දූල්දෙනිය කලෝටුවාගල කන්දේ සංචාරය කළ භික්ෂූන්ට හිරිහැර : සැකකරුවෝ 7ක් පොලිසියට භාරවෙති

920

දූල්දෙනිය, කලෝටුවාගල කන්දේ සංචාරයකට සහභාගිවූ භික්ෂුන් වහන්සේලා ඇතුළු පිරිසකට ඉකුත් පස් වැනිදා රාත‍්‍රියේදී අමානුෂික ලෙස අඩත්තේට්ටම් කරමින් එම සිදුවීම් විඩියෝගත කළ බවට පැවසෙන සැකකරුවන් හත්දෙනකු පොලිසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති බව කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කීර්තිරත්න මහතා පැවසීය.

අදාළ සංචාරය දූල්දෙනිය, කලෝටුවාගල ප‍්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක් විසින් සංවිධානය කර තිබී ඇත. එම සංචාරය සඳහා ප‍්‍රදේශයේ වැඩිහිටි භික්ෂුන් වන්සේලා තිදෙනෙක්, සාමණේර මිහිවරුන් දෙදෙනෙක්, තරුණයන් සහ සංචාරය සංවිධානය කළ විහාරාධිපති හිමියන්ගේ වැඩිහමල් සහෝදරියන් දෙදෙනෙක් ඇතුළු ඔවුන්ගේ දියණියන් දෙදෙනකුද ඇතුළුව විස්සකට අධික කණ්ඩායමක් සමබන්ධ වී ඇති බව පොලිසිය පැවසීය.

සිද්ධියට මුහුණදුන් භික්ෂුන් වහන්සේලා විසින් පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලේ සඳහන්ව ඇත්තේ කලෝටුවාගල කන්දට නැග භික්ෂුන් වහන්සේලා ඇතුළු පිරිස අවට සුන්දරත්වය නරඹමින් ඡායාරූපගත කරමින් සිටියදී රාත‍්‍රිය උදාවීම සම්බන්ධයෙන් ඒ තරම් සැළකිල්ලක් නොදක්වා ඇත්තේ සංචාරය සංවිධානය කළ භික්ෂුන් වහන්සේගේ විහාරස්ථානයද ඒ ආසන්නයේ පිහිටා තිබීම නිසාවෙන් බවයි. ඒ වන විට රාත‍්‍රි නවය පමණවී තිබූ බවත් එක්වරම පිරිසක් පොලූ මුගුරු ගෙන පැමිණ බියවද්දා තර්ජනය කරමින්, පෞරුෂ වචනයෙන් බැණ විදිමින් පහරදෙමින් කන්දෙන් පහළ දිවියාගල ප‍්‍රදේශයට රැගෙන ඒමට කටයුතු යොදා ඇති බවත් සඳහන් කර ඇත. එහිදී ද අඩත්තේට්ටම් කරමින් අමානුෂික අයුරින් අපහාස කරමින් අසභ්‍ය වචනයෙන් බැණ තර්ජනය කරමින් වීඩියෝගත කරමින් විශාල පිරිසක් සංචාරයකයන් වටකරගෙන සිට ඇත. පැයකට අධික කාලයක් ඔවුන්ගේ ග‍්‍රහණයේ රඳවාගෙන සිටි සංචාරකයන් ඉන් මුදාගෙන ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් පොලිසිය වෙත රැගෙන ඒමට අරණායක පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික පනාවල මහතා ඇතුළු කණ්ඩායමට විශාල පරිශ‍්‍රමයක් දැරීමට සිදුව ඇත.

සැක පිට දූල්දෙනිය ප‍්‍රදේශයේ පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන්ට එරෙහිව අයුතු අවහිරය, සාපරාධී බිය ගැන්වීම, පහරදී තුවාල සිදුකිරීම, අයුතු ජනරාශිය යන චෝදනා යටතේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පැවසීය.

කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ. බී. කීර්තිරත්න, සහකාර පොලිස් අධිකාරි ෂෂෂ ප‍්‍රදීප් වීරසේකර යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් සහ උපදෙස් මත අරණායක පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික පනාවල මහතාගේ මෙහෙයවීමෙන් ප‍්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද ගුණරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් වැඩිදුර විමර්ශන සිදුකරති.

අරණායක – රෝහණ ජයරත්න සහ කෑගල්ල – එම්. බී. පහළවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment