දැන් මට සිංහල පුළුවන්

පසුගිය කාලයේ මුහුණුපොත හරහා අතිශය ජනාදරයට පාත්‍ර වුණු වගේම කෙල්ලො කොල්ලන්ගේ ක්‍රෂ්එක වුණු දර්ශන් තවරාජ් ඔන්න පුංචි තිරයට වෙනස්ම වැඩකින් අනිද්දා ඉඳලා කලඑළි බහින්න සූදානම් වෙන්නේ. මේ දවස්වල රැයක් දවාලක් නැතිව ෂූටින්. ඔය ෂූටින් යන අතරමගකදී අපිත් දර්ශන්ට කෝල් කළා. ඒ වෙලාවේ අපිට කිව්ව කතා ටික මේ විදිහට පෙළගැස්සුවා.

මම සෙල්ලම් කරන්න ලෑස්ති නැහැ - දර්ශන් තවරාජ්

දර්ශන් තවරාජ් අලුත්ම ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණා කියලා ආරංචියි?

ඔව්. මම තවත් අලුත්ම සිංහල ටෙලිනාට්‍යයකට සම්බන්ධ වුණා. මේක මගේ තුන්වැනි ටෙලිනාට්‍යය.

මීට කලින් හිටපු ටෙලි නාට්‍ය මතක් කළොත්?

මුලින්ම මම ‘හිතුවක්කාර. කියන ටෙලි නාට්‍යයේ විලන් චරිතයකට සහභාගි වුණා. ඊට පසුව සිදූ 2 ටෙලි නාට්‍යයෙත් විලන් චරිතයකට සම්බන්ධ වුණා. දැන් මගේ අලුත්ම ටෙලි නාට්‍යය තමයි SEE YOU.

මම සෙල්ලම් කරන්න ලෑස්ති නැහැ - දර්ශන් තවරාජ්

SEE YOU හි ඔබේ චරිතය?

මේ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිත හතරක් තියෙනවා. ප්‍රධාන නිළිය විදිහට ශලනි තාරුකා රඟපානවා. අනෙක් තුන්දෙනාත් ප්‍රධාන චරිත තමයි රඟපාන්නේ. එහි එක් චරිතයක් මමත් රඟපානවා. මගේ චරිතය මොකක්ද කියලා ඉස්සරහට තමයි දැනගන්න වෙන්නේ. පසුගිය 12 වැනිදා ඉඳලා රාත්‍රී 9.30 ට ස්වර්ණවාහිනියෙන් විකාශය වෙන්න පටන්ගත්තා.

මම සෙල්ලම් කරන්න ලෑස්ති නැහැ - දර්ශන් තවරාජ්

SEE YOU ටෙලිනාට්‍යයට ආරාධනා ලැබුණේ කොහොමද?

මෙම නාට්‍යයේ නිෂ්පාදක සඳුන් බණ්ඩාර නිෂ්පාදනය කරපු ගීතයක මම වැඩකළා. ඊට කලින් මම ගිය අවුරුද්දේ ස්වාධීන රූපවාහිනියේ අවුරුදු වැඩසටහනකදී රජතුමාගේ චරිතයක් රඟපෑවා. එහි නිෂ්පාදන කටයුතු සොයා බැලුවේ සඳුන් බණ්ඩාර අයියා. ඒ කාලේ ඉඳලා අපි දෙන්නා දන්නවා. නමුත් අපි දෙන්නා මුලින්ම මුණගැසුණේ එයා නිෂ්පාදන කරපු ගීතයකින්. ඒ වෙලාවේ ඔහු මට කිව්වා මම ගොඩක් ටෙලි නාට්‍ය නිෂ්පාදනය කරනවා ඉදිරියේදී මම වැඩක් කරනවා එතකොට කියන්නම් කියලා කිව්වා.

ඊට පස්සේ මොකද වුණේ?

ඊට පස්සේ මට මාස හයකින් විතර ඒ ආරාධනාව ලැබුණා. ධනුෂ්ක රත්නායක අයියා මට නිතර නිතර අපි වැඩක් කරමු කියලා කිව්වා. අන්තිමේ මේ ටෙලිනාට්‍යය කරන්න සූදානම් වුණේ ධනුෂ්ක අයියා. නිෂ්පාදනය සඳුන් අයියාගේ. අන්තිමේ මේ සියල්ල ගාණට සම්බන්ධ වුණා. එහෙම තමයි මට අවස්ථාව හම්බවුණේ.

මම සෙල්ලම් කරන්න ලෑස්ති නැහැ - දර්ශන් තවරාජ්

රූගත කිරීම්වල අත්දැකීම්?

මම ලංකාවේ තියෙන ප්‍රධාන දමිළ නාලිකාවල අවුරුදු අටක් විතර වැඩකරලා තියෙනවා. ඒවායේ වැඩකරන කොට මට සමහර නිෂ්පාදන කටයුතු පිළිබඳ පොඩි අවබෝධයක් තිබුණා. මට ලංකාවේ සිංහල සිනමාව පිළිබඳ අත්දැකීමක් නැහැ. නමුත් ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රයට ගොඩක් ගරු කරනවා. ඒක විශාල ක්‍ෂේත්‍රයක්. ඒකට ලොකු ප්‍රේක්ෂකාගාරයක් තියෙනවා. විදෙස්ගතවෙලා ඉන්න ශ්‍රී ලාංකිකයන් පවා ටෙලිනාට්‍ය නරඹනවා. ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්න මට ලොකු සිහිනයක් තිබුණා. මට හැමදාම මිනිස්සු බලන ටීවී එකේ හිටියා නම් ඇති. මාව අනිවාර්යයෙන්ම මිනිස්සු දන්නවා. ඒක තමයි මගේ අරමුණ. මොකද රිදී තිරයේ මාව ලොකුවට දකින්න ඕනෑ කියලා සිහිනයක් තිබුණෙත් නැහැ. රසික රසිකාවියෝ වැඩිකරගන්න තමයි මට වුවමනා වුණේ. ටෙලිනාට්‍ය කියන්නේ පුළුල් ක්‍ෂේත්‍රයක්. ඒකට සම්බන්ධ වුණහම ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. රූගත කිරීම්වලදී ලද අත්දැකීම්වලට වැඩිය ෂූටින්වලදී මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මට තියෙන වගකීම ගැනත් මම හොඳින් ඉගෙන ගත්තා.

නමුත් ඔබව රූපවාහිනියෙන් වැඩිය දැක්කේ නැහැනේ?

ඔව්. ඒක ඇත්ත. ගිය අවුරුද්දේ මම රූපවාහිනියේ මොකකවත් හිටියේ නැහැ. අනික මට රූපවාහිනී හෝ පුවත්පත් සාකච්ඡාවලට එන්න කියලා කතා කළහම ඒවාට මට කියන්න දේවල් තිබුණේ නැහැ. ඒ හින්දා මම ඒ අවස්ථාවන් පවා මගහැරලා හිටියා. මොකද මට මාධ්‍යට පවා කියන්න දෙයක් තියෙන්න එපායැ. හැබැයි ඔය අතරේ මට ගීත ගායනයට අවස්ථාවක් ලැබුණා. ඒ දේවල් කරගෙන හිටියා. හැබැයි මේ ටෙලිනාට්‍යය ගිය අවුරුද්දේ තමයි රූගත කිරීම් ආරම්භ කළේ. හැබැයි ඒක විකාශනය වුණේ නැහැ. විකාශය වෙන්නේ පසුගිය 12 වැනිදා ඉඳලයි. මේ ටෙලි නාට්‍යය තමයි මගේ අලුත්ම අත්දැකීම. SEE YOU මගේ ලයිෆ් එකට ලැබුණ ලොකු පාඩමක්.

භාෂාව ප්‍රශ්නයක් වුණේ නැතිද?

මම මීට කලින් ටෙලි නාට්‍ය දෙකක රඟපෑවා. ඒකෙන් පළමු ටෙලි නාට්‍යය වන හිතුවක්කාර කියන ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙනකොට මට පිටපත කියවන්නවත් බැහැ. ඒ කියන්නේ මට එක වචනයක්වත් තේරෙන්නේ නැහැ. වචනවල තේරුම පවා දන්නේ නැහැ. නමුත් එහි අධ්‍යක්ෂ තිළිණ බොරලැස්ස කියන අධ්‍යක්ෂවරයා තමයි මට අවස්ථාව ලබාදුන්නේ. ඔහු එදා කිව්වේ නෑ ඔයා තමයි මට ඕනෑ කියලා. අන්තිමේ ඔහු මාව ශක්තිමත් කළා. අන්තිමේ ඔහු මට සිඳූ 2 සඳහා ද අවස්ථාව ලබාදුන්නා. ඒක හින්දා මට දැන් මේ අභියෝගය ජයගන්න ඕනෑ වුණා. අනික මම ඇවිල්ලා සෙල්ලම් කරන්න ලෑස්ති නැහැ කියලා තීරණය කරගත්තා. අන්තිමේ පිටපත් අරගෙන කියවන්න පුරුදු වුණා. යාළුවන්ට කියලා බැරි දේවල් අහගත්තා. සමහරුන්ට මැසේජ් දාලා පවා අහගත්තා. දැන් මට ඇත්තටම සිංහල ලියන්න පුළුවන්. කියවන්නත් පුළුවන්‘ ඒ වගේම මට සිංහල භාෂාව තේරෙනවා. ඒ වුණාට මම කතා කරනකොට පොඩි පොඩි ගැටලු ටිකක් තියෙනවා. ඒක තමයි මට තියෙන ලොකුම ප්‍රශ්නය. ඒකත් කොහොම හරි පුරුදු වෙන්න ඕනෑ.

රඟපෑමට තවත් ආරාධනා ලැබුණාද?

ඔව්. මට චිත්‍රපට දෙකකට ආරාධනා ලැබුණා. නමුත් මට භාරගන්න බැරි වුණා. මොකද SEE YOU ටෙලි නාට්‍යයේ වැඩකරන කාලේ තමයි ඒ ආරාධනා ලැබුණේ. ඇත්තටම SEE YOU ටෙලි නාට්‍යය රූගත කිරීම් ආරම්භ කළේ ගිය අවුරුද්දේ ජනවාරි මාසේ 08 වැනිදා ඉඳලයි.

මේ ටෙලි නාට්‍යය ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් කියලා හිතනවා.

ඇත්තටම මෙය මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් කියලා හිතනවා. මොකද මම මේ ටෙලිනාට්‍යය හින්දා චරිත කිහිපයක්ම භාරගත්තේ නැහැ. මේ කොණ්ඩය රැවුල මේ ආකාරයෙන්ම තියාගන්න ඕනෑ හින්දයි මම චිත්‍රපට දෙක පවා භාරගත්තේ නැත්තේ.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment