ඉන්දියාව, ක්‍රිකට් හා සිංහලයෝ

1028

ලෝක කුසලාන ක්‍රිකට් ක්‍රීඩා තරගය අවසානයේ මහරගම රතිඤ්ඤා පත්තු කෙරුණා. මා ළඟ රතිඤ්ඤා නැහැ. ඒ රතිඤ්ඤා පත්තු කළේ ඔස්ටේ්‍රලියාවේ ජයග්‍රහණය වෙනුවෙන් නො වෙයි. ඉන්දියාවේ පරාජය වෙනුවෙන්.

අපට අද බලවත් ම තර්ජනය ඉන්දියාවෙන්. මෝදිගේ හින්දු ජාතිකවාදය ලෝකයේම මුස්ලිමුන්ට පමණක් නොව සිංහල අපටත් ප්‍රශ්නයක්. ජාතිකවාදය හොඳ නමුත් එය අනෙක් අයට තර්ජනයක් වන ලෙස යොදා ගැනීම වැරදියි. මෙරට පඬි නැට්ටන් කියන පරිදි නොව සිංහල බෞද්ධයන් අන් අයට තර්ජනයක් නො වෙයි. අද බටහිරට ගිහින් බලන්න. එක් පැත්තකින් යුදෙව්වන්ට විශ්වවිද්‍යාලවලම තර්ජන. තවත් පැත්තකින් මුස්ලිමුන්ට ප්‍රශ්න. මෙරට ප්‍රශ්නය ඇත්තේ සිංහලයන්ට. විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට. අද උතුරු හා නැගෙනහිර පළාත්වලින් සිංහලයන් එළවීමට දෙමළ ජාතිවාදීන් කටයුතු කරනවා. එහි පිටුපස ඇත්තේ ඉන්දියාව.

මෙරට සිංහලයන් ඉවෙන් මෙන් දන්නවා ඉන්දියාවේ තර්ජනය. සිංහලයන්ට හිතවත් භාරතයේ (දඹදිව) උපත ලත් තුන් දෙනකු ගැන කියන්න පුළුවන්. පළමුවෙන් බුද්ධත්වයට පත් සිද්ධාර්ථ කුමරු. දෙවනුව මිහිඳු මා හිමියන්. තෙවනුව සංඝමිත්තා මෙහෙණින් වහන්සේ. බුදුදහම දැනුමත් අත්හැරීමට උගන්වන දහමක්.

මිහිඳු හිමියන්ට පෙර මෙරට බෞද්ධයන් සිටි බවට සැකයක් නැහැ. එහෙත් මිහිඳු හිමියන් තමයි අපට නිල වශයෙන් බුදුදහම හඳුන්වා දුන්නේ. උන්වහන්සේ බුදුදහම අපේ සංස්කෘතියට අවශෝෂණය කළා. අපට බෝධි වන්දනාව ලැබුණේ උන්වහන්සේ එසේ කළ නිසා. සංඝමිත්තා මෙහෙණින් වහන්සේ තමයි අපට බෝධීන් වහන්සේ දඹදිවින් ගෙනැවිත් දුන්නේ. මියන්මාහි බෝධි වන්දනාවක් නැති බව ඊනියා බෞද්ධ සභ්‍යත්වයක් ගැන කතා කරන්නන් දැන ගත යුතු කරුණක්.

තුන්වැනි හතරවැනි සියවස් වන විට මෙරට භාරතීය බලපෑම වැඩි වුණා. මහාවිහාරයට මෙන් ම අභයගිරියටත් දඹදිව බලපෑම ඇති වුණා. දඹදිවින් ථෙරවාදී අදහස් මහාවිහාරයටත් ථෙරවාදය සමග වෙනත් බෞද්ධ අදහසුත් අභයගිරියටත් ලැබුණා. අපේ නිර්මාණශීලීත්වය යට ගියා. පස්වැනි සියවසින් පසු අපෙන් ලෝකයට ගිය දෙයක් නැහැ.

අප දඹදිවින් පැමිණි මිනිසුන් ලෙසට මතයක් සමාජගත කෙරුණා. එහෙත් අද ඉන්දියාව සිංහලයන් තම නෑයන් ලෙස සලකන්නේ නැහැ. ඔවුන් විවිධ දෙමළ කොටස් නම් තම නෑයන් ලෙස සලකනවා. මා දන්නවා මෙරට සුපිරි ජාතිකවාදීන් සිංහලයන් දඹදිවින් පැමිණි පිරිසකගෙන් පැවත එන්නන් පමණක් බව පිළිගන්නා බව. ඔවුන් හිතන්නේ තම මතය නොපිළිගන්නා මා සිංහලයන්ට විරුද්ධව ක්‍රියා කරන්නකු කියා. වැඩි කල් නොගොස් ඔවුන් මා ජාතිද්‍රෝහියකු ලෙස හඳුන්නාවි. සිංහල ජාතියට ඔවුන්ගේ පිහිටයි.

මෙරට සාමාන්‍ය ජනයාට ඉන්දියාව ගැන ඇත්තේ සුහද හැඟීමක් නො වෙයි. ඔවුන් ඉන්දියාවට යන්නේ නැහැ. ඔවුන් යන්නේ දඹදිව. ඉනුත් වැඩි වශයෙන් ම බුදුහාමුදුරුවන්ට සම්බන්ධ තැන්වලට. අප ඇතැමුන් කේරළයට වංගයට කාලිංගයට සම්බන්ධ නමුත් අප ඒ ප්‍රදේශවල සංචාරය කිරීමට පෙළඹෙන්නේ නැහැ.

අපට මෑත සම්බන්ධකමක් ඇති කේරළයට ගියත් අපට දෙමළ ජන කොටස් තමිල්නාඩුවට ගිය විට ඇති වන හැඟීම වැනි හැඟීමක් ඇති වන්නේ නැහැ. අපට කේරළයේ දී සිංහලත්වයක් දැනෙන්නේ නැහැ. අප කතා කරන භාෂාව ද්‍රවිඩ භාෂාවක් නොවීම එක් හේතුවක්. එහෙත් ආර්ය භාෂා කතා කරන බෙංගාලයට (වංග) හරි ඔඩෙස්සාවට (කාලිංග) හරි ගියත් අප සිංහලත්වයක් දැනෙන්නේ නැහැ.

අපට ඉන්දියානු සංස්කෘතිවලින් බාහිර වූ යමක් තාමත් තියෙනවා. අප දන්නවා සමස්තයක් ලෙස ගත්තම ඉන්දියාව අපේ නොවන බව. ඒ නිසාම දෝ අප බුදුහාමුදුරුවන් අපේ කර ගන්න හදනචා. එහි ඇත්තේ ඉන්දියානු විරෝධයක්. ඊයේ ඇතැමුන් රතිඤ්ඤා පත්තු කෙළේත් පොදුවේ ගත් කළ ඉන්දියානු විරෝධය නිසා.

අද ඉන්දියාව ක්‍රිකට් පාලනය කරනවා. ICC යන්න International Cricket Council නොව Indian Cricket Council බවට පත් වෙලා. ඉන්දියානුවන් අප ම ලවා අපේ ක්‍රිකට් තහනම් කරන මෙන් ඉල්ලීමට කටයුතු කර තියෙනවා. අද මෙරට ක්‍රිකට් පමණක් නොව දේශපාලනයත් ඉන්දියාවෙන් විශාල වශයෙන් මෙහෙයවෙනවා.

පසුගිය දාහත්වැනි දා මා අමරසේකර අභිනන්දන උපහාර උළෙලේ කළ කතාවෙන් මේ සම්බන්ධ කරුණු කිහිපයක් ඉදිරිපත් කළා.

මහාචාර්ය නලින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment