තරුණ මහින්ද යාපා අබේවර්ධන රටේ ගෞරවයට පාත්‍ර වූයේ 1987 වර්ෂයේදී 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතට එරෙහි වූ නිසාය. එවකට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන එම පනත ඉදිරිපත් කරන ලද්දේ උතුර මෙන්ම දකුණද ගිනි ගැනීමට ඉතා ආසන්නව තිබූ අවස්ථාවකයි. එම පනත ඉන්දියාවේ අවශ්‍යතාවක් විය. ජයවර්ධන ජනාධිපතිවරයා එම පනත ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ඉදිරිපත් කරන ලද අවස්ථාවේ ඊට මාතර දිස්ත්‍රික්කය නියෝජනය කළ අබේවර්ධන දැඩි ලෙස විරුද්ධ විය. ගාමිණී ජයසූරිය හා
චන්ද්‍රකුමාර විජේගුණවර්ධන යන මන්ත්‍රීවරුද එදා ජනාධිපතිවරයාගේ තීරණයට එරෙහි වෙමින් පාර්ලිමේන්තුවේදී අදාළ පනතට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීම පාර්ලිමේන්තු ඉතිහාසයේ ස්වර්ණමය අවස්ථාවක් විය. අද මන්ත්‍රීවරු රත්‍රන් ජාවාරම් කරති. එදා එම මන්ත්‍රීවරු තිදෙනාටම තම අසුන් අහිමි විය. 13 වැනි සංශෝධනයට එරෙහිව ඡන්දය දුන් පා. ම. අබේවර්ධනට 1987 වසරේදී සාහසික දේශපාලන ප්‍රචණ්ඩත්වයේ අතිශය කර්කෂ අත්දැකීමකට මුහුණ දීමට සිදුවිය. ඔහුට අයත් නිවාසය, වාහනය ඇතුළු සියල්ල ප්‍රචණ්ඩකාරීහු විසින් ගිනිබත් කරන ලදී.

කථානායක මහින්ද යාපා අබේවර්ධන පසුගියදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉවත් කිරීමට ප්‍රබල ජාත්‍යන්තර මැදිහත්වීමක් කළ බවට මැති සභයේදී ප්‍රකාශයක් කළේය. එම ප්‍රකාශය අතිශය ආන්දෝලණාත්මකය. ජාත්‍යන්තරයට මල්ටි බැරල් රොකට් ප්‍රහාරයකි. නමුත් එය කිසිසේත්ම හෙළිදරව්වක් නොවේ.

ජාතික නිදහස් පෙරමුණේ නායක පා.ම. විමල් වීරවංශ 2023 අප්‍රේල් 25 ප්‍රකාශයට පත්කළ ‘9:සැඟවුණු කතාව’ ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර බලවේගය ශ්‍රී ලංකාවේ කළ මැදිහත්වීම නැතහොත් ආණ්ඩු පෙරළිය හෙළිදරව් කර තිබූ නිසාය. එදිනම ඇමෙරිකාව මන්ත්‍රීවරයාගේ ග්‍රන්ථය ප්‍රබන්ධයක් ලෙස නම්කර සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළේය.

ඊට මාස කීපයකට පසුව ප්‍රසිද්ධ ග්‍රන්ථ කර්තෘ සේන තෝරදෙණිය එළිදැක්වූ ‘Galle Face Protest: System Change or Anarchy?’ අරගලයේ විදේශීය හස්තය අවධාරණය කළ අතර 2023 වසර අවසාන භාගයේ විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර ඇමෙරිකානු තානාපතිවරිය ජුලි චන්ග් කළ ඍජු මැදිහත්වීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය පිළිබඳව පොහොට්ටු මන්ත්‍රී නීතිඥ චන්දිම වීරක්කොඩි දැඩි විරෝධයක් පළකළේය. සජබ සමඟ සම්බන්ධ වී සිටින වීරක්කොඩි මන්ත්‍රීවරයා පා.ම. වීරසේකර එරෙහිව වරප්‍රසාද ප්‍රශ්නයක්ද මතු කළේය. කථානායකවරයා නිහඬව සිටියේය.

රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙනුවෙන් වීරවංශ කළ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කළේ ඇමෙරිකානු තානාපතිවරිය බව පෙන්වා දීම අත්‍යවශ්‍ය. ඒ ‘9 : සැඟවුණු කතාව’ එළිදැක්වූ දිනයේදීම නිකුත් කළ ‘ං’ නිවේදනයක් මාර්ගයෙනි. නමුත් කථානායකවරයා ජාත්‍යන්තර මැදිහත්වීමක් සම්බන්ධයෙන් කළ කිසිදු ප්‍රකාශයකට ප්‍රතිචාර දැක්වූයේ නැත. වසරකට ආසන්න කාලයක් කථානායකවරයා අනුගමනය කළ එම නිහඬ ප්‍රතිපත්තිය 2024 මාර්තු 21 දින බිඳ දැමුවේ ඇයි?

අදාළ කරුණ සම්බන්ධයෙන් කථානායකවරයා කළ ප්‍රකාශය පහත දැක්වේ: “වගකිවයුතු කථානායකවරයකු ලෙස මෙතුවක් කල් නිහඬව සිට රටේ මහජනතාව වෙත අනාවරණය නොකළ සිද්ධියක් අද මා ඔබට ප්‍රකාශ කරනු කැමැත්තෙමි.

රාජ්‍ය විරෝධී හා ව්‍යවස්ථා විරෝධී ලෙස ඉකුත් අරගල සමයේ රජයක් පිහිටුවීමට බලපෑම් කරන ලද පිරිස අතර විවිධ ශක්තිමත් බලවේග තිබුණු බවට මා සඳහන් කරන්නේ ඉතාමත් කනස්සල්ලෙනි. ඔවුන් අතර සිටි සමහර අයගේ අරමුණ වූයේ උද්ගතව ඇති ගැටලුව සමනය කිරීම හෝ රට ආරක්ෂා කිරීම නොව මා හරහා නීති විරෝධී රජයක් පිහිටුවා අප රට ලිබියාවක් හෝ ඇෆ්ගනිස්ථානයක් කිරීමේ කූඨ උපායයි.

එහි ප්‍රතිඵලය වූයේ මෙරට ජනාධිපති ධුරය හිස්වූ අවස්ථාවේදී ජනාධිපති ධුරය සඳහා මට ආරාධනා ලැබීමයි. එනමුත්, එදා පවා මා කළේ දේශීය වශයෙන් ලැබුණු ඇරයුම් පමණක් නොව විදේශීය වශයෙන් ලද ඇරයුම් ද එකහෙළා ප්‍රතික්ෂේප කරමින් උත්තරීතර වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට හදවතට එකඟව මට තිබුණු තදබල අවශ්‍යතාවය සියල්ලන්ටම කාරුණිකව අවධාරණය කිරීමයි.

මාගේ මතය වෙනස් කිරීමට නොහැකි වූ කල ප්‍රචණ්ඩ වූ සමහරුන් මාගේ නිවස වටකොට මාගේ ජීවිතයද අනතුරේ හෙලනා බවට තර්ජනය කිරීමට පවා සාහසික වූහ. ඔවුන් අතරේ ජනප්‍රිය භික්ෂුන් වහන්සේලා මෙන්ම වෙනත් ආගමික නායකයන්ද සිටීම ගැන මා අදද අවංකවම කම්පා වෙමි.

මෙකී තර්ජන මැද මා ඇමතූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මා වෙත බලය ලබා දීමේ ක්‍රියාවලිය ගැන අදහස් විමසා සිටියේය. රජයේ අතවශ්‍ය කටයුතු ඉටු කිරීමට අග්‍රාමාත්‍යවරයෙක්ද, කැබිනට් මණ්ඩලයක්ද, ව්‍යවස්ථාවෙන් මා වෙත පැවරුණු බලයක් ද, නොමැතිව කටයුතු කිරීමට නොහැකිව, මාසයක් තුළ නව ජනාධිපතිවරයෙක්ද පත් කර ගැනීමට නොහැකි වුවහොත්, සමස්ත රටම නීතියක් නොමැතිව පාලනය කිරීමට නොහැකිව තැන තැන කුඩා කල්ලි කණ්ඩායම් ප්‍රාදේශීය පරිපාලනය අතට ගන්නා තැනට රට පත්විය හැකි අවධානම මා හොඳින් දැන සිටියෙමි.”

තවත් පුස් වෙඩිල්ලක්

කථානායකවරයා එම ප්‍රකාශය කර පැය 24 යෑමට පෙර හිටපු ජනාධිපති සහ පොහොට්ටු පා.ම. මෛත්‍රිපාල සිරිසේන තමන් 2019 පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු කවුරුන්දැයි දන්නා බවට නුවරදී ප්‍රකාශයක් කළේය.

පාස්කු ප්‍රහාරය වැළැක්වීමට අසමත් වීම හේතුවෙන් රටේ ඉහළම අධිකරණය විසින් වරදකරු කරනු ලැබීමෙන් පසුව රුපියල් මිලියන 100 වන්දි ගෙවීමට නියම වී සිටින හිටපු ජනාධිපතිවරයා එම ප්‍රකාශය කළ හේතුව තවමත් පැහැදිලි නැත. මාධ්‍ය අවධානය ලබා ගැනීමට හිටපු ජනාධිපතිවරයා මෙවැනි වගකීම් විරහිත ප්‍රකාශ කළ පළමු අවස්ථාව මෙය නොවේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යහපාලන ආරක්ෂක අමාත්‍ය ධුරයද දැරූ ශ්‍රීලනිප නායකයා කළ ප්‍රකාශයට දැඩි විරෝධතා එල්ල විය. දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන සහ කතෝලික පල්ලිය එම විරෝධතා එල්ල කළ කණ්ඩායම අතර විය. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් නියෝගයෙන් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයාද (ඔහුද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසන් සභාව විසින් නම් කර ඇති පුද්ගලයෙකි) පා. ම. සිරිසේන කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් ඇරඹීය.

නමුත් කථානායකවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු පක්ෂයක් හෝ සිවිල් සංවිධානයක් විශේෂ පරීක්ෂණයක් බලකර ඉල්ලා සිටියේ නැත. වෙනත් අවස්ථාවලදී කථානායකවරයා කරන ප්‍රකාශ/එතුමාගේ ස්ථාවරය සම්බන්ධයෙන් මැති සභය තුළ ආණ්ඩු පක්ෂය සමඟ ගැටෙන කිසිදු මන්ත්‍රීවරයකු එතුමාට අභියෝග කළේ නැත. මෙපමණ කාලයක් මෙවැනි අතිශය බරපතළ කරුණක් සම්බන්ධයෙන් කථානායකවරයා නිහඬව සිටියේ කුමන බලපෑමක් නිසා දැයි කිසිවකු මැති සභය තුළ හෝ එයින් පිටත ප්‍රශ්න කළේද නැත.

ඇත්ත වශයෙන්ම තමන්ව ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීම ජාත්‍යන්තරයද ඍජුව සම්බන්ධව ක්‍රියාත්මක කළ කුමන්ත්‍රණයක් බවට චෝදනා කළ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කථානායකවරයාගේ මාර්තු 21 වන දින ප්‍රකාශය මත වහාම පරීක්ෂණයක් ඉල්ලා සිටිය යුතු නොවේද? බලයේ සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නැතහොත් පොහොට්ටු පක්ෂයට තමන් 2019 ජනාධිපතිවරණයේදී දිනවූ ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහ කිරීම ජාත්‍යන්තරයද සම්බන්ධවූ මෙහෙයුමක් බවට කථානායකවරයා කළ ප්‍රකාශය නොසලකා සිටිය හැකිද? එලෙසෙම පොහොට්ටු පක්ෂයෙන් ඉවත් වී සජබට එකතු වී සිටින කණ්ඩායමට නිහඬව සිටිය නොහැක. නමුත් ඔවුන් සියලු දෙනාම නිහඬව සිටියේය. ජවිපෙ/ ජාජබ සම්බන්ධයෙන් කීමට ඇත්තේද එයමය.

මැති සභය නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල හැසිරීම සැක සහිතය. සිවිල් සමාජයද නිශ්ශබ්දය. මෑතකදී වසර 50 සංවත්සරය පැවැත්වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙන්ම විකල්ප කණ්ඩායමද නිශ්ශබ්දය. කතෝලික පල්ලියද කථානායක කළ ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි නිහඬ ප්‍රතිපත්තියක සිටින බව අමුතුවෙන් කිව යුතු නැත. සමස්තයක් ලෙස මාධ්‍යද කථානායකවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් දැක්වූයේ නැත. ඇත්ත වශයෙන්ම කථානායකවරයා පවා පාර්ලිමේන්තුවේ සහ අනෙකුත් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්වල හැසිරීම සම්බන්ධයෙන් පුදුමයට පත්වන්නට ඇත.

විදේශීය බලපෑම

කථානායකවරයා කළ බරපතළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඉදිරියේදී ගැනීමට බලාපොරොත්තු වන ක්‍රියා මාර්ගය පිළිබඳව මෙම ලියුම්කරු එතුමාගෙන් පසුගිය අඟහරුවාදා (මාර්තු 26) විමසුවේය. එතුමා දැඩි ස්ථාවරයක් ගන්නා බවට සැකයක් නොමැත. පැය 24 තුළ සිදුකළ එතුමාගේ සහ පා.ම. සිරිසේනගේ ප්‍රකාශයට ලැබුණු වෙනස් ප්‍රතිචාරවලට අවධානය යොමු කරමින් මෙම ලියුම්කරු මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරන පොහොට්ටු මන්ත්‍රීවරයාගෙන් විමසා සිටියේ ඔහු කළ ආන්දෝලණාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ඉදිරියේදී ගැනීමට බලාපොරොත්තු වන ක්‍රියාමාර්ගය කුමක්ද ? ඒ සම්බන්ධව පක්ෂ නායකයන් සමග සාකච්ඡා කර පරීක්ෂණයක් ඉල්ලා සිටීමට කරයුතු කරනවාද ?

කථානායකවරයා ඒ අවස්ථාවේ සිටියේ ජිනීවා නුවරය. ඒ අන්තර් පාර්ලිමේන්තු සංගමයේ 148 වන සැසියට (මාර්තු 23-27) සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙසය. ඇත්ත වශයෙන්ම එතුමා මෙම ලියුම්කරු මවිතවන ආකාරයේ පිළිතුරක් දුන්නේය. “තව මොනවා පරීක්ෂා කරන්නද? එම ප්‍රකාශයට එහා දෙයක් කිරීමට බලාපොරොත්තුවක් නැහැ. අවශ්‍යතාවයකුත් නැහැ.”

එතුමා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කවුරු කවුරුත් නිහඬව සිටීම පිළිබඳව තවදුරටත් පුදුම වීමට හේතුවක් නොමැත. කථානායකතුමත් නිහඬය. නැතහොත් තමන් කළ ප්‍රකාශය අනවශ්‍ය ප්‍රශ්නයක් ඇතිකර ඇති බවට එතුමා අවබෝධ කරගෙන ඇති බවට සැක කළ හැකිය. කෙසේ වෙතත් එතුමා නිහඬය. නමුත් මාර්තු 21 වන දින කළ ප්‍රකාශය අන්තර් පාර්ලිමේන්තු සංගමයේ අවධානයට යොමු වූ බවට සැකයක් නොමැත. නමුත් එම සංවිධානයද නිහඬව සිටින බව අප තේරුම් ගත යුතුය. පොදුරාජ්‍ය මණ්ඩලය සම්බන්ධයෙන් කතා කර පලක් නැත.

මහාචාර්ය නලින් ද සිල්වා සමාජ මාධ්‍යයේ ‘කථානායකවරයාගේ හෙළිදරව්ව’ යන ශීර්ෂ පාඨය යටතේ පලකර තිබූ ලිපිය සැමගේ අවධානයට යොමු වියයුතු ලිපියකි. මියන්මාරයේ සිටි ශ්‍රී ලංකා තානාපතිවරයා අපූරුවට රට මුහුණ දෙන අභියෝගය අවධාරණය කර තිබුණ බව ගෞරවයෙන් සඳහන් කළ යුතුව ඇත. එතුමාගේ අදහස් දැක්වීම අතිශයින් වැදගත් වන්නේ විශ්‍රාමික තානාපතිවරුන් සහ වගකිවයුතු රාජ්‍ය ආයතන කිසිවක් සිදු නොවූ ලෙස කටයුතු කරන නිසාය. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඔහුට එරෙහිව ක්‍රියාත්මක කළ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් චෝදනා නැඟුවත් ඇමෙරිකානු සම්බන්ධතාවය සඳහන් කර නැත.

ඇමෙරිකානු මධ්‍යම ඔත්තු සේවයේ නැතහොත් CIA (Central Intelligence Agency) ප්‍රධානි විලියම් ජේ. බර්න්ස් පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී රහසින් ශ්‍රී ලංකාවේ නායකයන් හමුවීමට පැමිණි බව අමතක කර දමා ඇත.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පා.ම. සිරිසේන කළ ප්‍රකාශයට හිටපු ජනාධිපතිවරයා රහස් පොලිසියට කැඳවීමට තිබෙන උනන්දුව කථානායකවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීමට නැත්තේ ඇයි? කථානායකවරයාට බලපෑම් කිරීමට 2022 ජුලි 13 දින කථානායක නිලනිවාසයට ඇමෙරිකානු තානාපතිවරිය පා.ම. වීරවංශ ප්‍රකාශ කර ඇති ආකාරයට පැමිණියේ නොමැතිද? එසේ නම් වෙන තානාපතිවරයකු පැමිණියාද ?

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා 2023 ජුනි මාසයේ අග ලන්ඩන් නුවර පැවති International Democrats Unionzs සංවිධානයේ 40 වැනි සංවත්සරයේ දී 2022 ජුලි මාසයේ එතුමා සහ කථානායකවරයා මුහුණ දුන් අදහාගත නොහැකි අභියෝගය අවධාරණය කළේය. කොල්ලුපිටියේ පිහිටි තමන්ගේ පෞද්ගලික නිවාසය විනාශ කර තමන්ට අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට කළ බලපෑම සහ කථානායකවරයාට ජනාධිපති ධුරය භාර ගැනීමට කළ ඉල්ලීම ජනාධිපතිවරයා එහිදී අදහස් පළ කළේය.

වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පත්වී සතියකට පසුව පොහොට්ටු ඡන්දයෙන් 8 වන ජනාධිපතිවරයා ලෙස පත්වූ එජාප නායක කළ පළමුවන රාජකාරිය වූයේ ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු අනෙකුත් රජයේ ගොඩනැඟිලි නැවතත් ආණ්ඩුව යටතට ගැනීමයි. එසේ නොවූවානම් රටේ තත්ත්වය නැතහොත් ඉරණම මීට වඩා වෙනස් විය හැකිව තිබුණි. ජනාධිපතිවරයා ගත් එම ක්‍රියාමාර්ගය තානාපති චන්ග් ගේ බලවත් නොසතුටට හේතු වූ බව සහ එම තත්ත්වය සම්බන්ධයෙන් ඇය විරෝධය පලකළ බව රහසක් නොවේ.

වික්‍රමසිංහ ජනාධිපතිවරයා ‘අරගලය’ උඩු යටිකුරු කළේය. එජාප නායකයා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහිව ‘ගෝඨා ගෝ හෝම්’ මෙහෙයුමට ප්‍රබල දායකත්වයක් දුන් බව රහසක් නොවේ. නමුත් අරගලයේ උපාය මාර්ගය අනුව කථානායකවරයා තාවකාලික නායකත්වයට පත් කිරීමට කටයුතු කළ බවට පාර්ලිමේන්තුව නිල වශයෙන් දැනුවත් කර ඇත. ඒ වෙන කවුරුවත් නොව කථානායකවරයාමය. මෙතුවක් කල් පා.ම. වීරවංස කළ ප්‍රකාශය කථානායකවරයා සනාථ කර ඇත.

පාත්‍රයක තබා තමන්ට පිරිනැමූ ජනාධිපති ධුරය ප්‍රතික්ෂේප කිරීමට කථානායකවරයාට තිබූ ශක්තිය අනිවාර්යෙන්ම අගය කළ යුතුය. විධායක බලතලවලට කෑදර වී එම තනතුර භාර ගත්තානම් රටේ ඇතිවිය හැකිව තිබූ තත්ත්වය සම්බන්ධයෙන් කථානායකවරයා මැති සභයට කළ අනතුරු ඇඟවීම කිසිදා අමතක කළ නොහැක.

මෙහිදී කථානායකවරයා තමන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවට පක්ෂව (එතුමන්ට එරෙහිව) ඡන්දය දුන් මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් පලකළ අදහස එතුමාගේ වචනයෙන්ම දැන ගැනීම සුදුසුය. “….ඉකුත් අරගල සමයේ මා හට විටින් විට දුරකථන ඇමතුම් ලබා දෙමින් ව්‍යවස්ථාව උල්ලංඝනය කොට හෝ මාගේ ප්‍රධානත්වයෙන් රජයක් පිහිටුවීමට බලපෑම් කළ අයද මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් තබා තිබීම මට පුදුමය ගෙන දෙන්නකි.”

කථානායකවරයා ප්‍රශ්න කර ඇත්තේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු පිරිසක් රටට එරෙහිව කුමන්ත්‍රණයේ කොටස්කරුවන් වූ බව නොවේද?

කථානායකවරයා කිසිම අවස්ථාවක වීරවංශ සහ වීරසේකර මන්ත්‍රීවරුන්ගේ නම් සඳහන් කරමින් අදහස් දැක්වීමක් ‘9: සැඟවුන කතාව’ එළිදැක්වූ 2023 අප්‍රේල් 25 දින සිටම කළේ නැත. නමුත් පසුගියදා එතුමා කළ අදහස් දැක්වීම තුළින් ශ්‍රී ලංකාවේ බල පෙරළිය විදේශීය අවශ්‍යතා මත ව්‍යවස්ථාවට පිටින් සිදුවූ බවට තේරුම් ගැනීමට කිසිදු අපහසුවක් නැත. විදේශීය අතපෙවීම් නොමැති බවට ප්‍රකාශ කරන පුද්ගලයන්ට පසුගිය වසරේ මාලදිවයිනේ පැවති ජනාධිපතිවරණයේදී චීනය සහ ඉන්දියාව කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් අධ්‍යයනයක් කළ හැකිය. තමුන්ට වාසිදායක තත්ත්වයක් තිබේ නම් රටට හෙණ ගැහුවත් ප්‍රශ්නයක් නැත. කවුරු බලයට පැමිණියත්, බලයේ සිටින කණ්ඩායම සහ කෙසේ හෝ බලය ලබා ගැනීමට තටමන කණ්ඩායම රටම බිල්ලට තබා තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමට කටයුතු කරන බව පැහැදිලිය.

හම්බන්තොට වරාය චීනය 99-වසර බද්ද ට 2017 දී ඉතාමත් අසාධාරණ ගිවිසුමක් හරහා ලබා ගැනීම අවධාරණය කරන්නේ ශ්‍රී ලංකාවේ අසරණ බවයි. ඇමෙරිකානු, චීන මෙහෙයුම් මෙන්ම ඉන්දියානු උපාය මාර්ගයටද ශ්‍රී ලංකාව නතුවී ඇත. ඉන්දියානු උපාය මාර්ගය ඇමෙරිකානු මෙහෙයුම සමඟ ගැළපෙන බව දේශපාලනය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙක් දන්නා කරුණකි. නමුත් ආණ්ඩුව සහ විපක්ෂය එම තත්ත්වය තේරුම් ගෙන ඇති ආකාරය පැහැදිලි නැත.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

advertistmentadvertistment
advertistmentadvertistment