සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරියටත් නායකත්වය දෙනවා- අගමැති දිනේෂ් ගුණවර්ධන

95

සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව උදෙසා ඉදිරියටත් උපරිමයෙන් නායකත්වය ලබා දෙන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය වරයා මෙසේද කීය

හක්මන නරවැල්පිට, උතුර බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ බුද්ධ ප්‍රතිමා වහන්සේ, රන්වැට සහිත බෝධි ප්‍රාකාරය සහ සම්බුද්ධ ශාසනයේ ප්‍රථම රහතන් වහන්සේ සැටනම සහිත ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අගමැතිවරයා මේ බව සදහන් කළේය.

එහිදී අදහස් දැක්වූ අගමැතිවරයා මෙසේද කීය.

ශත වර්ෂයක් පුරා මේ නරවැල්පිට බෝධිරුක්ඛාරාම විහාරය ජනතාවට මෙන්ම මහා සඟරුවනට ධර්ම දානය ලබාදෙමින් සිදුකර ඇති මහඟු සේවය අගය කළ යුතුයි. ඉතිහාසය පුරාම විවිධ ආණ්ඩු ක්‍රමානුකූලව රට පුරා ගමින් ගමට බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා කටයුතු කළා. මහා සඟරුවන ගම්වාසීන් සහ රට වැසියන් ඊට ශක්තිය දුන්නා. එවැනි ශක්තියක් ලබාදෙන ශිෂ්ටාචාරයකට අපි උරුමකම් කියනවා. ශිෂ්ට සම්පන්න ලෝකය විමතියට පත්කරන අනන්‍යතාවයක් අපට තිබෙනවා. ලෝකයා මවිත කරන විහාර දාගැබ් සහිත දේශයක උරුමය අපට තිබෙනවා.

ඉදිරියටත් සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව උදෙසා ලබා දිය හැකි නායකත්වය උපරිමයෙන් ලබාදෙන බව යළිත් කියන්න කැමතියි. එක් කාල පරිච්ඡේදයක් තිබුණා. දහනව වෙනි ශත වර්ෂයේ අපේ විහාර විශාල පසුබෑමකට ලක්වුණා. සඟරුවන අපහාසුතාවයට පත් වුණා. මේ පිළිබඳව ඉතිහාසය සාක්ෂි සපයනවා. එවන් යුගයක සම්බුද්ධ ශාසනය හා බුදු සසුන රැක ගන්න මහ සඟරුවන කටයුතු කළා. වත්මන් මහ සඟරුවනත් සිදු කරන්නේ එවැනි කැපවීමක්. විශ්වාසනීය හෙට දිනයක පදනම සකස් කිරීමට අවශ්‍ය වූ සාමකාමී ජාතියක් ශක්තිමත් කිරීමට යන ගමනේ මෙවන් විශාල දායාද රටට අවශ්‍යයි. වෙසක් සමය රට පුරා සැදැහැවත් බෞද්ධයන්, රට වැසියන් එක සිතින් උත්කර්ෂවත් ලෙස සැමරුවා. පුණ්‍යවන්ත අවස්ථාවන්වලට උත්සවශ්‍රීයක් අවශ්‍යයි. අපේ රටේ කලාකරුවන් සාහිත්‍යවේදීන් බිහිවුණේ එවැනි අවස්ථා නිසාමයි.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සද්ධම්ම යුක්තික පාර්ශ්වයේ මහා නායක රාජකීය පණ්ඩිත පූජ්‍ය කණුමුල්දෙණියේ චන්දවිමල මහ නාහිමි, ශාස්ත්‍රපති පූජ්‍ය නරවැල්පිට රතනපාල අනුනායක හිමි, විහාරාධිපති, පූජ්‍ය කිරිඉබ්බන්ආරේ සුමනසාර හිමි ඇතුළු මහා සංඝරත්නය, කතානායක මහින්ද යාපා අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක, ඇතුළු දායක දායිකාවෝ රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment