අත් පා හා පපුවේ තද කැසීමකින් ජාඇල බාලිකා විදුහලක සිසුවියෝ 16ක් රෝහලේ

778

ජාඇල තුඩැල්ලේ පිහිටි ප්‍රසිද්ධ බාලිකා විදුහලක 11 වසරේ පන්තියක අධ්‍යාපනය හදාරමින් සිටි සිසුවියන් 16 දෙනකු පෙරේදා (20 දා) තම පන්ති කාමරයේදී අත් පා හා පපුවේ හිටි අඩියේ ඇතිවූ තද කැසිල්ලක් නිසා රෝගාතුර වී නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල්ගත කිරීමට සිදුවූ බව එම විදුහලේ විදුහල්පතිනිය පැවසුවාය.

සිද්ධිය වූ වහාම දැරියන්ගේ දෙමාපියන්ද ඒ පිළිබඳව දැනුවත් කර රෝගීවූ දැරියන් අතරින් 10 දෙනකු ජාඇල ප්‍රාදේශීය රෝහලටත්, තවත් 6 දෙනකු සීදූව විජය කුමාරණතුංග අනුස්මරණ රෝහලටත් ඇතුළත් කිරීමට කටයුතු කළ බව පාසලේ විදුහල්පතිනිය සඳහන් කර සිටියාය. සිද්ධිය උද්ගත වූයේ ජාඇල තුඩැල්ල නිමල මරියා බාලිකා විදුහලේය. එහි විදුහල්පතිනිය වන නිර්මලා කන්‍යා සොහොයුරිය පැවසුවේ, 11 වැනි වසරේ පන්තියේ එක ළඟ සිටි දැරියන් පිරිසක් ඇඟ කසන බව පවසමින් අපහසුතාවට පත්ව දඟලමින් කෑගසමින් සිටින බව දැන ගැනීමෙන් පසු වහා ක්‍රියාත්මක වී දෙමාපියන් දැනුවත්කොට ඔවුන් රෝහල් ගතකළ බවයි.

ජාඇල රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ලක්සිරි ලොකුලියන මහතා පැවසුවේ, දැරියන් හදිසියේ මේ අන්දමින් රෝගී තත්ත්වයට පත්වීමට හේතුව පුටු සහ මේසවල යම් විෂබීජයක් අන්තර්ගතව තිබීම විය හැකි බවයි. ජාඇල රෝහලට ඇතුළත් කර සිසුවියන්ගෙන් එක් අයකු රෝගය උත්සන්න වීම නිසා රාගම ශික්ෂණ රෝහලටත්, විජය කුමාරණතුංග රෝහලට ඇතුළත් කළ දැරියන් අතරින් එක් අයකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මීගමු මහ රෝහලටත් ඇතුළත් කිරීමට සිදුවූ බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. ජාඇල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂකවරුන් කණ්ඩායමක් පාසලට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු අරඹා ඇති බව ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී එස්. ජේසුනේසන් මහතා පවසා සිටී.
බී.ටී.කේ – ජාඇල අතිරේක

advertistmentadvertistment
advertistmentadvertistment