ජනතාවට හොඳ හෙටක් නිර්මාණය කිරීමේ වගකීම අපි අදටත් දරනවා – ගමේ මිනිස්සු කිසි විටෙක අප හැරදමා යන්නේ නෑ

146

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මොනරාගල ශ්‍රීලපොපෙ දිස්ත්‍රික් සමුළුව අමතමින් කියයි

පක්ෂයක් ලෙස විවේචන භාරගන්න අපි නිතර සූදානම්. නමුත් මඩගහන එකට අපි විරුද්ධයි. ඔප්පු කිරීමට නොහැකි දේවල් ප්‍රකාශ කරමින් ජනතාව මුලාකිරීමට විපක්ෂය කටයුතු කරමින් සිටිනවා. ගමේ මිනිස්සු හැමදාම සිටියේ අප සමඟයි. කිසි විටෙක ඔවුන් අප හැරදමා නොයන බවට දැඩි විශ්වාසයක් තිබෙනවා. ඉදිරි මැතිවරණ වලදී නගරයේත් ගමේත් සියලු‍ම ජනතාවශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කිරීමට පියවර ගන්නා බව සක්සුදක්සේ පැහැදිලි යැයි හිටපු ජනාධිපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතා එසේ පැවසුවේ ඉකුත් (12)දා මොනරාගල තිස්ස පාරේ පක්ෂ කාර්යාලයේදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මොනරාගල දිස්ත්‍රික් සමුළුව අමතමිනි. එහිදී හෙතෙම මෙසේද කීය.

අද මේවිදිහට අපේ පාක්ෂිකයොයෝ හමුවෙන්න ලැබීම ඉතාම සතුටුයි. අපි නිහඬව ඉන්න ඉන්න සමහරු බොරු කියනවා. දේශපාලන වාසිගන්න ජනතාව නොමඟ යවනවා. ඒ නිසා අපිත් අපේ පාක්ෂියන් දැනුවත් කරන්න මේ විධියට හමුවෙන එක ඉතාම වටින දෙයක්.අපේ සංවිධායකවරුන්ට ඒගැන මුලින්ම ස්තුති කරන්න ඕනි.

වෙල්ලස්සෙ ජනතාව ගැන මා අමුතුවෙන් සඳහන් කරන්න අවශ්‍ය නෑ. මේ පළාත්වල ජනතාව කවදත් අපිත් එක්ක ඉන්නෙ. එඩිතර ජනතාවක් කවදාවත් බොරුවලින් රවට්ටන්න බෑ. ඔබ දන්නවා ඇතැම් පාලන කාලවල මේපළාතට ලැබුණේ මොනවගේ සැලකිලිද කියලා. අපේ නායකත්වයෙන් ඉතිහාසයේ ඒ තත්වය අපි වෙනස් කළා. අදටත් අපට තිබෙන්නේ මේපළාත දියුණකරන අපේක්ෂාවක්. මේ ජනතාවට අපි වඩා හොඳ හෙටක් නිර්මාණය කළ යුතුයි. ඒ වගකීම අපි අදටත් දරනවා. ඒක මේ ජනතාවත් දන්නවා.

අද සමහර දරුවන්ට උපදෙසක් දෙන්න බැරි තැනට සමාජය පත්වෙලා. ඔවුන් ප්‍රශ්න විසඳන්න බලන්නේ නීතිය තමන්ගේ අතට අරගෙන. මේ සමහර වැරදිවලට රටෙන් එන පූර්වාදර්ශත් හේතු වෙනවා. ගහමරා ගන්න එකට මුල්තැන දෙන ඔවුන් සමඟද? අපි මේරට ඉදිරියට ගෙනයන්නේ කියලා හිතන වැඩිහිටියොත් මෙතන ඉන්න බව අපි දන්නවා. හැමදේම අරගලයකින් විසඳන්න පුළුවන් කියලා හිතාගෙන වැඩකරන්න ගියාම රට අමාරුවේ වැටෙනවා. රට වැටිලා තියෙද්දිත් පාරවල් වහගෙන ඒ වැඩවලට මුල්තැන දීලා රටට එන සංචාරකයොත් සීමාකරාම රටේ ආර්ථිකයට මොකද වෙන්නේ. හැබැයි එහෙම කරලා රට හදන්න කතා කරනවා.ඒඅය පුරුදුදේට වඩා වැඩියමක් රටට කරයි කියලා අපට නම් හිතන්න බැහැ.

අද හොඳ වෙනවානම් හෙට නරක්වෙන්නේ නැහැ. රට සංවර්ධන මාවතට දාගත්තම මේ රට ඉදිරියට යන එක කාටවත් වළක්වන්නත් බැහැ. හැබැයි රට සංවර්ධනය වෙනවා කියලා මේ රටේ මිනිස්සුන්ගේ සංස්කෘතිය ආගම දහම හොඳ වත්පිළිවෙත් ආපස්සට යන්න දෙන්න බැහැ. මේ අරගල අස්සේ දන්නෙම නැතිව අපේ සංස්කෘතියටත් අපේ රටටත් හිතාමතා හානි කරනවා අපි දැක්කා. බෝගහ ගැන අපූරු නිර්වචන දෙනවත් දැක්කා. හැබැයි මෙතන ඉන්න අය නම් පහුගිය කාලේ හොඳ ඉවසීමෙන් කටයුතු කළ බව කියන්න ඕනි. මේ අය ඇත්ත එළිවෙන්න කාලයට ඉඩදුන්නා. දැන් ජනතාවට තේරෙනවා පහුගිය කාලේ අරගල කළේ කවුද කියලා. ඒ අය දැන් ඉන්නේ කොහෙද කියලා.

අපට බලය අත්හරින එක පුරුදුයි. අපි දේශපාලනය කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව. බලය වෙනුවෙන් මතවාද හදන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව. සමහරු අපි ගැන බිල්ලො මැව්වා. ෆැසිස්ට් ඒකාධිපති පාලකයෝ ගානට දාලා සමච්චල් කළා. හැබැයි අපි මිනිස්සු හෝ මේ රට අත්හැරියේ නැහැ. මිත්‍රවරුනි අපට මේ මිනිස්සුත් මේ රටත් අත්හරින්න බැහැ. මේ රට අපි හැමෝගෙම රට. කවුරු නොපිළිගත්තත් අපිට ලෝකෙ උතුම්ම රට මේරට. එදා මේ පළාත්වලට කවුරුත් එන්නේ නැති කාලේ අපි ආවා. මේ ජනතාවගේ දුක් ගැනවිලි කතා කළා. හැමදේම විසඳුවේ නැතත් පුළුවන් දේ අපි විසඳුවා. ගොවිතැන කියන්නේ මේ පළාතේ හදවත කියලා තේරුම් අරගෙන මේ ගොවියෝ හමුවෙලා මම කතා කළා. භවබෝගවලින් පිරුණු ස්වයංපෝෂිත වෙල්ලස්සක් නැවත ඇතිකරන්න අපි ආරම්භයක් තිබ්බා.

එහෙම කතාබහ කරලා තීන්දු නොගත් නිසා මේ පළාතේ ගොවීන් පොහොර නැතිව පහුගිය කාලේ විශාල ගැටලු‍වකට මුහුණදුන්නා. පොහොර නැතිව ගොවිතැන් කරන්නේ කොහොමද, අපි දුන්න පොහොර සහනාධාරය පොහොර මිටිය වෙනුවට උපදේශකයන්ගේ කතාවලට සීමාවෙලා කරපු වැඩවලින් තමයි බොහෝ ප්‍රශ්න ඇති වුණේ. ගොවියට පොහොර මිටිය නැතිකරලා කරපු වැඩ මොනඋපදේශකගේ කතාවට අනුව කරත් අදත් මම නම් අනුමත කරන්නේ නැහැ.

ගොවියගෙන් අහලා කරන දෙයක් කරා නම් එදා ගොවියා අසරණ වෙන්නේ නැහැ. අද ඒතත්වය නිවැරදි වෙලා තියෙනවා. හැබැයි ගොවියෝ දැන් ඉල්ලන්නේ පොහොර මිටියේ මිල අඩුකරලා දෙන්න කියලා. ආර්ථිකය යහපත් වුණ ගමන් මේ ආණ්ඩුව ඒ සඳහා මැදිහත්වනු ඇතැයි අපට විශ්වාසයක් තිබෙනවා. අපි මේ කතාකරන මොහොතෙත් රට තියෙන්නේ ආර්ථික අර්බුදයකින් ගොඩඑන ගමන්. හැබැයි මහා ව්‍යවසනයක් වෙන්න ගිය එක ඉවසීමෙන් ගත්ත තීරණ නිසා ඉතා කෙටි කලක් තුළ වෙනස්වෙලා තියෙනවා. රුපියල ශක්තිමත් වෙන්න පටන්ගෙන තිබෙනවා. සංචාරකයෝ වැඩිවශයෙන් එන්න පටන්ගෙන තියෙනවා. සමහර අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු වෙලා. පෝලිම් නැතිවෙලා තියෙනවා. හැබැයි එක රැයකින් මේ හැමදේම වෙනස් වුණේ නැහැ. අපි ඉවසීමෙන් මේ ගමන යන්නවෙනවා.ජනතාව මත වැටුණු අසීමිත ආර්ථික බර මේ එක්කම අඩුවෙන්න අවශ්‍යයයි.

සමහරු කෑමබීම නැතිව ණය ගෙවාගන්න බැරිව මියයනවා නම් කිසිත් නොදන්න දරුවන්වත් ඒවායේ ඇපයට ගන්නවා නම් ඒ අපරාද අපි නැවැත්විය යුතුයි. අපි හැමෝටම ඒ සඳහා වගකීමක් තියෙන බව මතක් කරන්න ඕනි. දරුවන්ගේ පෝෂණය ගැන තවදුරටත් අපි සොයාබලා අවශ්‍ය පියවරගත යුතුයි.

මේ අතරේ ප්‍රජා පොලිස් සේවයේ අවශ්‍යතාවත් අද තදින්ම දැනෙන කාලයක්. හැබැයි පොලීසියේ අය නම් මට නිතරම මේ දවස්වල කෝල් කරන්නේ අලු‍ත් අයි.ජී.පී. කෙනෙක්ට සර්ගෙ කැමැත්ත දුන්නද කියලා අහන්න. පොලිස්පතිව පත්කරන්නේ මම නෙවෙයි. ව්‍යවස්ථා සභාව. ජනාධිපතිතුමා හොඳ නමක් තෝරලා ව්‍යවස්ථා සභාවට යවයි. එහෙම නැතිනම් මේ ඉන්න පොලිස්පති තවත් ටික කාලයක් තියා ගනියි. මම හිතන්නේ නැහැ ජනාධිපතිතුමා නරක කෙනෙක් පොලිස්පති කරයි කියලා.

දැන් බලන්න ගෝල්ෆෝස් අරගලය පිටිපස්සේ කවුද හිටියේ කියලා. ඒ අය කෝ දැන්. කට්ටියක් ජවිපෙත් එක්ක මාලිමාවේ ඉන්නවා. තව කට්ටියක් සජබෙත් එක්ක ඉන්නවා. 71 වුණෙත් මේ දේමයි. 88-89 වුණෙත් මේ දේමයි. අපි අමුතුවෙන් ඒ අතීත කතා මතක්කරන්න අවශ්‍ය නැහැ. මෙතන ඉන්න අයත්, මුළු රටමත් ඒකෙරුවාව ගැන හොඳට දන්නවා.

අද ඒ අය පාසල් දරුවන්වත් රෝගීන්වත් ප්‍රාණ ඇපයට අරගෙන එයාලගේ ඉල්ලීම් දිනාගන්න තැනට වැටිලා. උසස්පෙළ ලියල ඉන්න දරුවන්ගේ ප්‍රශ්න පත්‍ර ටික බලල ඉවරකරන්න තාම බැරිවෙලා තියෙනවා. ඉස්සර ගුරුවරු නම් මෙහෙම නැහැ.දැන් හැමදේම සල්ලි ඉස්සරහට දාගෙන.සල්ලි උවමනා තමයි ඒත් ඊට එහා ගියපු මානුෂීය බැඳීම් මේ රටේ ජනතාවට තිබුණා. මේ නරක පූර්වාදර්ශයන් හැම ගුරුවරයෙක්ම අනුමත නොකරන බවත් අපි දන්නවා.

මෙම සමුළුවට පාක්ෂිකයින් විශාල පිරිසක් එක්ව සිටි අතර රාජ්‍ය අමාත්‍යවරුන් වන ශෂීන්ද්‍ර රාජපක්ෂ, තේනුක විදානගමගේ, විජිත බේරුගොඩ, ජානක වක්කුඹුර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වන රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, කුමාරසිරි රත්නායක, ඩබ්ලිව්.ඩී. වීරසිංහ, කෝකිලා ගුණවර්ධන, ජානක තිස්සකුට්ටිආරච්චි යන මහත්ම මහත්මීහුද සහභාගී වූහ.
බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment