොවේ. එහෙත් ඉදිරි කාලයේ දී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම සඳහා ලොකු පීඩනයක් ඇති බවක් නොපෙනෙන බව ද අපට ආචාර්ය පී.කේ.ජී. හරිශ්චන්ද්‍ර මහතාගේ අදහස් දැක්වීමෙන් පැහැදිලි වූ දෙයයි.

උද්ධමනය ගැන ද මෙහිදී අදහස් ඉදිරිපත් විය. දැනටමත් උද්ධමනය තනි ඉලක්කමක් දක්වා අඩුවී ඇත. කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ජුනි මාසයේ වාර්තා වූ සියයට 12 ක උද්ධමනය ඉකුත් ජුලි මාසයේ දී සියයට 6.3 දක්වා අඩු වී ඇත. මේ අනුව මැදිකාලයේ දී උද්ධමනය අපේක්ෂිත මට්ටම්වල ස්ථායි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment