ඊශ්වර විංශතිය ලබයි

1108

විංශතියක් වර්ෂ විස්සක (20) කාලයක් පවතී. විංශති තුනක් ඇත. එම විංශති තුනට වර්‍ෂ 60 ක් ගතවෙයි. විංශති තුනක් ෂෂ්ටි සංවත්සරයකි. ප්‍රභවාදි ෂෂ්ටිය – විජයාදී ෂෂ්ටිය කියා මෙම සංවත්සර ක්‍රම දෙකක් ඇත. මෙයින් අප රටේ ව්‍යවහාර කරනු ලබන්නේ ප්‍රභවාදී ෂෂ්ටි ක්‍රමයයි. විජයාදී ෂෂ්ටි ක්‍රමය උතුරු ඉන්දියා දේශවාසීන් අතර ව්‍යවහාර වෙයි.

ප්‍රභවාදී ෂෂ්ටියේ ප්‍රථම අවුරුදු විස්ස බ්‍රහ්ම විංශතිය කියා ද දෙවැනි අවුරුදු විස්ස විෂ්ණු විංශතිය කියා ද තුන්වැනි අවුරුදු විස්ස ඊශ්වර විංශතිය කියා ද හඳුන්වනු ලබයි. බ්‍රහ්ම යනු මැවීමේ පුරෝගාමියා වෙයි. බ්‍රහ්ම විසින් මවන නිෂ්පාදනය කරන දේ විෂ්ණු විසින් ආරක්ෂා කරයි. ඊශ්වර යනු විනාශ කරන්නා වෙයි. ඒ අනුව බලන කල ඊශ්වර විංශතියක් තුළ විනාශකාරී දේවල් ඇති වෙයි.

1967 අප්‍රේල් 14 සිට උදා වූ ඊශ්වර විංශතිය 1987 අප්‍රේල් 14 දක්වා පැවතුන අතර 69 දෙසැම්බර් 30 ඇති වූ ජල ගැල්ම 71 අප්‍රේල් කැරැල්ල නිසා ගිනි ගැනීම් ජීවිත හානි අපරාධ ඇති වීම එය පිළිලයක් බවට පත්වෙමින් පැවතීම 78 නැඟෙනහිර පළාතේ සුළි සුළඟ, 81 වැඩ වර්ජනය නිසා රැකියා අහිමි වීම 70 සිට 77 අතර ආහාර හිඟය වල් හබරල අල කෑ රට ලූනු – පරිප්පු නැති වීම ආදිය නිසා ජනතාව දැඩි පීඩනයකට ලක්වී දුක් විඳි යුගය. මේවා මතක ඇති අයට තවමත් මතක ඇත. සිකුරාදා සහ අඟහරුවාදා බත් කෑම තහනම් කිරීම පවා සිදු විය.

2027 අප්‍රේල් 14 වැනිදා මේෂ රවියෙන් උදා වූ නව වර්ෂයත් සමග ඊශ්වර විංශතිය ලබයි. මෙම විංශතිය චන්ද්‍ර – ජ්වලන – අශ්විනී – කුමාර සූර්ය යන යුග හතරකට බෙදෙයි. මෙම එක යුගයකට වර්ෂ 5 බැගින් අයත් වෙයි. 2027 සිට 28 දක්වා ජල වංග ද 28 සිට 29 දක්වා කීලක ද – 29 සිට 30 දක්වා සෞම්‍ය ද 30 සිට 31 දක්වා සාධාරණ ද 31 සිට 32 දක්වා විරෝධකෘත යනුවෙන් ද සංවත්සරයන් චන්ද්‍ර යුගයට අයත් වෙයි. චන්ද්‍ර යුගයේ අවසානය සාධාරණ සංවත්සරය හා විරෝධකෘත සංවත්සරයන් පවතින කාලය කැරලි කෝලාහල ගිනි ගැනීම්, මිනිස් ඝාතන සහිත විපත් ඇතිවන කාලය වෙයි. අපරාධකාරයන්ට, හොරුන්ට ජාතික සම්පත් කොල්ලකෑ අයට වැඩ වරදින කාලයක් වෙයි.

32 – 33 පරිධාවී සංවත්සරය 33-34 ප්‍රමාදි සංවත්සරය 34-35 ආනන්ද සංවත්සරය 35-36 රාක්‍ෂස සංවත්සරය 36-37 නල සංවත්සරය යන අවුරුදු 5 ජ්වලන යුගයට අයත් වෙයි. මෙම යුගයේදී ආහාර පාන හිඟ වෙයි. මහ පොළොව වියළෙන තරමට පායයි. මනුෂ්‍ය වර්ගයා ඇවිදින ඇටසැකිලි බවට පත් වෙයි. 37-38 පිංගල සංවත්සරය 38-39 කාලයුක්ත සංවත්සරය 39-40 සිද්ධාර්ථ සංවත්සරය 40-41 රෞද්‍ර සංවත්සරය 41-42 දුර්මත සංවත්සරය යන වස පහේ යුගය අශ්විනී යුගයට අයත් වෙයි. කාලයුක්ත හා සිද්ධාර්ථ සංවත්සරයන් තුළ ශුභවාදී බවක් ඇති වෙයි. ශක්තිමත් පාලන රටාවක් ඇති වේ. නමුත් මනුෂ්‍යයා භීතියට පත්වන දේවල් ඇති වෙයි. හොල්මන් අවතාරවලට තැන හිමි වෙයි. සෙලවෙන මනසින් යුතු වූවෝ බොහෝ වෙයි. 42-43 දුන්ද්‍රභි සංවත්සරය 43-44 රුධිරොද්ශාරී සංවත්සරය 44-45 රක්තාක්ෂි සංවත්සරය 45-46 කොධන සංවත්සරය 46-47 කෂය සංවත්සරය යන වර්ෂ පහ කුමාර සූර්ය යුගයට අයත් වෙයි. මේ අයුරින් ඊශ්වර විංශතිය තුළ සංවත්සරයන් ගෙවී යනු ඇත. භූමිකම්පා වීම් කඳු කඩාවැටීම් මෙන්ම නොපෙනෙන බලවේගයන්ට රැවටී මුලාවීම ආදියෙන් මෙම ඊශ්වර විංශතිය තුළ සිදුවීම් ඇති වුණත් ලෝක විනාශයක් නම් වෙන්නේ නැත. එයත් මිථ්‍යා විශ්වාසයක් බව සලකන්න සියල්ලෝම දැහැමි ජීවිත ගත කළොත් ඒ අයට විපත් කරදර අවම වන බව සලකන්න.

සාමවිනිසුරු ජ්‍යොතීර්වේදී
ශබ්ද විද්‍යා විශාරද
බෙල්පාමුල්ලේ
එච්. පී. සිරිසේන

advertistmentadvertistment
advertistmentadvertistment