මෙරටින් හමුවූ ලොව ලොකුම මැණික් පොකුරේ බොරුව හෙළිවේ

5980


මෙරටින් හමුවූ ලොව විශාලතම මැණික් පොකුර ලෙස පවසමින් මැණික් ව්‍යාපාරිකයකු විසින් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට ඉදිරිපත් කළ පාෂාණය සම්බන්ධව එම අධිකාරියේ නිලධාරීන් කටයුතු කළ ආකාරය වෘත්තීය ගරුත්වයට නොගැලපෙන බව පොදු ව්‍යාපාර කාරක සභාවේ (කෝප්) සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා එම කමිටුව හමුවේදී පැවසීය.මෙවැනි පාෂාණ ඕනෑ තරම් හමුවන බවත් එබැවින් වෘත්තීය මට්ටමේ නිලධාරීන් ඒ සම්බන්ධව කටයුතු කිරීමේදී මීට වඩා වගකීමකින් එය කළ යුතු බවද කීවේය.එහිදී කෝප් සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසූවේ මේ වගේ බොරුවක් කිරීම මගින් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන්ගේ වෘත්තීය ගරුත්වය බාල්දුවට ලක්වූ බවය.එක් අවස්ථාවකදී මෙම පාෂාණයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් දශ ලක්ෂයක් යැයි තක්සේරු කරන මෙම පාෂාණය හිමිකරු පසුව එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් 10,700ට අඩු කර ඇතැයිද කීවේය.මෙවැනි බොරුවක් සිදු කළේ තමාගේ සභාපතිධුර කාලයේදී වටිනාම මැණික් පොකුරක් හමුවූ බවට පැවසීමට තිබූ ආශාවක් එවකට මැණික් හා ස්වර්ණාභරණ ආයතනයේ සභාපතිවරයාව සිටි පුද්ගලයාට තිබීම නිසා යැයි ද අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කළේය.එහිදී අදහස් දැක්වූ මැණික් හා ස්වරණාභරණ අධිකාරියේ නිලධාරීහු පැවසූවේ මෙය තම අධිකාරියට හිමිකරු ලබා දුන්නේ තක්සේරු කිරීමට බවත් එසේම ඔහු තම අධිකාරියේ බලපත් ලාභී පුද්ගලයෙක් බවත්ය. මෙහි බර කිලෝ ග්‍රෑම් 510කි.එය රසායනාගාර පරීක්ෂාව සඳහා පිටරට යැවූ බවත් නිලධාරීහු පැවසූහ.එසේම මෙම මැණික් පොකුර ඔප දැමිය නොහැකි බවත් එය ලොව හමුවූ විශාලතම මැණික් පොකුර ලෙසට ගිනස් පොතට එක්වී ද ඇති බවය.එනිසා එය ගැන මිල තක්සේරුවක් දිය නොහැකි බවත් දැන් එය කෞතුක භාණ්ඩයක් ලෙස නම් කර ඇති බවත් නිලධාරීහු වැඩිදුරටත් පැවසූහ.

advertistmentadvertistment
advertistmentadvertistment