සුදුස්සන්ට සුදුසු තෑගි

783

(දූෂණ විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී දෙවන වර කියවීම නිමිත්තෙනි)

පුරාණයේදී මේ රටේ හෝ වෙනත් රටක ජීවත්වූ රජකු හා රට වැසියකු පිළිබඳ කතන්දරයකින් අද මේ තීරුව අරඹනු ලැබේ. මේ රජා අඹ කෑමට මහත් ආසාවක් දැක්වූ කෙනෙකි. ඒ අතර රටේ බලගතු නියඟයක් හටගනී. ඒ නිසා අඹ ගස් පමණක් නොව සෙසු සියලු ගස්ද වියළී දිරාපත්ව යයි. අඹ කෑමේ ආසාව මැඬගත නොහැකිව සිටින රජතුමා තමාට අඹ සැපයිය හැකි කෙනකුට ලොකු තෑග්ගක් දෙන බව අණ බෙර කරුවකු මගින් ප්‍රචාරය කරයි. රජ මාලිගය පිහිටි නගරයෙන් බොහෝ ඈත පිටිසරබද ගමකදී රට වැසියකු විසින් අණ බෙරකරු නවත්වනු ලැබේ. අවුරුද්දේ දවස් 365 ම රස අඹ හටගන්නා අඹ ගසක් මේ රට වැසියාගේ ගෙවත්තෙහි ඇත. රජුට අඹ සැපයීමට තමන්ට හැකි බව රටවැසියා අණ බෙරකරුට කියයි. අණ බෙරකරු හා පවත්වන ලද සංවාදයකින් පසු බෙරකරු රජ මාලිගයටත් රට වැසියා අඹ කැඩීමටත් යති. පසුවදා උදේ රස අඹ මල්ලක් කර තබාගෙන රජ මාලිගයට යන රටවැසියා මාලිගයේ ප්‍රධාන මුරකරු විසින් නවත්වනු ලැබේ. මල්ලෙහි ඇති අඹ දකින රජ වාසල මුරකරු රට වැසියාට රජුගෙන් ලැබෙන තෑගි තොගය ගැන කල්පනා කර රජ මාලිගය තුළට රට වැසියා යැවීමට නම් ලැබෙන තෑග්ගෙන් අඩක් පගාවක් වශයෙන් තමාට දියුයුතු බව රටවැසියාට පවසයි. රට වැසියා මෙයට එකඟ වේ. අඹ මල්ල දකින රජුගේ කටෙන් කෙළ වැගිරෙන්නට පටන් ගනී. මේ සඳහා ත්‍යාග වශයෙන් කුමක් අවශ්‍ය දැයි රජු වැසියාගෙන් විමසයි. වැසියා කියන්නේ තමන්ට දරුණු කස පහර 500 ක් අවශ්‍ය බවය. මේ කතාවෙන් රජු පුදුමයට පත්වේ. කස පහර 500 වෙනුවට ගම්වර 7 ක් තෑගී දීමට රජු කැමැත්ත පළ කරයි. එහෙත් රට වැසියා ඉල්ලන්නේම කස පහර 500 කි. අන්තිමේදී රාජකීය වධකයා කැඳවා රට වැසියාට කස පහර 500 ක් දෙන්නට පටන් ගනී. කස පහර යනු ඉතා දරුණු දඬුවමකි. නූතනයේද අරාබි රටවල ස්ත්‍රී දූෂකයන් සඳහා මේ දඬුවම දෙනු ලැබේ. කස පහර දෙන විට මුල් පහර තුනෙන් පසු එම පහර කන එකාට සිහි නැති වේ. ඉන්පසු පහර දීම නවත්වා එම තුවාලවලට බෙහෙත් දමා ඒවා සුව වූ පසු ඉතිරි පහර දීම අරඹයි. මෙවිටද වධයට නියම වූ එකා පහර තුන හතරක් කෑමෙන් පසු යළි සිහිසුන් වේ. මේ ආකාරයෙන් සිහිසුන් වෙමින් සහ සිහි ලබමින් පුරා දින හතක් තිස්සේ රට වැසියාට කසපහර දෙන ලදී. හරියටම කස පහර 250 ක් කෑමෙන් පසු රට වැසියා රජතුමා හමුවට ගොස් ඉතිරි කස පහර 250 රජ වාසල මුරකරුට දෙන ලෙස ඉල්ලයි. ඉන්පසු ඔහු මේ පිළිබඳ කතාවද රජතුමාට කියයි. රජවාසල මුරකරුද සිහිසුන් වෙමින් සහ යළි සිහිපත් වෙමින් ඉතිරි කසපහර 250 කයි. සාමාන්‍ය රට වැසියකු විසින් රජයේ නිලධාරියකුට පගාවක් දීම පිළිබඳ මේ සරල කතාව පැරණි රාජාණ්ඩු සමයට ගළපාගත හැකි නමුදු මෙකලදී කිසි ලෙසකින්වත් සාධාරණීකරණය කළ නොහැක. මේ නිසා අල්ලස් ඇතුළු දූෂණ මර්දනය කිරීම සඳහා විශේෂ නීති ක්‍රමයක් අවශ්‍යය.

ලංකාව අද වනවිට අතිශයින්ම දූෂිත වූ රාජ්‍යයකි. පාලකයාද අතවැසියාද රට වැසියාගෙන් සෑහෙන කොටසක්ද නිතරම උත්සහ කරන්නේ නීත්‍යනුකූල නොවන ආකාරයෙන් ගාණක් කපා ගැනීමටය. එසේ ගාණ කැපූ මන්ත්‍රීවරුන් ගැන සාක්ෂි සහිතව තොරතුරු අප ළඟ තිබේ. මේ දිනවල ශ්‍රී ලංකාවට ණය දෙමින් සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉල්ලීම පරිදි මෙරට දූෂණ මැඬීමේ යාන්ත්‍රණයක් වශයෙන් අලුත් දූෂණ විරෝධී පනතක් සම්මත කරගැනීමට ආණ්ඩුව මේ දිනවල කටයුතු කරගෙන යයි. මේ පනතේ දෙවන වර කියවීමද පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදුවිය. මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මෙයට අවුරුදු 50 ට පමණ පෙර 2% න් තුනෙන් පටන්ගත් පගා කෙළිය අද වනවිට 10% දක්වා ඉහළ නැග තිබේ. එහෙත් අප වෙල්ගම මහතාට කියන්නේ අද මේ කියන පගා ප්‍රතිශතය 30% දක්වා ඉහළ නැග ඇති බවය. ඇතැම් දේශපාලනඥයෝ පිටරටින් මෙහි ගෙනෙන ඇතැම් යෝජනා ක්‍රම සඳහා කෙළින්ම 30% ක පගාවක් ඉල්ලති. ඔවුන් ඒ පගාව ඉල්ලන්නේ තමන්ගේ ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා යැයි කියමිනි. මීට කලකට පෙර කැලණියේ සිටි එක්තරා දේශපාලනඥයෙක් කැලණි පුබුදුව නමින් පදනමක් පිහිටවා පළාතේ සිටින සියලුම ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ගරන්නට පටන් ගත්තේය. ඒ අනුව රුපියල් ලක්ෂ 10 ක පමණ ව්‍යාපෘතියක් කරන ව්‍යාපාරිකයකු කැලණි පුබුදු පල් හොරාට රුපියල් ලක්ෂ දෙකක් හෝ තුනක් දියයුතු විය. එසේ නොදුන්නොත් ඒ ව්‍යාපාරය කරගෙන යෑමට අදාළ ව්‍යාපාරිකයාට ඉඩක් නොලැබේ. මෙබඳු දේශපාලන පදනම් විශාල ප්‍රමාණයක් අද මේ රටේ ඇත. ඒවාට නායකත්වය දෙන දේශපාලනඥයෝ ව්‍යාපාරිකයන්ගෙන් කඩාගන්නා මුදල් ස්වකීය දේපළ වැඩි දියුණු කිරීමටත් දූ දරුවන් පිට රට යවා ඉගැන්වීමටත් පාවිච්චි කරති. මීට කලකට පෙර අත්තනගල්ලේ කොළඹ නුවර පාර දෙපස රඹුටන් අලෙවි කළ වෙළෙන්දන්ගෙන් පගා ගැනීමේ ක්‍රමයක් එක්තරා මන්ත්‍රී කෙනකු විසින් පටන්ගන්නා ලදී. එහෙත් පසුගිය ඡන්දයේදී මේ මන්ත්‍රීතුමා වැලේ වැල් නැතිවන තරමට පරාජයට පත්විය. තිරිසන්නු මෙවැනි දේශපාලනඥයන්ට වඩා ඉදිරියෙන් සිටිත්. උන් කවදාවත් පගා ගන්නේ නැත.

තියෙන කරදර මදිවාට ශ්‍රී ලංකාව දූෂිත රටක් නොවන බව ඔප්පු කරගැනීම සඳහාද දැන් වෙනම වැඩපිළිවෙළක් අවශ්‍ය වී ඇත. තිබෙන සිස්ටම් එක දූෂිත බව කියන යුරෝපීය රටවල් නිකම් පොලියට නොව ගිනි පොලියට පවා අපට ණය දීම ප්‍රතික්ෂේප කරති. ඩොලර් බිලියන 3 ක ණයක් අපට නිකුත් කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, අරමුදලේ ඊළඟ වාරිකය ගෙවීමට පෙර රටේ දූෂණය නැති කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ඉල්ලමින් අපට බලකර ඇත. මේ කතාව අදට මෙතකින් නිමකරනු ලැබේ. එහෙත් මතු දිනකදී මෙහි ඉතිරි ටික මීට වඩා විවෘත ලෙස නම් ගම් සහිතව සාකච්ඡා කරනු ලැබේ. එවිට ඉතුරු කස පහර 250 එම නම් ගම් හිමි පුද්ගලයන් අතර බෙදා හැරීමට ආණ්ඩුවට හැකි වන්නේය.

advertistmentadvertistment
advertistmentadvertistment