ලංකාවේ ලක්ෂ පහක් රැකියාවලින් දොට්ට – 7.8%කින් ආර්ථිකය පල්ලම් බහී

395

ලෝක බැංකු වාර්තාවක් කියයි

ආර්ථික අර්බුදය හේතුවෙන් ඉකුත් වසරේ දී (2022) ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 7.8 කින් පසුබෑමකට ලක් වූ බවත් යෙදවුම්වල හිඟයන් හා සැපයුම් ජාලයට සිදු වූ බාධාවන් හේතුවෙන් මෙරට ප්‍රධාන සේවා අංශ වන නිෂ්පාදන හා ඉදිකිරීම් ක්ෂේත්‍රවල ඇති වූ දැඩි පසුබෑම හමුවේ දේශීය කර්මාන්ත හා සේවා අංශවල ලක්ෂ පහකට සිය රැකියාවන් අහිමි වී ඇති බවත් ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවේ සංවර්ධනය සම්බන්ධයෙන් නොබෝදා නිකුත් කර ඇති නවතම වාර්තාවේ සඳහන් කර තිබේ.

ඉකුත් වසරේ පැවැති දැඩි ආර්ථික පසුබෑම හමුවේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ආදායම් මාර්ග අහිමි වූ අඩු ආදායම්ලාභීන්ට වන්දි ගෙවීමට පවා රජයට නොහැකි වූ බව පෙන්වා දෙන එම වාර්තාව ජීවන වියදම ශීඝ්‍රයෙන් ඉහළ යාමත් පැවැති දැඩි ආර්ථික පසුබෑමත් හේතුවෙන් මෙරට ජාතික මට්ටමේ දරිද්‍රතාවය දෙගුණයකින් එනම් සියයට 25ක් දක්වාත් ග්‍රාමීය මට්ටමේ දරිද්‍රතාවය තුන් ගුණයකින් එනම් සියයට 15ක් දක්වාත් වර්ධනය වූ බව අවධාරණය කර ඇත. මෙම තත්ත්වය හේතුවෙන් වතුකරයේ ජනතාවගෙන් සියයට 52ක් උග්‍ර දරිද්‍රතාවයකට පත්ව ඇති අතර එය ජාතික මට්ටමින් සමාජයේ ඇති නැති පරතරය හෙවත් අසමානතාවය වර්ධනය වීමට හේතු වූ බව ද එම වාර්තාවේ දැක්වේ.

ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවේ සංවර්ධනය සම්බන්ධයෙන් ඉකුත් 04 වැනිදා නිකුත් කර ඇති වාර්තාවෙහි වැඩිදුරටත් මෙසේද සඳහන් කර තිබේ.

“ශ්‍රී ලංකාවේ පැවැති දැඩි ආර්ථික පසුබෑම හේතුවෙන් 2021 වසරේ ඇමරිකානු ඩොලර් බිලියන 8.1ක්ව පැවැති වෙළෙඳ ශේෂය 2022 වසරේ දී ඇමරිකානු ඩොලර් බිලියන 5.2ක් දක්වා පහත බැස තිබේ. මෙම වෙළෙඳ ශේෂයේ පහත බැසීම වර්තමාන තැන්පතු සංචිතය පහත බැසීමට ද හේතු විය. ප්‍රේෂණ අගය සියයට 36කින් පහත බැසීමට අමතරව සංචාරකයන්ගේ පැමිණීම අඩු වීම, රටේ ජනතාවගෙන් සියයට 7.2කගේ ආදායම් මාර්ග අහිමි වීම, පැවැති තත්ත්වය මගහැරවීම සඳහා ගනු ලැබූ ඍණාත්මක පියවරයන් හේතුවෙන් රටේ ආහාර අනාරක්ෂිතබව හා ආර්ථිකය අඩපණ වීම තවත් වර්ධනය වී තිබේ. වෙළෙඳපළට ප්‍රවේශ වීමක් නොමැතිකමින් 2019 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 7.6ක් වූ රටේ නිල සංචිත ප්‍රමාණය 2022 වන විට ඇමරිකානු ඩොලර් මිලියන 500ක් දක්වා පහත වැටිණි. මෙරට ශීඝ්‍රයෙන් වැඩි වී ඇති දරිද්‍රතාවය අවම කරලීම සඳහා කර්මාන්ත හා සේවා අංශවල රැකියා ප්‍රමාණය ඉහළ නැංවීම හා නිවැරදි ලෙස ඉලක්ක කරගත් සමාජ ආධාර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් ජනතාවගේ ආදායමේ වැඩි වීමක් සිදු විය යුතු බවත් ලෝක බැංකු වාර්තාවේ සඳහන් කර තිබේ. ගෝලීය වශයෙන් පවතින අඩු ඉල්ලුම නිසා මෙරට අපනයනයන් අඩු වෙමින් පැවතීම හේතුවෙන් පවතින බාහිර මූල්‍ය පරතරය පියවීම සඳහා 2023 වසරේදී අමතර සම්පත් රටට සපයා ගැනීම අවශ්‍ය වී ඇති බවද වාර්තාව පෙන්වා දෙයි.

ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ මූල්‍යාධාර සහිතව වර්තමානයේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කර ඇති රජයේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ හරහා නව ප්‍රාග්ධනය රටට ගලා ඒම සිදු වී රටේ අඩපණව ඇති ශ්‍රම වෙළෙඳපළ නැවත ස්ථාපිත කිරීමටත් ජනතාවගේ ජීවන තත්ත්වය නැංවීමටත් හැකි වනු ඇති බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර තිබේ. මෙම ක්‍රියාදාමයන් සාර්ථක කරගැනීම සඳහා ආර්ථිකය ප්‍රවේසම්කාරී ලෙස හැසිරවිය යුතු බවත් රාජ්‍ය අංශයේ දැවැන්ත ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ සිට පූර්ව සකස් කිරීමක් නොමැති ණය ලබා දීම ඉහළ නැංවීම වැනි ක්‍රියාමාර්ගයන් අනුගමනය කළ යුතු බවත් ලෝක බැංකුවේ නිගමනය වී තිබේ.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment