ඓතිහාසික නඩු තීන්දුවේ දේශපාලන සංඥාව!

5061

මේ දිනවල සියලුම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල ප්‍රමුඛ අවධානය යොමුව තිබෙන්නේ පළාත් ගණනාවකම ජනතාව අසරණ බවට හා පීඩනයට පත් කරමින් සිදුවන මහ වැසි හා ගංවතුර අනතුරු කෙරෙහි ය. නායයෑම්, නිවාස ගිලා බැසීම් මෙන්ම මාරක ගස් අනතුරු ගැන ද හද කම්පා කරවන පුවත් ඇසෙයි. ඒ බොහෝ විපත්වලට වගකිව යුතු අවිධිමත් ඉදිකිරීම් හා ඒවාට මැදිහත් වූ දේශපාලන මුග්ධයන් ගැන ද ජනතාව කතා කරන්නේ දෙස් දෙවොල් තබමින් ය. එහෙත් වැසි අඩු වී ගංවතුර බැස යෑමත් සමගම බොහෝ විට ඒවායේ පීඩිතයන් බවට පත් වූ ජනතාව ගැන බලධාරීහු කතා කරති යි සිතිය හැකිද? මේ සකලවිධ පීඩා, විපත් කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු කරවමින් ම අප විසින් මෙම තීරුව සඳහා තෝරා ගන්නා ලද්දේ සමස්ත පුරවැසියන්ගේ මෙන්ම සමාජ – ආර්ථික හා දේශපාලන ක්‍ෂේත්‍රවල ප්‍රාමාණිකයන්ගේ ද සංවාදයට ලක් විය යුතු පුවත් කීපයකි. එකක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට ලබාදීමට නියමිතව තිබෙන ණය වාරිකයේ දෙවන කොටස නිදහස් කිරීම ප්‍රමාද කිරීමයි. අනෙක ඉකුත් 06 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන ලද ඓතිහාසික නඩු තීන්දුවය.

මේ වන විටත් උද්ගතව තිබෙන කාලගුණ කැලඹිලිවල පීඩනයත් ඒවාට ගොදුරු වී සිටින ජනතාවගේ දුක් ගැහැටත් හේතුකොට ගෙන මෙම සංවාද තරමක් යටපත් වී තිබෙන බව ද රහසක් නොවේ. එහෙත් මේ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව මෙරටේ දේශපාලන සංස්කෘතිය ලෙස අප දකින අවිචාර හා දූෂිත චර්යාවන් අභියෝගයකට ලක් කරන්නකි. ප්‍රජාතන්ත්‍රවාදය, ජනමතය වැනි අසාමාන්‍ය වටිනාකම් සමඟ සෙල්ලම් කරන්නා වූ ද ලාභ ප්‍රතිලාභ වෙනුවෙන් මහජනවරම අගතියට හෙලන්නා වූ ද, රටකට මෙම නඩු තීන්දුව හැරවුම් ලක්‍ෂ්‍යයක් වනු ඇතැයි අප තුළ කිසියම් අපේක්‍ෂාවක් ද ඇත. දැනටමත් අපේ දේශපාලන කෞටිල්‍යයන් මේ විශිෂ්ට ශ්‍රේෂ්ඨාධිකරණ නියමය නොතකා හැරිය හැකි ක්‍රම සහ විධි ගැන සොයමින් සිටිනු ද විය හැකිය. එහෙත් ඒ ඓතිහාසික තීන්දුව විසින් බොහෝ දේශපාලන චරිත පමණක් නොව දේශපාලන බල කඳවුරු ද තිගැස්සීමකට ලක්කර තිබෙන බව නිසැකය. කුමක්ද ඒ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව?

මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්ව, ආණ්ඩුවට එක්ව පරිසර ඇමැති ධුරය ද හොබවන නසීර් අහමඩ් පක්‍ෂයෙන් නෙරපා දැමීමට එම පක්‍ෂයේම උත්තරීතර මණ්ඩලය විසින් ගන්නා ලද තීරණය තහවුරු කරමින්, එය නිවැරදි බවට ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කර තිබේ. මෙම මන්ත්‍රීවරයා තම පක්‍ෂයේ අභිමතයට පටහැනිව 2022 දී ආණ්ඩුව ඉදිරිපත් කළ අයවැය විසර්ජන කෙටුම්පතට පක්‍ෂව ඡන්දය ලබා දී තිබුණි. එහි ප්‍රතිඵලය වූයේ මන්ත්‍රීවරයා පක්‍ෂයෙන් ඉවත් කිරීමට ක්‍රියා කිරීමය. නසීර් අහමඩ් අධිකරණයට ගියේ එම නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලමින් ය. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණයෙහි මතය වූයේ ඔහු වෙනුවෙන් පක්‍ෂය විසින් ගන්නා ලද තීරණය නිවැරදි බවය. දැනට වාර්තා වී තිබෙන ආකාරයට මෙම තීන්දුව නිසා නසීර් අහමඩ්ගේ මන්ත්‍රී ධුරය ද අහිමි වනු ඇත. මෙම සඳුදා (09 දා) අපගේ සහෝදර The Island පුවත්පතෙහි ප්‍රවෘත්ති කර්තෘ ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු විසින් ලියන ලද මුල් පුවත වූයේ ද මෙම ඓතිහාසික නඩු තීන්දුව සම්බන්ධයෙන් මුස්ලිම් කොංග්‍රසයේ ලේකම් නිෂාම් කාරියප්පර් කළ අනාවරණයකි. ඔහුට අනුව මෙවර ඉදිරිපත්වන අය – වැය ඡන්දයේදීත් මෙහි බලපෑමක් දැකගත හැකි වේ. කුමක් වුවත් මේ වන විට පක්‍ෂ මාරු කර සිටින කා තුළත් මෙම නඩු තීන්දුව නිසා කිසියම් කම්පනයක් හෝ චකිතයක් ඇතිවනු නොවැළැක්විය හැකි ය.

කෙසේ හෝ වේවා මේ වන විට අපේ දේශපාලනය, විටෙක විගඩමක් ද තවත් විටෙක මුදලට විකිණෙන දූෂිත මෙවලමක් ද ලෙස බොහෝ දෙනකුගේ නිර්දය විවේචනයටත්, චෝදනාවලටත් ලක්ව තිබෙන්නකි. ඒ දේශපාලනයේ ඇතුළත කතාව නාස්පුඩු හකුළුවන දුගඳින් පිරුණු එකකි. එනිසාම අපේ සමාජ ආර්ථිකය ප්‍රමුඛ බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී හා මානව වටිනාකම් පද්ධතිය ද විනාශයට ලක්ව තිබේ. ජනතා අභිලාෂයන්ට පටහැනිව ඒ ජනතා වරම අගතියට ලක් කිරීමට දේශපාලනඥයන් ඉදිරිපත් වූයේ ද එයට ලැබෙන නීතිමය ආවරණය නිසා බව ද නිසැකය. ජනතාව විසින් මෙම පිල් මාරුව හෙවත් පක්‍ෂයෙන් ඉවත්වීම හඳුන්වන ලද්දේ ගෙඹි පිම්මක් ලෙස ය. එහෙත් ඒ ගෙඹි පිම්ම රටට කෙසේ වුවත් පනින්නාට ලාභ, වරප්‍රසාද ලබා දෙන්නක් බව ද රහසක් නොවේ.

ඉහත ද සඳහන් කළ පරිදි පක්‍ෂ මාරුව නැතහොත් පිල් මාරුව යනු ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ලෙස ද පිළිගනු ලැබේ. එහෙත් එය භාවිත කළ යුත්තේ, ලාභ ප්‍රතිලාභ වරප්‍රසාද වෙනුවෙන් නොව ප්‍රතිපත්ති මත පදනම්ව ය. බණ්ඩාරනායක අගමැතිට ද එබඳු ගැටුම්වලට මුහුණදීමට සිදුවී ඇත. ඒවා කුඹුරු පනත හා ජනසතු ව්‍යාපාර නිසා උද්ගත වූ බව ද සඳහන් වේ. පසුව 1964 දී සිරිමා බණ්ඩාරනායකගේ රජය පෙරළා දමන ලද්දේත් එම පක්‍ෂයේ ම සිටි සී. පී. ද සිල්වා ප්‍රමුඛ කණ්ඩායමක් පක්‍ෂයෙන් ඉවත්වීමෙන් බව ඉතිහාසයේ සඳහන්ව තිබේ. එහිදී මුදල් ගනුදෙනු සිදුවූ බවට චෝදනා පවා නැඟුණි. අනතුරුව සමගි පෙරමුණ ලෙස වමේ සහාය ද සමග අගමැති ධුරයට පත්වූ සිරිමාවන්ට යළිත් පක්‍ෂය තුළ උද්ගත වූ ගැටුම්වලට මුහුණදීමට සිදුව අත. 1975 දී සමසමාජය ආණ්ඩුවෙන් නෙරපා දැමූ ඇයට තම පක්‍ෂයේ තවත් පිරිසක් ඉවත්වීම බලවත් ප්‍රශ්නයක් ද විය. 1977 දී සිරිමාවන්ට මුහුණදීමට සිදුවූයේ සිය දේශපාලන ජීවිතයේ අප්‍රසන්නතම පරාජයකටය. හැත්තෑ හතේ බලයට පත් ජේ. ආර්. ජයවර්ධන ඒ සියලු දේශපාලන ක්‍රියාන්විතවලට මුල් වූ චරිතයකි. හැත්තෑව දශකය වන විට ගොජ දමමින් තිබුණු දේශපාලන කැඳහැළිය ඉවත දැමූ ජනතාව එ.ජා.ප. නායක ජේ. ආර් ට ඓතිහාසික ජනවරමක් ද ලබා දුන්හ.

ජයවර්ධන යුගය අලුත් දේශපාලන සංස්කෘතියක් හා ආර්ථික සමෘද්ධියක් ලබා දෙනු ඇතැයි සමහරු කල්පනා කළහ. එහෙත් ඒ අපේක්‍ෂා ගිලිහී යමින් රට දේශපාලන හා සංස්කෘතික කාන්තාරයක් බවට පත්වෙමින් තිබිණි. විශේෂයෙන් ජයවර්ධන විසින් හඳුන්වා දෙන ලද විධායක ක්‍රමය මෙන්ම මැතිවරණ රටාව ද මහා විනාශයක ආරම්භය වූ අයුරු අද පැහැදිලිව දැකගත හැකිය. ජයවර්ධනගේ විධායකයට හා සමානුපාතික ඡන්ද ක්‍රමයට අද තිබෙන විවේචන සුළුපටු නැත. ඔහු හඳුන්වා දුන් නව මාදිලියේ ලැයිස්තු ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි වන ආකාරය අද අපට පසක් කරගත හැකි වී තිබේ. ජයවර්ධනගේ ඡන්ද ක්‍රමය සටකපට ලෙස ස්වාධීන මන්ත්‍රීවරුන් දේශපාලන භූමියෙන් පිටුවහල් කරන ලද්දක් බව මෙම ව්‍යවස්ථාව සම්බන්ධ විවේචනාත්මක විශ්ලේෂණයක් කළ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා පෙන්වා දී තිබේ. අතුරු මැතිවරණ අවලංගු කර ජනතාව ප්‍රතික්‍ෂේප කළ පුද්ගලයන්ට මන්ත්‍රීවරම් ලබා දීමට ද මෙහි නීතිමය විධිවිධාන සකසා තිබේ. මැතිවරණයකින් පසු ජනතාවගේ තීරණ වෙනස් විය හැකි වුවත් මන්ත්‍රීවරයකු ලෙස පත්වූ අය වෙනුවට අලුතින් කෙනතු පත්කර ගැනීමේ අවස්ථාව ද මෙමගින් අහෝසි කළ බව ආචාර්ය ඇන්. ඇම්ගේ විවේචනයයි.

මේ වන විට ජනතාවට ආණ්ඩුව වෙනස් කිරීමට ඇති එකම අවස්ථාව මහ මැතිවරණය පමණි. අතුරු මැතිවරණ යනු එක් අතකින් පවතින ජනමතය පිළිබඳ පාලකයන්ට දැනුම් දෙන්නකි. එහෙත් එයට ඉඩක් නුදුන් ජයවර්ධනගේ ක්‍රමය අදත් එලෙසම පවත්වාගෙන යෑමට සිදුව තිබේ. ඒ විධායක ක්‍රමය වෙනස් කරන බවට ජනතාව රැවටූ දේශපාලන නායකයන්ගේ වරද නිසා ය.

ඓතිහාසික නඩු තීන්දුවේ දේශපාලන සංඥාව!

ජයවර්ධන ව්‍යවස්ථාවෙන් ආදේශ කරන ලද සමානුපාතික නියෝජන ක්‍රමය කිසිසේත් මන්ත්‍රීවරයකුගේ අභිමානයට හේතු නොවන්නක් බව ද සමහරුන්ගේ විවේචනයකි. එය අපේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම දෙදරවන්නක් බව ද ඔවූහු පෙන්වා දෙති. මේ අනුව පත්වන මන්ත්‍රීවරයා පක්‍ෂ නායකත්වයෙහි වහලකු හෝ රූකඩයකු බවට පමුණුවා තිබේ. එදා ජයවර්ධන තම පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් දාතම රහිත ඉල්ලා අස්වීමේ ලිපි පවා ලබාගෙන තිබුණු බව ඒ ඉතිහාසය දන්නෝ දනිති. කුමක් වුවත් ජයවර්ධනගේ පක්‍ෂය තුළම පසුකාලීනව අර්බුද මතුවිය. ලලිත්, ගාමිණී, ප්‍රේමචන්‍ද්‍ර ඇතුළු කණ්ඩායමක් ප්‍රේමදාස පාලන සමයෙහි පක්‍ෂයෙන් ද විසිවී ගිය බව අපට මතකය. චන්‍ද්‍රිකා මෙන් ම මහින්දට ද තම ආණ්ඩුවල සිටි ඇතැම් අය ඉවත් කිරීමට පවා හැකි වී තිබේ.

පාර්ලිමේන්තුවට තේරී පත්වන මහජන නියෝජිතයන්ගේ වගකීමක් ද අද නැත. ඔහු පක්‍ෂයට විනා ඡන්ද කොට්ඨාසයට වගකීමට බැඳී නැත. කොටින්ම තම ආසනයෙන් ප්‍රතික්‍ෂේප වන අයකුට දිස්ත්‍රික්කයේම ඡන්ද එකතු කරගෙන මන්ත්‍රී වීමට ද මේ ක්‍රමය ඉඩ සලසා තිබේ. එමගින් සිදුවන්නේ මන්ත්‍රීවරයා හා ඡන්දදායකයා අතර වූ සබඳතාව බිඳී යෑමකි. ඡන්ද කොට්ඨාසයට හෙවත් ආසනයට වගකීමක් නොමැති මැතිවරණ ක්‍රමය නිසැකයෙන් ම මේ රටේ ජනතාව භාවිතා කරන ලද අයිතිය අහෝසි කිරීමකි. එසේම මෙම ක්‍රමය අතිශයින් දූෂිත ඡන්ද ව්‍යාපාරයක් බවට ද පත්ව තිබේ. ජනතාව මුලින්ම කැමැත්ත දෙන්නේ පක්‍ෂයට ය. බොහෝ විට පක්‍ෂයකින් නාමයෝජනා ලැබෙන්නේ දුසිරිත් වැඩූ ඒ සියල්ල මුදලින් වසා ගත් අපතයන්ට ය. සල්ලි විසිකර සල්ලි සෙවීම අද දේශපාලනයේදීත් සිදු වන්නකි.

මහින්ද ජනාධිපතිව සිටි සමයේදී ආණ්ඩුවට එක්වූ බොහෝදෙනකු ප්‍රකාශ කළේ ඔහුගේ දෑත් ශක්තිමත් කර රට වෙනුවෙන් කැපවීමට ඔහු සමඟ එක් වූ බව ය. මැතිවරණ වේදිකාවල අවලාද අපවාද නඟමින් පසමිතුරුව සිටි අය එලෙස පක්‍ෂ මාරුකිරීමෙන් පසු හැසිරෙන ආකාරය කෙතරම් ප්‍රාථමික ද? අද ජනාධිපති රනිල්ට සහාය දෙන ස.ජ.බ. මෙන්ම ශ්‍රී ල.නි.ප. මන්ත්‍රීවරුන්ගේ තත්ත්වය කුමක් ද? මොවුන්ට ජනතාව අතර තිබෙන ප්‍රසාදය කෙබඳු ද? පක්‍ෂය අතහැර ආණ්ඩුවලට එක්වූ අයට හිමි වූ වරප්‍රසාද මල්ල අති විශාලය. සමහරුන්ට එල්ල වී තිබුණු චෝදනා පමණක් නොව නඩු හබ ද අහෝසි විය. පක්‍ෂවල ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරුන් වන අය පවා ඒ දේශපාලන ගෙඹි පිනුම් නිසා බලවත් චරිත බවට පත් වූහ. මේ සියල්ල තුළින් පෙනී යන්නේ පක්‍ෂවල විනය සම්මුතීන් නොතකා ක්‍රියා කිරීමටත්, එයින් දේශපාලන වරප්‍රසාද ලබා ගැනීමටත් හැකි වූ බව ය.

මේ පසුබිම දන්නා යුක්තිගරුක පුරවැසියන්ට මෙම අධිකරණ තීන්දුව ඉමහත් අස්වැසිල්ලක් වනු ඇත. තමන්ගේ ඡන්ද ලබාගෙන පක්‍ෂය හෝ ප්‍රතිපත්ති නොතකා ආණ්ඩුවලට හේත්තු වන අයට පිළිතුරු දීමට හැක්කේ ද මැතිවරණයකදී පමණි. එහෙත් අද මැතිවරණ නැත. පක්‍ෂ ක්‍රමයම දියවී යමින් තිබේ. ඇතැම් මන්ත්‍රීවරුන්ට මිලියන ගණනින් ගෙවිම් කරන බවට විවෘත චෝදනා ද වේ. ඒවා සත්‍ය නම් මේ රටට එබඳු දේශපාලනයකින් සෙතක් සැලසේ ද? දේශපාලනය බඩ රක්‍ෂාවක් කරගෙන චුතව යෑමට මේ ක්‍රමය තුළ ඕනෑ තරම් ඉඩ තිබේ. ඇත්තටම පක්‍ෂවලින් පැනීම හෙවත් පිල් මාරුව සම්බන්ධයෙන් සමාජයේ තිබෙන විවේචන බරපතළ ය. මිලියන ගණනින් මුදල් හුවමාරු වන දේශපාලනයක් රටක තිබීම ප්‍රජාතන්ත්‍රවාදයේ සරදමකි. එහෙත් ප්‍රතිපත්තියක් නැති, දේශපාලන වාචාලයෝ එබඳු මෙහෙයුම් නිසා සමාජ මතුමහලට නැඟ සිටිති. ඛේදවාචකය එයයි. එය තමන්ට බලය දුන් පක්‍ෂයට මෙන්ම ජනතාවට ද කොකා පෙන්වීමක් වැන්න.

රටේ ජාතික විපතකදී පොදුජන ප්‍රශ්නයකදී දේශපාලන බැඳීම්, පක්‍ෂ, පාට නොතකා එක්වීම අපි අගයමු. එහෙත් මෑත සිදුවූ බොහෝ පිල්මාරු කිරීම් එබඳු ජාතික මිනුම් දණ්ඩකින් මැන බැලිය නොහැකිය. සමහරුන් කල්පනා කළේ යළිත් බලයක් ලැබීම අවිනිශ්චිත නිසා දේශපාලන කරණමක් ගසා ගොඩයෑමට ය. රටට හෙණ වැදුනත් උන්ට සහ උන්ගේ පවුල්වලට දේශපාලනය කප්රුකක් කර ගත හැකි කෙටි මාර්ග ඔවූහු තෝරා ගනිති. ඒ දේශපාලන සූදුව, ප්‍රජාතන්ත්‍රවාදය අවභාවිතා කිරීම අවසන් නොකර අපට රටක් ලෙස ඉදිරියට යා නොහැකිය. වචීපරම දේශපාලඥයන් පලවා හැර අලුත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් අප කැප විය යුතු කාලය උදා වී තිබේ.

මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපතිනි මහාචාර්ය දීපිකා උඩුගම, මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අපේ දේශපාලනය පිරිපහදු කර ගැනීමටත් අලුත් සංස්කෘතියකට දුන් අපේක්‍ෂාවක් ලෙසත් දකී. නිසැකයෙන්ම එය ඓතිහාසික තීන්දුවකි. ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි අපගේ ඇල්ම, බලාපොරොත්තුව වඩවාලන්නකි. දැන් ඉතින් හොරුන්ට තක්කඩියන්ට ලේසි වෙන එකක් නැහැයි ජනතාව ද කියනු ඇත. පාවාදීම්, මුළා කිරීම් වෙනුවට යහපත් දේශපාලන සංස්කෘතියක සංඥාවක් රටට ලැබී තිබේ.

අවසන් වශයෙන් මේ දිනවල සමාජ, දේශපාලන, ආර්ථික අංශවල අවධානයට ලක්ව තිබෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මේ රට සම්බන්ධයෙන් දක්වන ලද ප්‍රතිචාරය ගැන ද යමක් කිව යුතුය. එය පැහැදිලිවම අපේ මුග්ධ දේශපාලනයත්, එය වටා තිබෙන දූෂණ හා වංචනික ක්‍රියාදාමයත් පිළිබඳ මෘදු විවේචනයකි. අපට ඔවුන් විසින් ලබාදෙන ලද ඉලක්ක සපුරාලීමට නොහැකි වුයේ ද ඒ දූෂිත දේශපාලනය නිසා බව ඔවූහු තේරුම් ගෙන සිටිති. වත්කම්-බැරකම් ප්‍රකාශ නොදීම, බදු හොරුන්ට ඉඩදීම, අක්‍රමිකතා පෙර පරිදිම සිදුවීම මූල්‍ය අරමුදල නිවැරදිව තහවුරු කරගත් දුර්වලතා අතර වේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 කින් තම වත්කම් ප්‍රකාශ ලබා දී ඇත්තේ 12 ක් වැනි පිරිසකැයි වාර්තා වේ. කුමක් වුවත් තවදුරටත් මේ ගර්හිත දූෂිත දේශපාලන චක්‍රය පවත්වාගෙන යා නොහැකි බව ආණ්ඩුව ද තේරුම් ගත යුතුය. තම බලය තහවුරු කර ගැනීමටත්, විවේචකයන්ගේ කටවල් වැසීමටත් ආණ්ඩුව නීති සම්පාදනය කළත් මේ පවතින ක්‍රමය වෙනස් කිරීම සඳහා කිසිදු ප්‍රයත්නයක් ආණ්ඩුව නොදරන බව ද ඔවුන්ගේ ප්‍රකාශන තුළ සටහන්ව ඇත. විපක්‍ෂයේ ආචාර්ය හර්ෂ, සුරාබදු වංචා ගැන මාධ්‍ය හමුවකදී කළ අනාවරණ නොතකා හැරිය නොහැකිය. ජා.ජ.බ. අනුර කුමාර තවත් හෙළිදරව්වක් කරයි. ඒ විධායක ජනාධිපති ධුරය අහෝසි කර පාර්ලිමේන්තුව හරහා තවදුරටත් එම බලය අතට ගැනීමේ ක්‍රියාදාමයක් ලෙස ඔහු හඳුන්වයි. ඒ පිළිබඳ බැසිල් හා ජනාධිපති අතර සාකච්ඡාවක් සිදු වූ බව ද ඇතැම් මාධ්‍යවල දක්වා තිබුණි. එහි ඇඟවුම කුමක් ද?

ඇත්තටම අද රට තිබෙන්නේ යහපත් තැනක නොවේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වුවද අපට උදව් කරන්නේ ඔවුන් විසින් පෙන්වා දෙන ලද ඉලක්ක සපුරා ගතහොත් පමණි. මෙම මූල්‍ය අරමුදලේ මැදිහත්වීම් සම්බන්ධයෙන් ද විවේචන තිබේ. ආර්ථික ප්‍රතිසංස්කරණ කෙබඳු වුවත් ඒවා බොහෝ විට ජනතාවට පීඩාකාරී දේවල් විය හැකිය. ආර්ථික අර්බුදය වෘත්තිකයන්ට මෙන්ම සමාජයේ විවිධ ජන කොටස්වලට බලපාන ඔවුන්ගේ ජීවිත කඳුළක් බවට පත්කරන සුළු විපතක් වී තිබේ. මේ ඇමැතිවරුන්ට මෙන්ම බලයේ සිටින පොහොට්ටු පක්‍ෂයට ද ජනතාව තුළ ඇත්තේ අප්‍රසාදයකට වඩා පිළිකුළකි. පොහොට්ටුවේ නායකයා වන මහින්දගේ මුවින් පිටවන්නේ ද මූල්‍ය අරමුදල කියන කියන දේවල් නොකළ යුතු බවත්, ආණ්ඩුව ජනතාවට සහන සැලසිය යුතු බවත් ය. විදුලි බිල ඉහළ ගියහොත් එය ගෙවීම තමන්ට ද දුෂ්කර බව ඔහු පවසා තිබේ. ඒවා හුදු සරල ප්‍රකාශ ද? ගැඹුරු දේශපාලන අත්දැකීමෙන් කෙරෙන විග්‍රහයන් ද යන්න. අපට කිව නොහැක. පෝස්ටර් කටවුට් ආදියට ජනාධිපතිවරයාගේ රූපය යොදාගැනීම තහනම් කිරීම වැනි දේශපාලන සෙප්පඩ විජ්ජාවලින් පමණක් ජනතාව තෘප්තිමත් කළ හැකිද?

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment