යාපනයේ ඓතිහාසික නත්තල

337

යාපනය ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ප්‍රධාන නගරය වෙයි. මෙම නගරය ඉතා ලස්සනය. මෙම නගරයට අයත් උප නගර රාශියක් ඇත. අරියාලෙයි, චුන්දිකුලම්, චුන්නාකම්, කොළොම්තර, ගුරුනගර, කයිනයි, කොක්කුවිල්, කොන්ඩාවිල්, කෝපායි, නාවක්කුලි, පංසායුර්, උරුම්පිරෙයි, වන්නාපරින්නෙයි ආදිය වේ. ශ්‍රී ලංකාවට ක්‍රි.ව. 1505 දී ගොඩ බැසි පෘතුග්‍රීසීන් ලංකාවේ පාලනය අල්ලා ගන්නා ලදී. යාපනයේ ඉතා සෞභාග්‍යමත් කෘෂිකාර්මික දියුණුවක්ද වූ සිදුවූ මෙහි කතෝලික දහම ද ක්‍රමක් ක්‍රමයෙන් පෘතුග්‍රීසීන් විසින් ප්‍රචලිත කරන්නට විය. මුහුදුබඩ පළාත් ඇතුළු නගර රාශියක් පාලනය කළ ඔවුහු 1618 වසරේ සිට යාපනයේ ද නිෂේධ බලපරාක්‍රමය යොදමින් අල්ලා ගෙන පෘතුග්‍රීසීන් විසින් එහි අණසක පතුරමින් සිය කඳවුරේ පාලනය පෘතුග්‍රීසි ජාතික පිලිප් ද ඔලිවේරා යටතේ පාලනය වන්නට විය. පසුව 1680 වසරේ දී පෘතුග්‍රීසින් පලවාහැර ලන්දේසීන් විසින් රට අල්ලා ගෙන පාලනය කිරීම සිදුවන්නට විය. ඉන් පසු කතෝලික ආගමට මරු පහර වැදෙන්නට පටන් ගත්තේ එතැන් සිටය. එය රුදු පාලනයක් විය. කතෝලික ආගම වැළඳ ගැනීම, කතෝලික ආගම ඇදහීම තහනම් විය. කිසිම පූජකවරයකුට නවාතැන් ලබාදීම දඬුවම් විඳිය යුතු වරදක් විය. මේ තහංචි රාශියක් තිබුණ ද යාපනයේ විසූ කතෝලික ජනයා තම විශ්වාසයේ ඇදහිල්ල තුළ දෙවියන් වහන්සේට සාක්ෂි දරමින් තම ආගමික කටයුතු හොර රහසේ වුවද සිදුකිරීම එකල සිදුවිය.

ඉන්දියාවේ ගෝව පුරයේ සැල්සෙට් නම් පෙදෙසේ සන්කෝලේ නමැති ගමේ වාසය කළ බ්‍රහක්මින් වංශික කොන්තනි පවුලක් විය. එම පවුලේ ක්‍රිස්ටෝපර් වාස් හා මරියා මිරැන්ඩාට උපන් තුන්වෙනි දරුවා වූයේ ජුසේ ළදරුවාය. ශ්‍රද්ධාවෙන් පිරි කිතුනු පවුලක ඉපදී ජුසේ නම් දරුවා හැදී වැඩී තම ළමා අවධිය පසුකරමින් සිටියහ. ඔහුට පූජකවරම් පතා යන ගමනක ආශාවක් වූයෙන් ඔහු දොමිනිකානු පියවරුන් විසින් පාලනය කළ ශාන්ත තෝමස් ඇක්වයිනස් සරසවියට ඇතුළත් වී ඉගෙනුම කළේය. 24 වියේදී තේවාචාරි පදවියක් ලබා, 1676 ගෝවේ ශාන්ත කැතරිනා ආසන දෙව්මැඳුරේදී පූජක වරම් දිනා පසුව ධර්මදූත කටයුතුවල නිරත වන්නට පටන් ගත්තේය. මේ වකවානුවේදී ජුසේවාස් පියතුමාට ශ්‍රී ලංකාවේ කතෝලික වැසියන් ආගමික පිපාසයෙන් පීඩා විඳින බව දැනගන්නට වූහ. ඒ නිසා අධිෂ්ඨාන පූර්වකව ලංකාවට ගොස් ආගමික උපස්ථාන කිරීමට ජුසේවාස් පියතුමා තීරණය කළේය. ජුසේවාස් පියතුමා සමග ජෝන් නමැති විශ්වාසවන්ත සේවකයකු සමග සිඟන්නෙකු මෙන් වෙස් වලාගෙන නැව් නැග ලංකාවේ යාපනයට පැමිණෙන්ට සැලසුම් කළ ද මුහුදේ ඇතිවූ කුණාටුවක් නිසා නැව මන්නාරම් ප්‍රදේශයට සැපත් විය. ජුසේවාස් පියතුමා සිඟමන් යැද ලද මුදල්වලින් කුස පුරවා ගෙන ශක්තිමත් වී ඊළඟට පැමිණි ලන්දේසි නැවකින් යාපනයට යන්නට විය. එහිදී පාචනය නමැති රෝගය වැළඳී මරු තුරුළට යන අවස්ථාවකට පත්වුණ ද පසුව දේව හස්තයකින් මෙන් සුවවී යාපනයේ සිල්ලාලෙයි නමැති ග්‍රාමයට පැමිණියේය. ඒ වසර 1689 වසර විය. එදා යාපා පටුනේ ඕලන්දයන්ගේ අධිරාජ්‍යය බලය පැවතිණි. ඒ කාලයේ යාපනයේ කොමසාරිස් ජනරාල් ධුරය දරමින් සිටියේ හැන්රි වැන්රි නමැත්තෙකුය. මොහු කතෝලික බැතිමතුනට ඉතාමත් අවාසනාවන්ත ලෙස පීඩා කළ අයකු විය. ඔත්තුකරුවන්ගේ පාලන කාලයක් වූ මේ අවධියේ තාඩන පීඩන අතර උරින් උර ගැටෙමින් කිතු ධර්මය ප්‍රචලිත කරන්නට ජුසේවාස් පියතුමා පියවර ගන්නට විය.

ශ්‍රී ලංකාවේ කතෝලිකයන්ට වසර 20කට වැඩි කාලයක් තුළ කතෝලික පූජා ප්‍රසාදිතුමෙකු දැක තිබුණේ නැත. බොහෝ කතෝලිකයන් තම ආගම හැර දමා ද සිටියහ. පුරාණ ශ්‍රද්ධාවන්තයෝද තම ආගම අත් නොහැර ගම් බිම්වල ජීවත් වූහ. යාපනයෙන් සැතපුම් දහයක් ඔබ්බෙන් පිහිටා තිබූ සිල්ලාලෙයි යන ග්‍රාමයේ බොහෝ කතෝලික බැතිමතුන් පිරිසක් වාසය කළ ගමක් විය. මෙහි පැමිණි ජුසේවාස් පියතුමා මෙම ග්‍රාමය තම ආගමික වාසස්ථානයක් මෙන් සකස් කරගෙන මෙම ග්‍රාමයේ වාසය කරමින් කතෝලිකයන්ට ඇප උපස්ථාන කරන්නට විය. උන්වහන්සේ පැමිණ අවුරුදු දෙකක් යන්නට පෙර කතෝලිකයන්ගේ චිත්ත ධෛර්ය කොපමණ දියුණු වී තිබුණේ ද කිවහොත් නත්තල් කාලයේදී ස්ථාන අටක දේව මෙහෙයන් ප්‍රසිද්ධියේම පවත්වන්නට තරම් ධෛර්යය සම්පන්න විය.

එකල ඕලන්ද කොමසාරිස් ජනරාල් ධුරය දැරූ වැන්රි ජුසේවාස් පියතුමා අල්ලා ගැනීමේ යෙදූ උපක්‍රම නිශ්ඵල වූයෙන් ක්‍රිස්තෝත්පත්ති නත්තල් රැයේදී උන්වහන්සේ අල්ලා ගැනීමට චර පුරුෂයන් අණයකර යවන්නට විය. 1690 නත්තල් රැයේ යාපනයේ ශ්‍රද්ධාවත් කිතුනුවන් ගෙවල් තුනක රැස්වී දිව්‍ය පූජාව සිදු කිරීමට වුවමනා සියල්ල සූදානම් කර ජුසේවාස් පියතුමා එනතෙක් ජපමාලය කියමින් සිටියහ. එකල වැන්රිගේ හමුදා භටයෝ හදිසියේ ඒ ගෙවල් වටලා පූජාසනය බිඳහෙළා, කුරුස ප්‍රතිමා ආදියට අපහාස කර එහි රැස්වී සිටි කිතුනුවන් තිස්දෙනෙක් පමණ අල්ලා ගත්හ. ඒ හේවා භටයෝ කිසිදු සරණක් නොකොට ගැහැනු, පිරිමි, බාල, මහලු හැම දෙනාම අල්ලා ගෙන යාපනයේ බලකොටුවට ඇදගෙන ගියහ.

පූජව රාත්‍රියෙහි අල්ලා ගන්නා ලද බැතිමතුන් වැන්රි ජනරාල් ඉදිරිපිටට කැඳවනු ලදුව ඔවුන්ට දඬුවම් කරන ලදී. එයින් අටදෙනෙක් මරණය දක්වා වද හිංසා විඳිමින් යාපා පටුනේ කොටුවී සිටියහ. කිසිවෙක් තම විශ්වාසය අධිෂ්ඨානය අත් නොහරිමින් දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය දැඩිව තරකර ගනිමින් ජීවිතාන්තය දක්වාම කල් ගෙවන්නට විය. මේ එදා හෙළ කිතුනු වීරයන් සේ සලකන ක්‍රිස්තු භක්තිකයන් ආදර්ශයට ගනිමින් ඒ විශ්වාසය මැද ජීවත් වූ කිතුනුවන් සිහිපත් කරමින් කඳුළු පිරි නත්තල අපි සිහිපත් කරමු. වෛරය, ක්‍රෝධය, පළිගැනීම නොව සාමයේ උදාර සංකේතයක් බඳු නත්තලකි. ඒ සාමයේ ගැලවුම්කරුවාණන් ගෙනා සාමයේ නත්තලක් උදා කරන්නට අපි කැපවෙමු.

මැක්සිමස් රෝයි පෙරේරා
ඥානාර්ථ ප්‍රදීපය ලේඛක සංසදයේ සභාපති

advertistmentadvertistment
advertistmentadvertistment