බෝසතාණන් මාරපරාජය කරද්දී නොබියව ළග සිටි දැඩිමුණ්ඩ දෙවියෝ

1863

දැඩි සිතක් මුඩු හිසක් ඇත්තෙක් වන දැඩි මුණ්ඩ දෙවියන් අළුත්නුවර දේවතා බණ්ඩාර ‘සඳුන්කුමාර’ මැණික් බණ්ඩාර යන නාමයන්ගෙන්ද ප්‍රකට යක්‍ෂ නාග ගෝත්‍රික සම්මිශ්‍රණයෙන් උපන් දේවාත්මයක් ලෙස සැලකේ. මෙම දෙවියන් කතරගම දෙවියන්ගේ වාහල තනතුරද ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ අධිකාරම් තනතුරද දරන බවට ජන විශ්වාසයේ පවතී. දැඩිමුණ්ඩ දෙවි ස්වදේශීය දේවාත්මයක් ලෙසටද බැතිමත්හු විශ්වාස කරති. බෝධි මූලයෙහිදී බුදුබව පතා වැඩසිටි බෝසතාණන් වහන්යේ ඉදිරියේ දසබිම්බරක් මාරසේනාව බියකරු වෙස් ගෙන රැස්වූ අවස්ථාවේ එහි සිටි දේව සමූහයා බියෙන් පලාගිය අතර දැඩිමුණ්ඩ දෙවියන් පමණක් මාරසේනාවට බියනොවී බෝසතාණන් සමීපයෙහි රැඳී සිටි බවත් ඒ නිසාම දැඩිමුණ්ඩ නාමය ලද බවත් ජන විශ්වාසයේ පවතී.

බුදුන් තනි කර ලා
දෙවියන් ගියයි හැර ලා
දැඩිදෙවියෙක් සිට ලා
යුදකරමි සැලකලේ වැද ලා

(දේව පුරාණය 128 පිටුව)

බොක්සැල් වීරභද්‍ර ‘සුදුමල්’ යන නම් වලින්ද මෙම දෙවියන් හඳුන්වන බව දේව පුරානයේ සඳහන් වේ. පූර්ණක නම් යක්‍ෂයාගේ මාමා කෙනකුන් වන කුවේරයා විසින් දැඩිමුණ්ඩ දෙවියන් මාරපරාජය පිණිස පිටත් කර යැවූ බවද පැවසේ. (සියැනෑ කෝරළයේ දෙවිවරු සහ දේව විශ්වාස ආර්. ඒ. පියදාස 30 පිටුව)

බෝසතාණෝ දසබිම්බරක් මරසෙන් පරදා බුද්ධත්වයට පත් කල්හි බුදුන් වහන්සේට එකත්පස්ව සිටි දැඩිමුණ්ඩ දෙවියන් බුදුන්වහන්සේට නමස්කාර කර සිටි කල්හි වසර පන්දහසක් බුදුසසුන සුරකින ලෙස දැඩිමුණ්ඩ දෙවියන්ට භාර කළ බවද ඉන් අනතුරුව ශක්‍රයාගෙන්ද විෂ්ණු සහ ස්කන්ධකුමාර දෙවිවරුන්ගෙන්ද වරම්ලැබගත් දැඩිමුන්ඩ දෙවියන් ලක්දිවට පැමිණි බව පැවසේ.

දැඩිමුණ්ඩ දෙවියන් දොළහ දෙවිවරුන්ටද අයත්වේ. උපුල් වන් දෙවියන්ගේ අමාත්‍යවරයකු ලෙසත් වෙසමුණි රජුගේ මුණුපුරා ලෙසත් කියවේ.

පූර්ණක නම් යක්‍ෂ සේනාධිපතියාට දාව එරන්දතී නම් නාග මානවිකාවගේ කුස තුළ උපන් දැඩිමුණ්ඩ දෙවියන් ලක්දිව එදා පැවති යක්‍ෂ නාග ගෝත්‍රීක සම්බන්ධතාවෙන් යුතුව සිටි බවද පැවසේ.

මහනුවර ඇම්බැක්ක කළුගමුව වල්ලහගොඩ යන තැන්හි දේවතා බණ්ඩාර හෙවත් දැඩිමුණ්ඩ දේවාල පිහිටා ඇත. රුහුණු කතරගම කිරිවෙහෙර ඉදිරිපිටද දේවතා බණ්ඩාර දේවාලයක් පවතී. දැඩිමුණ්ඩ දෙවියන් රාජගිරි ගල්ලෙනෙහි විමානයක් කරවා එහි විසූ බවද සබරගමුව සීනිගම උග්ගල් අලුත්නුවර නවගමුව ආදී ප්‍රදේශවලද වාසය කළ බව පැවසේ.

වේ රෑනෙන් ගලකප්පවා අළුත් නුවර නගරය ඉදිකර එක් දිනකින් වීසැටයාලක් අස්වද්දා දේවත්වයට පත්වී මුරුතැන් මංගලය්‍යක් බලාපොරොත්තුවෙන් දැඩිමුණ්ඩ දෙවියන් යහතින් වැඩවාසය කරන බැව් බැතිමත්හු විශ්වාස කරති. දැඩිමුණ්ඩ දෙවියන් යකුන් ලවා ගල කැප්පෙව් අයුරු උඩරට නර්තන කලාවේ ඒකාක්ෂර කවි ගායනාවල මෙසේ දැක්වේ.

වේශවෙලා දහඅට දේසයකින් බලයකු ගෙන්නූවේ
වේ රෑනෙන් ගල කප්පා වැඩසිට යකුන්ට බලපෑවේ
වේවැල සුරතින් සෝළු දරාගෙන බණ්ඩර බව ලැබුවේ
වේය නෑර ජය අළුත් නුවර දෙවියන් වැඳගෙන ආවේ

යකුන් ලවා වේ රෑනෙන් ගල කැප්පව්මට විවිධ ප්‍රදේශවලින් යක්‍ෂ සමූහයා ගෙන්වා ඇති අතර දැඩිමුණ්ඩ දෙවියන්ගේ පිය පාර්ශ්වය යක්‍ෂයන්වීම තමාගේ බලාපොරොත්තුව ඉටු කරගැනීමට පහසුවක් වන්නට ඇත. දැඩිමුණ්ඩ දෙවියන් අළුත් නුවර දේවාලය ඉදිකිරීමට යකුන්ගෙන් වැඩගත් බව පහතරට ශාන්ති කර්මවල එන කෝල්මුර කවිගායනාවල මෙසේ දැක්වේ.

බත්ගල ගව්ඩිය මල්ල රටේ යක්
පොන්නඩි ජාවක මල්ල රටේ යක්
කන්නඩි කාවෙරි කවුඩි රටේ යක්
සිංහල දේසෙට ගෙන්වා හැම යක්

වඩා කැවුම් සහ කිරිබත් කැටකොට
කුඩා නොකරවව් එක දෙක දෙන්නට
විඩාව හැර පුද කරන්න යකුහට
කඩා දමව් ගල අද රෑ සුන් කොට

යක්‍ෂ සමූහයාට කැවිලි පෙවිලි දක්වා ඔවුන් සතුටුකොට ගල් පර්වතය බිඳ හෙලන ලෙසට යක්‍ෂයන්ට අණකොට එක් රැයක් තුළ එම යක්‍ෂ සමූහයා ගලබිඳහෙලූ බව ඉන් පැහැදිලිවේ. ප්‍රධාන වශයෙන් සතර කෝරළයට අරක්ගෙන සිටින දැඩිමුණ්ඩ දෙවියන් දේවතා බණ්ඩාර දෙවියන් ලෙස සැලකේ. මහේශාඛ්‍ය දේවතාවෙක් ලෙස ජන විශ්වාසයේ පවතින මෙම දෙවියන්ගේ පිහිට පතා ලංකාවාසී බැතිමත්හු අලුත් නුවර දේවාලයට පැමිණෙති.

මාවනැල්ල හිඟුළ කඩමණ්ඩියට උතුරු දිසාවෙන් ඇති කිරුන් ගන්දෙණිය කන්දේ ගල්ගුහාවක මෙම දෙවියන් වැඩවාසය කළ බවද පැවසේ. පසුව වර්තමානයේ අලුත් නුවර දේවාලය ඇති තැනට මෙම දෙවියන් වැඩම කරවා ඇත. යකුන් ලවා ගල කප්පවන්නේද මෙම අලුත් නුවර දේවාලය ඉදිකිරීමටය. දැඩිමුණ්ඩ දෙවියන් මුහුදු තරණය කරද්දී නැව බිඳී යෑමෙන් දෙවුන්දර තුඩුවෙන් ගොඩබැස්සේය. ඒවන විට ගැබ්බරව සිටි සෝමා දේවිය මියයෑමෙන් ඇගේ ආදාහන කටයුතු සිදුවූ පසු දැඩිමුණ්ඩ දෙවියන් එම සොහොන් අළුවලින් සෝමා දේවියගේ පුත්කුමරා මවා පෙන්වූ බවද දේවපුරාණයේ සඳහන්වේ. (249 පිටුව)

හොඳට හොඳ නරකට නරක හදවතක් ඇති දැඩිමුණ්ඩ දෙවියන්ට දුකට පිහිට විය හැකි ශක්තියක් ඇති බව ජනවිශ්වාසයේ පවතී. විශේෂයෙන් අලුත් නුවර දේවාලයට ගොස් බැතිමත්හුගේ කරදර විපත් දුක්ඛ දෝමනස්සයන්හිදී භාරහාර වී එම භාරහාර ඔප්පුසිද්ධ කිරීමටද පුරුදුව සිටිති.

දැඩිමුණ්ඩ දෙවියන්ට කරනු ලබන දේව කන්නලව්ව මෙසේවෙයි.

අවසර පස්වාන් දහසකට මේ ශ්‍රී ලංකාදීපයට වැඩ අසුරබල බිඳ ජයඝෝෂා පතුරවා බලපරාක්‍රමයෙන් අලුත් නුවර යහතින් වැඩ සිටින උතුම්වූ දැඩිමුණ්ඩ දෙවිමහරාජෝත්තමයාණන් වහන්ස තවද උග්ගල් අලුත් නුවර වැඩ උක්හේනක් දැක ගල් වෙන්ඩ වරම්දී උග්ගල් අලුත් නුවර යන නාමයකින්ද මේ ලක්දිව සැට යාලක් කෙත් අස්වද්දා මෙහි යකුන් යක්‍ෂණියන්ට සෙනෙවිරත් අධිකාරම් යන නමකින්ද සඳුන්කුමාර ඌවේ බණ්ඩාර මැණික් බණ්ඩාර කීර්ති බණ්ඩාර යන නාමයන්ගෙන් ප්‍රසිද්ධව නවගමුවට සබරගමුවට උග්ගල් අලුත් නුවරට කොස්ගමට හුන්නස්ගිරියට අරක් ගෙන වැඩ වාසය කරන්නාවූ උතුම්සිද්ධ බල ඇති දැඩිමුණ්ඩ මහාරාජෝත්තමයාණන් වහන්ස ඔබ වහන්සේට දොහොත් මුදුන් තබා වැඳගෙන කියා සිටින කන්නලව්ව දිවැස් කරුණාවට ගෙන බලා වදාරා මොහුට (මොවුන්ට) පැමිණ ඇත්තාවූ දෝෂාන්ධකාර දුරුකරනවයි පිනට පිහිට වෙනවයි පිං ගන්නවයි ඔබ කීර්ති පස්වාන් දහසකට ආයුබොහෝ වේවා.

බෝසතාණන් මාරපරාජය කරද්දී නොබියව ළග සිටි දැඩිමුණ්ඩ දෙවියෝ

කලාභූෂණ ‘විශ්වාභිනන්දන’
සියනෑ ගෞරවකීර්ති’
සරණපාල නුවරපක්‍ෂ,
පූගොඩ.
දුක 077 9139904

advertistmentadvertistment
advertistmentadvertistment