උ.පෙ – සා.පෙ අවසන් වූ සිසුන්ගේ වෘත්තීය දැනුමට විශේෂිත මධ්‍යස්ථාන පිහිටුවනවා – ඇමැති සුසිල් ප්‍රේමජයන්ත

78

රජයේ පාසල්වල යථාර්ථය ඇත්තටම ශෝචනීයයි – ඉමිතියාස් බාකීර් මාකර් (සජබ)

අලුතින් හදන විශ්වවිද්‍යාලවලට ආචාර්යවරුන් ගෙන්වන්නේ කොහෙන්ද? – මහාචාර්ය ජී. එල්. පීරිස් (ශ්‍රීලපොපෙ)

මෙවර උසස් පෙළ, සාමාන්‍ය පෙළ විභාග අවසන් වීමත් සමග ඔවුනට මාස 6 කට වෘත්තීය දැනුම ලබාදීමට විශේෂිත මධ්‍යස්ථාන පිහිටුවන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05 දා) පැවසීය.

වෘත්තීය මාර්ගෝපදේශ, තොරතුරු තාක්ෂණය හා ඉංග්‍රීසි පාඨමාලාවන් මධ්‍යස්ථාන 150 කදී ඔවුනට ලබාදෙන බව ද අධ්‍යාපන අමාත්‍යාංශයේ කාරක සභා අවස්ථාවට එක් වෙමින් ඇමැතිවරයා කියා සිටියේය.

එහිදී විවාදයට එක්වෙමින් කරුණු දැක්වූ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා,

දළ වශයෙන් 350,000 ක් පළමුවන ශ්‍රේණියට ඇතුළු වෙනවා. සිංහල දෙමළ භාෂාවලට ප්‍රමුඛස්ථානය දෙනවා වගේම ඉංග්‍රීසි අධ්‍යාපනයටත් මුල්තැනක් ලබාදිය යුතුයි, සිංගප්පූරුව නොව අපේ මානව සම්පත් දියුණු කරමින්.

පාසල් 10,126 න් 3,000 ක පමණයි උසස් පෙළ විෂය ලබා දෙන්නේ. ධරැඛ වලින් පසු අධ්‍යාපනයෙන් ඉවත් වන අයට වෘත්තීය පුහුණු අධ්‍යාපනයක් අවශ්‍යයි. වර්තමානයේ එහි ගුණාත්මකභාවය අඩු වෙලා. දෙලක්ෂ පනස්දහසක් පමණ උසස්පෙළට මුහුණ දීලා, එයින් සියයට 15 ක් රාජ්‍ය විශ්වවිද්‍යාලවලට යනවා. තවත් පිරිසක් පෞද්ගලික අධ්‍යාපනයට යනවා. ඉතිරි සියයට 70 ට උසස් අධ්‍යාපන අවස්ථා අහිමි වෙනවා. නිදහස් අධ්‍යාපනය යාවත්කාලීන කළ යුතුයි. එය ශක්තිමත් කළ යුතුයි. එයින් සියයට 70 කට උසස් අධ්‍යාපන අවස්ථා ලබාදිය යුතුයි. සමහරු දරුවන්ට උසස් අධ්‍යාපන අවස්ථා ලබාදීමට විරුද්ධ වෙමින්, තමන්ගේ දරුවන් පෞද්ගලික අධ්‍යාපන ක්‍ෂේත්‍රයට යවනවා. තමන්ගේ දරුවා පෞද්ගලික විශ්වවිද්‍යාලවලට යවන්න හොඳ නම් රටේ අනෙකුත් දරුවන්ට හොඳ නැත්තේ ඇයි. නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් පාරට බහින එක හරි.

සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය රාජ්‍ය අධ්‍යාපනය ශක්තිමත් කිරීම. එය නවීකරණය කිරිම කරන ගමන් අධ්‍යාපන වරම් මුදල් නොගෙවන හෝ ගෙවන ගුණාත්මක උසස් අධ්‍යාපනයක් දරුවන්ට පෞද්ගලික අංශයෙන් හෝ ලබාදීමයි.

3 ශ්‍රේණියේ දරුවන් ගැන සමීක්ෂණයක් කළා. සියයට 80 ට වඩා ඉගෙන ගැනීම් අහිමි වීම් පවතිනවා.

කටපාඩම් කේන්ද්‍රිය අධ්‍යාපනයක් අද ක්‍රියාත්මක වන්නේ. 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ අංශ තුනම එකයි. මේ ක්‍රමවේදය තුළ උපකාරක පංතිවලට විශාල ලෙස මුදල් ගෙවා දරුවන්ට යන්න සිදු වෙලා. ගිරාපෝතක අධ්‍යාපනයක් ක්‍රියාත්මක වෙන්නේ.

අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත,

මම අමාත්‍යාංශය භාර ගන්නා විට අධ්‍යාපනය අවුල් ජාලාවක්. විභාග කල්ගිහින්. ප්‍රවාහනය නතර වෙලා. සියල්ල මේ වනවිට යථාවත් කරන්න හැකි වී තිබෙනවා. 2024 අයවැය මගින් රුපියල් බිලියන 237 ක් අධ්‍යාපන අමාත්‍යාංශයට වෙන්කර තියෙනවා. ඉන් බිලියන 181 ක් පුනරාවර්තන වියදම්. බිලියන 55 ක් මූලධන වියදම්. ගිය වර්ෂයට වඩා බිලියන 55 ක වැඩිවීමක් පවතිනවා. පෙළපොත් මුද්‍රණය මේ වනවිට අවසන්. පෙබරවාරි වනවිට සියල්ල බෙදා අවසන් කරනවා.

ලබන වසරට අවශ්‍ය නිල ඇඳුම් සියයට 80 ක ඇණවුම් ලැබෙනවා. පෙබරවාරි මුල වනවිට සියල්ල දෙනවා. දැන් 747,000 ක් දුෂ්කර දරුවන්ට පාවහන් ලබාදීම ආරම්භ කළා. ගුරු හිඟය ලබන වසරේ අවසන් වෙනවා. ඒ අනුව පුහුණුවීම් ද ආරම්භ කරනවා. ලැබෙන අරමුදල්වලින් ගුරු සංවර්ධන වැඩ කරනවා.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සකස් කර අවසන්. කැබිනට් පත්‍රිකාව අද යවනවා. මුලින් පුරප්පාඩු පුරවා ගත යුතුයි. කලාප ප්‍රමාණය වැඩි වෙනවා. සියල්ල අධීක්ෂණය කරනවා. ජාතික අධ්‍යාපන ආයතනය විෂය සංවර්ධන වැඩ කරනවා. 1 සිට 5 දක්වා අධ්‍යයන කටයුතු අරඹනවා. අවුරුදු 4 දරුවන්ට මූලික දැනුම ලබා දෙනවා. ක්‍රියාකාරකම් අවශ්‍යයි. පහ ශිෂ්‍යත්වය විශාල පීඩනයක්. එය අඩු කරන්න යෝජනා කර තියෙනවා. විභාග සරල කරනවා. පංති ඇගයීම් ලකුණු දෙනවා. උසස් පෙළ අවුරුදු 17 දී පවත්වනවා. 12 පන්තියේදී නියමු ව්‍යාපෘතිය මුලින් ක්‍රියාත්මක කරනවා.

පර්ෂද පාසල් සියල්ලේ ප්‍රධාන ප්‍රශ්නවලට විසඳුම් දෙනවා. ලබන වසරේදී 6 ශ්‍රේණියට ඉහළ සියලු පන්ති ඩිජිටල් කිරීමට සියල්ල සූදානම් කර තියෙනවා. ඊට අවශ්‍ය මුදල් චීන ආධාර යටතේ ලැබෙනවා. ඒ වගේම තොරතුරු තාක්ෂණ විෂයය සාමාන්‍ය පෙළට අනිවාර්ය කරනවා.

අබලන් පාසල් ගොඩනැඟිලි රුපියල් මිලියන 10,000 ක ඇස්තමේන්තු ලබාගෙන ලෝක බැංකු ආධාර යටතේ පියවන්න හැකි වේවි.

පත්කළ මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය (ජාජබ)

රටේ ප්‍රශ්න කිසිවකට අයවැයේ විසඳුම් නෑ. පාසලක තාප්පයක් කඩාවැටී දරුවෙක් මියගියා. අදටත් එවැනි අවදානම් ඉදිකිරීම් පාසල්වල පවතිනවා. දොම්පේ ප්‍රාථමික විද්‍යාලයක එවැනි තත්ත්වයක් පවතිනවා. එහි ගොඩනැඟිල්ල භාවිතයෙන් ඉවත් කරලා. එය ප්‍රතිසංස්කරණය කරන්න.

පාසල් දරුවන් විශාල ලෙස මානසික අසනීපවලට ගොදුරු වෙලා. කුඩා දරුවන් ඒ සඳහා ප්‍රතිකාර ලබා ගන්නවා. කොවිඩ් වසංගතය සමග ගතවූ අවුරුදු දෙක ගැන මීට වඩා අවධානයක් ලබාදිය යුතුයි. ඉන් වූ බලපෑම දරුවන්ගේ මානසික සෞඛ්‍යට බලපාන නිසා සොයා බැලිය යුතුයි. නැති වූ අධ්‍යාපනය නැවත ලබාගන්නෙ කොහොමද කියා මීට වඩා අවධානය යොමු කළ යුතුයි. විභාග විතරක් තියලා මදි.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක (සජබ)

කොවිඩ් නිසා වැඩිම බලපෑම එල්ල වූයේ අධ්‍යාපනයටයි. තවම පාසල්වල වාර විභාග යථා තත්ත්වයට පත්වී නෑ. මේ හැම අභියෝගයක්ම මැද විශිෂ්ට ප්‍රතිඵල දරුවො ලබාගත්තා.

දරුවන් හතළිස්තුන් ලක්ෂයක් අධ්‍යාපනය ලබනවා. ගුරුවරු දෙලක්ෂ හතළිස්දහසක් ඉන්නවා. ඒත් තව ගුරු හිඟය පවතිනවා. ගුරවරයා උග්‍ර ආර්ථික අර්බුදයේ වින්දිතයන් බවට පත් වෙලා. පිරිමි අය ගුරු ක්‍ෂේත්‍රයට පැමිණීම විශාල ලෙස අඩු වෙලා. ගුරුවරයා අසතුටින් නම් එය දරුවන්ට බලපානවා. වැටුප් විෂමතා ඉවත් කර සුදුසු වැටුප් ලබා දෙන්න. විදුහල්පති පුරප්පාඩු වහා පිරවීමට ක්‍රියා කරන්න.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන

පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් සියයට 90 ක් දරුවො ගෙදර ආවේ අඬාගෙන. ඊට විරෝධයක් ආවා. ශිෂ්‍යත්වය අහෝසි කළ යුතුයි. ලෝකයේ රටවල්වල 8 පන්තියට යනකම් විභාගයක්වත් නෑ. උගන්වන්නේ 8 ඉඳලා. දරුවන්ට ශිෂ්‍යත්වය විශාල බරක්. මේ විභාගය ඊට පසුව ගන්න.

දුෂ්කර ප්‍රදේශවල පාසල් බස් රථ හිඟයි. ග්‍රාමීය ප්‍රදේශවල සිට නගරයට එන්න බැහැ. මේ ගැන වහාම සොයා බලන්න. සතියට දවසක් දෙකක් පාසල් යන්න විදිහක් නෑ.

ගුරුවරුන්ට, දරුවකුට දඬුවමක් දෙන්න බැහැ. දෙමාපියන් පොලිසි යනවා. දරුවන් ගුරුවරයාට තිබූ ගෞරවය නැතිවී ගිහින්. කුසලතා වර්ධනය සඳහා ප්‍රමුඛතාව ලබාදිය යුතුයි. එක් එක් කියාකාරකම්වලට දරුවන් යොමු කළ යුතුයි.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර් (සජබ)

අපේ විශ්වවිද්‍යාල ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලින් ඉදිරියට ගෙන ඒමට නම් අලුත් සිතිවිලිවලට යා යුතුයි. අවශ්‍ය පහසුකම්වලට ප්‍රමුඛතාව දිය යුතුයි.

අලුතින් වෛද්‍ය පීඨ ඇති කිරීමට අයවැයෙන් යෝජනා වුණා. ඒත් ඊට පෙර පවතින විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවල අඩුපාඩු හැදිය යුතුයි. අද රජයේ පාසල්වල යථාර්ථය කුමක්ද? බොහෝ පාසල්වල ප්‍රධාන විෂයයන්ට ගුරුවරු නෑ. ගොඩනැඟිලි නෑ. අබලන් ගොඩනැඟිලි ප්‍රතිසංස්කරණය කර නෑ. මහජන මුදල් දූෂිත අරමුණු නිසා විනාශ වෙනවා. දරුවන්ගේ දිවා ආහාරය ප්‍රශ්නයක් වෙලා. දරුවන් කුසගින්නෙ අසනීප වෙනවා. පවතින ආර්ථික තත්ත්වය හමුවේ දරුවන්ගේ පාසල් වියදම් දෙමාපියන්ට දරාගන්න බෑ.

මේ නිසා දරුවන්ගේ පාසල් හැරයෑමේ ප්‍රවණතාව වැඩිවෙලා. අනාගත අභියෝගවලට මුහුණදිය හැකි ලෙස අධ්‍යාපනය ගොඩනැඟිය යුතුයි. පාඨමාලා යාවත්කාලීන විය යුතුයි.

පත්කළ මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් (ශ්‍රීලපොපෙ) –

බුද්ධිගලනය මේ අර්බුදයේ බරපතළ තත්ත්වයක්. එය නිවැරදි කර ගන්න වසර දශක දෙකක්වත් ගතවේවි.

වැට් බද්ද සියයට 3 කින් වැඩි කරනවා. මෙතෙක් වැට් අය නොකළ භාණ්ඩ රැසකට බදු ගහනවා. මේ මුදල ගන්නේ ජනතාවගෙන්. මෙය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ටත් බරපතළ පහරක්.

අලුත් විශ්වවිද්‍යාල 4 ක් පිහිටුවනවා කිව්වා. පුද්ගලික උසස් අධ්‍යාපන ආයතන 4 ක් විශ්වවිද්‍යාල කරනවා. පළාත් සභාවලටත් විශ්වවිද්‍යාල හදන්න අවසර දෙනවා. මේ ආයතනවලට ගුරුවරුන්, ආචාර්යවරුන් හොයාගන්නේ කොහොමද? අලුත් විශ්වවිද්‍යාල නිමාර්ණය කිරීමේදී ව්‍යාපාරික ප්‍රජාව සමඟ සම්බන්ධය අවශ්‍යයි. එය කාලීන අවශ්‍යතාවක්. අධ්‍යාපනයේ හරය නවීකරණය කිරීම අවශ්‍යයි. ජාත්‍යන්තර භාෂා ඉගැන්වීම අත්‍යවශ්‍යයි.

පත්කළ මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග (ශ්‍රීලපොපෙ) –

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ මව් භාෂාව ඉගැන්වීමට අඩු සැලකිල්ලක් දී තිබෙනවා. අධ්‍යාපන පරිපාලන ඒකකය පළාත තෝරාගන්නේ කෙසේද. විසංවාද ඇතිවීම තුළ මේ ප්‍රතිපත්තිය විහිළුවක් වේවි.

පාසල් අධ්‍යාපනය වසර 12 කට සීමාවන බව අමාත්‍යාංශය කියනවා. එම මතයේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශයත් සමඟ වෙනස්කම් පවතිනවා.

රාජ්‍ය ඇමැති ශෂින්‍ද්‍ර රාජපක්‍ෂ

ලොව නව සොයාගැනීම් සමඟ ඒ ඒ රටවල අධ්‍යාපනය ද වෙනස් වෙනවා. යල්පැනගිය අධ්‍යාපනයක් දීලා දරුවා ලෝකයට දැම්මම දරුවා අසරණ වෙනවා. විශ්වවිද්‍යාලවලින් දෙන උපාධිය නව ලොවට ගැළපුණේ නැති වුණොත් ඒ තරුණයන්ට කටයුතු කරන්න බැරි වෙනවා. එවිට පාරට බැහැලා උද්ඝෝෂණ කරනවා. උද්ඝෝෂණවලින් බේරෙන්න රජයේ පත්වීම් දෙනවා. රැකියාවට අදාළ සුදුසු දැනුම නැති වුණාම ඔවුන් අසරණයි. දේශපාලනය මේවාට වගකිව යුතුයි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment