තරුණියකට වසර පහක් පහරදී කප්පම් ගත් යුවළට ලක්‍ෂ 4ක ඇප

1312

විසි තුන් හැවිරිදි තරුණියකට වසර පහක් පුරා වරින් වර පහරදී කප්පම් ලබාගත් පුද්ගලික පාසල් බස් රථ හිමිකාර අඹු සැමි යුවළකට ගම්පොළ වැඩබලන මහෙස්ත්‍රාත් නන්දනී කාන්තිලතා මහත්මිය විසින් එක් අයකුට රුපියල් ලක්ෂ දෙක බැගින් දෙදෙනාටම රුපියල් ලක්ෂ හතරක ශරීර ඇපයක් නියම කළාය.

මෙසේ ඇප නියම වූයේ ගම්පොල පොලිස් කොට්ඨාසයට අයත් උඩහේන්තැන්න ගැමුණු පුර පදිංචි චන්දිමා තුෂාරි හේන්දෙනිය හා සුදර්ශන වීරවංශ යන දෙදෙනා හටයි.

උඩහෙන්තැන්න මැදගොඩ පදිංචි විසිතුන් හැවිරිදි චාරිකා රණසිංහ හා ඇගේ පියා වන ශාන්ත රණසිංහ යන අය විසින් මේ සම්බන්ධයෙන් ගම්පොළ පොලිසියේ කළ පැමිණිල්ලකට අනුව මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

වරින් වර පහර දීම් හා කප්පම් ලබා ගැනීම සිදුකර ඇති මොවුන් අවසන් වරට මෙම බස් රථයේ කාන්තාව විසින් මෙම තරුණිය හට ගම්පොල නගරයේ දී රුපියල් පනස් දහසක් ඉල්ලා එය දීමට කල් ගියා යැයි පවසා බරපතළ ලෙස පහරදී ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.

මෙම පහරදීමෙන් තරුණිය තුවාල ලබා ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර පහරදීමෙන් ඇගේ මුහුණ තොල් අත් හා ශරීරයේ බොහෝ ස්ථානවල තුවාල සිදු වී තිබුණි.

ගම්පොළ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත මෙම යුවළ අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙම 23 හැවිරිදි තරුණිය අධ්‍යාපනය ලබා තිබුණේ ගම්පොළ ශාන්ත ජෝශප් බාලිකා පාසලෙනි. උඩහේන්තැන්න මැදගොඩ සිට ගම්පොළ ශාන්ත ජෝසප් බාලිකා පාසල වෙත ඇය පැමිණ තිබුණේ මෙම සැකකාර යුවළට අයත් පාසල් බස් රථයෙනි.

මෙම තරුණියගේ පියාට බේකරියක් සිල්ලර බඩු වෙළඳ සලක් ගෑස් වෙළෙඳසලක්, තේ වතු ඇතුළු ව්‍යාපාර ස්ථාන කිහිපයක්ම තිබෙන අතර ඔහුගේ මෙම දියණියටද කිසි පාඩුවක් සිදුකොට නොතිබිණ.

පාසල් යන සමයේ සිටම මෙම බස් රථයේ කාන්තාව මෙම තරුණියගෙන් මුදල් ලබා ගත් බව පැවසෙන අතර පාසල් ගමන අවසන්ව ඇය පුද්ගලික ආයතනයක රැකියාවක් කිරීමේදී ද තර්ජනය කරමින් මුදල් ගත් බව ඇය පොලිසිය වෙත පවසා ඇත.

තරුණියගේ පදිංචිය අනුව ඇය කුරුඳුවත්ත පොලිස් බල ප්‍රදේශයේ අයකු වන අතර අධ්‍යාපනය හා රැකියාව අනුව ඇය ගම්පොළ පොලිස් බල ප්‍රදේශයට සම්බන්ධය.

ඒ අනුව ඇය මුලින්ම මෙම කාන්තාවගෙන් හා ඇගේ සැමියාගෙන් වන පහරදීම් ඇතුළු හිරිහැර හා මුදල් ඉල්ලීම පිළිබඳව කුරුඳුවත්ත පොලිසිය වෙත 2023 නොවම්බර මස පැමිණිල්ලක් කර ඇති අතර පසුව ගම්පලදී පහරදීම පිළිබඳව පසුගිය 11 දින ගම්පොල පොලිසියේ පැමිණිල්ලක් සිදු කර ඇත.

එසේම ගම්පොල පොලිසියේ උපදෙස් මත කප්පම් ඉල්ලීම පිළිබඳව ඇය හා පියා විසින් යළිත් කුරුඳුවත්ත පොලිසියේ පැමිණිල්ලක් සිදුකර ඇත.

එම පැමිණිල්ල අනුව ඇයගෙන් වරින් වර මෙම යුවල රුපියල් ලක්ෂ පහළොවක කප්පමක් ලබාගෙන ඇති බවද සඳහන් කොට ඇත.

එම මුදල් අතර වරින් වර පියා විසින් දුන් මුදල් ද රැකියාවෙන් ගත් වැටුප්ද රන් මාලයක් විකුණා ගත් මුදල් මෙන්ම ත්‍රිඩිකාවක වන මෙම තරුණිය විදේශ තරගාවලියකට ගොස් ඉතිරි වූ මුදල්ද වන බව සඳහන් කර ඇත.

එසේම ඇගේ බැංකු පොතේ තිබූ මුදල්ද මෙම කාන්තාව ලබා ගත් බව සඳහන් කොට ඇත.

ඇයට පහර දීමේ සිද්ධිය පිළිබඳව ගම්පොල අධිකරණය මගින් යළි විභාගය ජූලි මස දහය දිනට කල් තබා ඇති අතර කප්පම් ලබා ගැනීම සිද්ධිය පිළිබඳව කුරුඳුවත්ත පොලිසිය මගින් සමථ මණ්ඩලයට යොමු කරන බව පවසා ඇති බව සඳහන්ය.

නමුත් මෙම සිද්ධිය සමග මෙම තරුණිය අධික පීඩාවට හා බියට පත්වීම නිසා

රැකියා ස්ථානය වෙත යෑමට නොහැකිව නිවසේ සිටින බවත් ඇය මානසික පීඩාවකට පත්ව ඇති බවත් ඇගේ පියා පවසන්නේය.
ගම්පොළ – සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment