පාර්ලිමේන්තු කාරක සභා රැස්වීම් බාහිර පුද්ගලයන්ට තහනම්

65

කථානායකගෙන් නිවේදනයක්

පාර්ලිමේන්තු කාරක සභා රැස්වීම් සඳහා බාහිර පුද්ගලයන් සහභාගි වීම සහ කාරක සභා සභාපතිවරුන් තමන්ගේ විෂය සීමාව ඉක්මවා කාරක සභාවල කටයුතු කිරීමේ ප්‍රවණතාවන් පිළිබඳව තමාට වාර්තා වී ඇතැයි කියමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විශේෂ නිවේදනයක් පාර්ලිමේන්තුවට ඊයේ (20දා) ඉදිරිපත් කළේය.

පාර්ලිමේන්තුවේ දැනට ක්‍රියාත්මකව පවතින විවිධ කාරක සභා රැස්වීම් සඳහා සාමාජික මන්ත්‍රීවරුන් හෝ සභාපතිවරයාගේ විධිමත් අවසරය මත පැමිණෙන සාමාජික මන්ත්‍රීන් නොවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අදාළ කාරක සභාවේ වැඩකටයුතු සඳහා කැඳවීම් කරන ලද වෙනත් බාහිර ආයතනවල නිලධාරීන්ටද එම කාරක සභාවේ කටයුතු ඉටු කරන පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ නිලධාරීන්ටද පමණක් එම කාරක සභා රැස්වීම්වලට සහභාගි විය හැකි බවත්, වෙනත් කිසිදු හෝ බාහිර පුද්ගලයකුට එම කාරක සභා රැස්වීම් පැවැත්වෙන අවස්ථාවල කාරක සභා කාමර තුළට පැමිණීමට කිසිදු අවසරයක් නොමැති බවත් කථානායකවරයා පැවසීය.

මීට අමතරව, කාරක සභා සභාපතිවරුන් තම විෂය සීමාව ඉක්මවා කාරක සභාවේ කටයුතු කිරීමේ ප්‍රවණතා පිළිබඳව තමාට විවිධ අවස්ථාවලදී කරුණු වාර්තා වී තිබෙන බැවින් ඒවා සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තුවේ චිරාත් කාලයක් පුරාවට පැවති සම්ප්‍රදායන් සහ පරිචයන් ආරක්ෂා වන අයුරින් කටයුතු කිරීමට සියලුම කාරක සභා සභාපතිවරුන් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග විධිවිධාන ප්‍රකාරව, බැඳී සිටින බවද කථානායකවරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ නිලධාරීන්ට අමතරව කාරක සභා සභාපතිවරුන් විසින් කාරක සභාවේ වැඩ කටයුතු කිරීමේදී සම්බන්ධීකරණය සහ උපදේශක කාර්යයන් සඳහා කිසියම් බාහිර පුද්ගලයකුගේ සේවය ස්වෙච්ඡාවෙන් හෝ වෙනත් ආකාරයකින් ලබාගැනීමට අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා කථානායකවරයාගේ පූර්ව ලිඛිත අවසරය ලබාගත යුතු බවද කථානායකවරයා කීය.

තවද, කාරක සභාවක වැඩකටයුතු කරගෙන යෑමේදී විවිධ අමාත්‍යාංශවල, දෙපාර්තමේන්තුවල, ව්‍යවස්ථාපිත හෝ ව්‍යවස්ථාපිත නොවන ආයතනවල රජයේ නිලධාරීන් කැඳවීමේදී ඔවුන් අපහසුතාවට පත් නොවන ආකාරයෙන් කාරක සභාවේ කටයුතු කිරීමටත්, පාර්ලිමේන්තුවේ ගෞරවයට, අභිමානයට හානියක් නොවන ආකාරයෙන් සමබරව කාරක සභාව විසින් අනුමත කරන ලද කාරණා සම්බන්ධයෙන් පමණක් මාධ්‍ය නිවේදන නිකුත් කිරීමටත්, ලිපි ගනුදෙනු කිරීමේදී අදාළ කාරක සභා නාමය සහිත නිල ලිපි ශීර්ෂ අදාළ කාරක සභාව විසින් අනුමත කරන ලද කාරණා සන්නිවේදනය කිරීම සඳහා පමණක් භාවිත කිරීමටත්, කථානායකවරයා සිය නිවේදනය මගින් අවධාරණය කළේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment