ඒ කාලේ ශල්‍යකර්ම කරලා තියෙන්නෙ ලන්තෑරුම් එළියෙන්…

ලංකාවේ පැරැණිතම මෝචරිය තියෙන්නේ නෑබොඩ ආයුර්වේද රෝහලේ…

නෑබොඩ ආයුර්වේද රෝහලේ කිසිම ප්‍රතිකාරයකට මුදල් අය කරන්නෙ නෑ…

එදා සුද්ද හදපු රෝහල අද ආයුර්වේද රෝහලක්…

කෞතුකාගාරයක් වැනිය. 1865 වර්ෂයේ නිෂ්පාදිත, එංගලන්තයෙන් ආනයනික උළුකැට තවම වහලේ පෙනේ. දොර කවුළු අසල පොළොවට සවි කර තිබෙන ටයිල් කැට අඩ සඳ හැඩයෙන් යුක්ත වීම ද විශේෂත්වයකි. පළල් කළු ගල් බිත්ති, පැරැණි දොර ජනෙල්, විවිධ කෞතුකභාණ්ඩ දකිනවිට කෞතුකාගාරයක සිටින බව හැඟේ. එහෙත් මෙය රෝහලකි. කොළඹ මහ රෝහලට පසු මෙරට ඉදිකරන ලද දෙවැනි අංගසම්පූර්ණ රෝහලය. කළුතර දිස්ත්‍රික්කයේ නෑබොඩ, වෙල්ලත ප්‍රදේශයේ පිහිටි කැන්දකඩුව වතු රෝහල ය.

සුද්දො හදපු ලංකාවේ පරණම දෙවැනි මහ රෝහල
නෑබඩ ග්‍රාමීය ආයුර්වේද රෝහලේ කාර්යභාර වෛද්‍ය නිලධාරිනි දීපා සපුතන්ත

රබර් වතු යායට මැදිව කඳු ගැටයක බෑවුමේ පිහිටා ඇති කැන්දකඩුව රෝහල දැකුමෙන් මනස්කාන්තය. වත්ත පහළට කඩා හැළෙන දිය ඇල්ලේ ඝෝෂාව දෙසවනට අමිහිරි නැත. උස් ගස්, නොවුස් පැළෑටිවලින් ගහන එම භූමිය ඖෂධ උයනක්ම ය. දැන්වීම් පුවරු සහිත ඖෂධ පැළෑටි අතර දුර්ලභ ගණයේ ඖෂධ ශාක ද බොහෝමයකි. මල් පිපී හිනැහෙන පිනිබර යාමේ මෙවැනි සුන්දර වත්තක ඇවිද යෑමට ලැබීම ද වාසනාවකි. සිමෙන්ති පඩි පෙළ, ගල් පඩි පෙළ, තාර පාර, ගුරු පාර සහ ගොඩනැඟිලි තුළ කුණු කෑල්ලක් නොතිබෙන්න පිරිසිදු කර තැබීමේ ගෞරවය හිමිවිය යුත්තේ රෝහල් කාර්යමණ්ඩලයට ය. රෝහල් බිමෙහි අසිරිය විඳිමින් මාදං, එරමිණියා විවිධ ඵල වැල හපමින් පඩි නඟිමින්, බසිමින් වත්ත වටේ ඇවිද ගිය මම උස් ගොඩනැඟිල්ලක ප්‍රදර්ශනයට තබා තිබූ කරත්තය අසල නතර වෙමි.

“ඉස්සර මිනී ඇදපු කරත්තයක්… දැන් නම් ප්‍රදර්ශන භාණ්ඩයක්…” එසේ පවසමින් මා අසල රැඳුණු එම රෝහලේ ප්‍රධාන වෛද්‍යවරියගේ මුව මඬල රෝස මලක් මෙන් විකසිතව හිනැහිණි. ඇය ආයුර්වේද වෛද්‍ය දීපා සපුතන්ත්‍රි ය. නෑබොඩ ආයුර්වේද රෝහලේ කාර්යභාර වෛද්‍ය නිලධාරිනිය ලෙස වැඩභාර ගැනීමට පෙර ඇය රාජකාරිය කර ඇත්තේ වාද්දුව මොල්ලිගොඩ ආයුර්වේද රෝහලේ ය.

“ඉංග්‍රීසි පාලන සමයේ අංගසම්පූර්ණ රෝහලක්. ශල්‍යකර්ම සිදු කිරීමට වෙන ම ශල්‍යාගාරයක් තිබිල තියෙනවා. ඒ ශල්‍යාගාරයේ මුලින් ම ශල්‍යකර්ම සිදු කරලා තියෙන්නෙ ලන්තෑරුම් එළියෙන්. පස්සෙ කාලේ ගෑස් ලාම්පු පාවිච්චි කරලා තියෙනවා. ඊටත් පසු කාලයේ දී විදුලි එංජින් භාවිත කරල තියෙනවා. ඒ ශල්‍යාගාරයේ තමයි අද විෂ වෛද්‍ය අංශය පවත්වාගෙන යන්නෙ…” ආයුර්වේද වෛද්‍ය සපුතන්ත්‍රි මහත්මිය පෙළගැසෙන කතාව අතීතයට මුහු කළා ය.

සුද්දො හදපු ලංකාවේ පරණම දෙවැනි මහ රෝහල

මෙරට ඉංග්‍රීසි යටත් විජිත සමයේ කළුතර, නෑබොඩ ප්‍රදේශයේ විශාල වශයෙන් රබර් වගාව ව්‍යාප්ත කර තිබිණි. කළු ගඟ ඔස්සේ භාණ්ඩ ප්‍රවාහනය සිදු කළ එකල තෙබුවන ප්‍රධාන නගරයකි. වතුවල සේවය කරන පිරිස විශාල වශයෙන් පදිංචි වී සිටි මේ ප්‍රදේශයේ ජනතාවගේ පහසුව පිණිස කැන්දකඩුව මහ රෝහල ඉදි කර ඇත්තේ ඉංග්‍රීසි පාලනය විසිනි. එවකට මෙරට ප්‍රධාන ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කර ඇත්තේ සර් රොබඩ් චාමර්ස් ය. කැන්දකඩුව රෝහලේ සේවය කළ බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍යවරු ගමන් බිමන් යෑම සඳහා භාවිත කර ඇත්තේ අශ්ව කරත්තය. එම වෛද්‍යවරු නතර වී සිටි නිවහන අදට ද හෝටලයක් වැනිය. රෝහල් භූමියෙන් ඈතට පුංචි කඳු ගැටයක් මත මනස්කාන්ත පරිසරයක පිහිටි එම නිවහන ‘සංචාරක බංගලාවක්’ ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව ද වෛද්‍ය සපුතන්ත්‍රි මහත්මිය පැවසුවා ය.

“මේ රෝහලේ ප්‍රසිද්ධ වෛද්‍යවරු රාශියක් ම සේවය කරලා තියෙනවා. බණ්ඩාරනායක මහත්තයව ඔපරේෂන් කරපු ඩොක්ටර් ඇන්තනීස් පවා කාලයක් මේ රෝහලේ සේවය කරලා තියෙනවා. ඒ වගේම එකල මේ ප්‍රදේශයේ වසූරිය රෝගය පැතිර ගිහින් තියෙනවා. බෝ වන රෝගයක් නිසා ප්‍රධාන රෝහල් භූමියට එපිටින් ‘කැලෑ වාට්ටුව’ නමින් වෙනම වාට්ටුවක් හදලා ඒකට තමයි වාසූරිය, ලාදුරු හැදුණු රෝගීන් ඇතුළත් කරල තියෙන්නේ. වසූරියට බෙහෙත් නොතිබුණු ඒ කාලේ කැලෑ වාට්ටුවට ගිය රෝගියෙක් නැවත ගෙදර ගිහින් තියෙන්නෙ කලාතුරකින්. වසූරිය හැදිලා මැරුණු අයගේ මිනියවත් ඥාතීන් භාරගෙන නෑ. අන්තිමේ දී රෝහල ගාණෙම ඒ ආසන්නයේ භූමියක මළ සිරුරු භූමදානය කරලා තියෙනවා. රෝගීන් භාවිත කළ ඇඳ ඇතිරිලි ජීවානුහරණය කරන්න ධූමකරණය වැනි ක්‍රමවේදයන් භාවිත කරල තියෙනවා. මෙට්ට, රෝගීන්ගේ ඇඳුම් සේරම පුච්චල…” වෛද්‍ය සපුතන්ත්‍රි මහත්මියගේ මුවින් එම වචන ගිලිහෙනවිට ලොව ම වෙළාගත් කොරෝනා වසංගතය සිහිපත් විය. කොරෝනා රෝගය යනු ලොවම භීතියට පත් කළ වසංගතයකි. දැන් අපට සදා නොමැකෙන අද්දැකීමකි.

නෑබොඩ වතු රෝහලේ මෝචරිය දැන් කැලයට යට වී තිබේ. මළ සිරුරු තැන්පත් කළ කොන්ක්‍රීට් ලෑල්ල ජරාජීර්ණ වෙමින් තිබේ. මෙරට පවතින පැරැණිතම මෝචරිය නෑබොඩ රෝහලේ මිනී කාමරය බවට සැක නැත. එමෙන් ම රෝහල් වාට්ටුවල මිය යන රෝගීන්ගේ මළ සිරුරු රැගෙන ගිය මිනී කරත්තය දැන් එම රෝහලේ කෞතුකභාණ්ඩයකි. අශ්ව කරත්ත රෝද යොදා සාදා ඇති කරත්තයේ මිනී බහාලීමට ලාච්චුවක් ද තිබේ. අප තව ම රැඳුනුයේ ඒ පුරාවෘත්තය අසල ය. එම මිනී කරත්තය භාවිත කරමින් බටහිර වෛද්‍ය ක්‍රමය යටතේ පවත්වාගෙන ගිය මෙරට දෙවැනි මහ රෝහල 1979 වර්ෂයේ සැප්තැම්බර් මස 24 වැනිදා බෙදා වෙන් කරමින් කොටසක් ආයුර්වේද රෝහලක් බවට පරිවර්තනය කර තිබේ. මේ වනවිට එම ආයුර්වේද රෝහල ප්‍රසිද්ධියට පත්ව තිබෙන්නේ ‘කැන්දකඩුව ආයුර්වේද රෝහල’ නමිනි. දැන් අප සිටිනුයේ එම ආයුර්වේද රෝහල් පරිශ්‍රයේ ය. නෑබොඩ මහ රෝහලේ අතීත කරුණු පැහැදිලි කරමින් සිටිනුයේ කැන්දකඩුව ආයුර්වේද රෝහලේ කාර්යභාර ආයුර්වේද වෛද්‍ය සපුතන්ත්‍රි මහත්මියයි.

කැඩුම් බිඳුම්, පංච කර්ම, සමේ රෝග සහ ශල්‍ය ප්‍රතිකාර ඇතුළුව සියලු ම සර්වාංග ප්‍රතිකාර කරනු ලබන නෑබොඩ ග්‍රාමීය ආයුර්වේද රෝහලේ සතියේ දින පහයේ දී වකුගඩු, ශල්‍ය, සන්ධි, සමේ රෝග සහ රූපලාවන්‍ය සායන පහක් ද පැවැත්වේ. දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි ප්‍රතිකාර ඒකකයක් සහ එක් දින ප්‍රතිකාර ඒකකයක් සහිතව බාහිර රෝගී අංශයක් පවත්වාගෙන යන නෑබොඩ ග්‍රාමීය ආයුර්වේද රෝහල තුළ පිරිමි වාට්ටු දෙකක් සහ ගැහැනු වාට්ටුක් ස්ථාපිතය. ඖෂධ නිෂ්පාදනාගාරයක් සහ ඖෂධ ගබඩාවක් සහිත එම භූමිය තුළ ගොඩනැඟිලි කිහිපයකි. මනා නඩත්තුවකින් යුක්තව පවත්වාගෙන යන ප්‍රධාන ගොඩනැඟිලිවලට අමතරව කැලයට යට වී පවතින ගොඩනැඟිලි ද පෙනේ. මොහොතකට අපි පිරිමි වාට්ටුවක නේවාසික රෝගියෙක් අසල නතර වීමු. ඔහු අනිල් චන්ද්‍රසිරි ය. ශරීරයේ ඉළඇට බිඳීමකට ප්‍රතිකාර ලබාගැනීමට පැමිණ සිටින ඔහු එනවට වඩා දැන් ගොඩක් සනීප බව අප සමග පැවසීය.

සුද්දො හදපු ලංකාවේ පරණම දෙවැනි මහ රෝහල

“දැන් මම ඇවිත් සතියකට වැඩියි. පැහැදිලි ගුණයක් තිබෙන බව තේරෙනවා. නියම වෙලාවට බෙහෙත් ටික කරනවා. බොන්න දෙන බෙහෙත් ටික වෙලාවට දෙනවා. මාළු, බිත්තර හරි කරවල එක්ක පෝෂ්‍යදායී ආහාර වේලක් දෙනවා. ලෙඩේ අනුව කෑම වෙනස් කරලත් දෙනවා. උදේට, හවසට, රෑට තේ දෙනවා. උණු වතුර ටික ළඟට දෙනවා. ඇත්තට ම ගෙදරට වඩා හොඳට කාලා බීලා ඉන්නවා. තව දින කිහිපයකින් ගෙදර යන්න පුළුවන් කියලා මට හිතෙනවා. විශේෂයෙන් ම කියන්න ඕන දේ තමයි මොන පහසුකම් ලබා දුන්නත් රුපියලක් රෝගීන්ගෙන් අය කරන්නෙ නෑ. මේ රෝහලේ වැඩ කරන අය බුලත්විටක් දුන්නත් ගන්නෙත් නෑ. හරිම හොඳ කාර්යමණ්ඩලයක්…’ චන්ද්‍රසිරිගේ ගම බදුරලිය. ඔහුගේ ඉළඇට බිඳී ඇත්තේ ආරවුලක් බේරීමට ගොස්ය. අප එම රෝහලට ගිය දින පිරිමි වාට්ටු දෙක රෝගීන්ගෙන් පිරී තිබිණි. එම වාට්ටු දෙක තුළ රෝගීන්ට සිටීමට ඇඳන් ඇත්තේ 30ක් පමණි. එමෙන්ම කාන්තා වාට්ටුව ද රෝගීන්ගෙන් පිරී තිබිණි. එම වාට්ටුවේ ද නේවාසිකව ප්‍රතිකාර ලබාගැනීමට පහසුකම් ඇත්තේ කාන්තාවන් 15 දෙනෙකුට පමණි. ප්‍රතිකාර ලබන නේවාසික රෝගීන් අතර විවිධ රෝගාබාධ සහිත අය සිටින බව වාට්ටු භාර ආයුර්වේද සේවා සහායිකාව වූ චන්ද්‍රාණි අප සමග පැවසුවාය. ප්‍රතිකාර ලබාගැනීමට බහුලව පැමිණෙනුයේ අංශභාග, ආතරයිටීස් සහ කොඳුඇට පෙළේ ආබාධ සහිත රෝගීන් බව ද ඇය පැවසුවාය. වසර 12ක පළපුරුද්දක් සහිත චන්ද්‍රාණි මහත්මිය කැන්දකඩුව රෝහලෙහි සේවයේ නියුක්ත වීමට පෙර රාජකාරි කර ඇත්තේ වාද්දුව මොල්ලිගොඩ ආයුර්වේද රෝහලේය. වාට්ටු භාර නිලධාරිනියගෙන් අවසර ලබාගත් අපි ප්‍රතිකාර ලබන කාන්තාවන් කිහිපදෙනෙක් සමග කතාබහා කළෙමු. ඒ අතරින් නයනිගේ හඬ වචන කළෙමු.

සුද්දො හදපු ලංකාවේ පරණම දෙවැනි මහ රෝහල
නෑබඩ ග්‍රාමීය ආයුර්වේද රෝහලේ කාර්යමණ්ඩලය

“දැන් මාස හයකට වැඩි කාලයක ඉඳල හිසේ කැකුමක් තියෙනවා. විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් බෙහෙත් ගත්තා. රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ගත්තා. ඒ කිසිම දේකින් ගුණයක් නෑ. ඉවසගෙන ඉන්න බැරිම තැන තමයි ආයුර්වේද රෝහලට ආවේ. ප්‍රතිකාර පටන්ගෙන දැන් දින කිහිපයක් වෙනවා. පැහැදිලි ගුණයක් දැනෙනවා. මේ රෝහලේ වෛද්‍යවරුන්ටත්, සෙසු කාර්යමණ්ඩලයටත් පින් සිද්ධ වෙනවා. මම හිටියේ හරිම වේදනාවෙන්…” ඇයගේ වයස අවුරුදු 44 කි. අවිවාහක ඇය නෑබොඩ ප්‍රදේශයේ ම පදිංචිකාරිනියකි.

සුද්දො හදපු ලංකාවේ පරණම දෙවැනි මහ රෝහල

නේවාසික වාට්ටු අතරින් පහළට බැස කොරිඩෝව දිගේ ඇවිද ගිය අපි ඖෂධ ගබඩාව අසල නතර වීමු. විවිධාකාර ඖෂධවලින් පිරුණු ගබඩාව තුළ මොහොතක් රැඳුණු අපි නැවත පහළට බැස ඖෂධ නිෂ්පාදනාගාරයට ගියෙමු. මුළු තැන් ගෙයි දර ළිප් මත විසල් කෂාය හට්ටි දෙකක් රත් වේ. බෙහෙත් තෙල් හිඳින යන්ත්‍ර සූත්‍ර ඒ මොහොතේ ක්‍රියාත්මකව නොවිණි. විවිධ කාර්යන්වල නියුතු සේවකයන් යුහුසුලුව වැඩ කරමින් සිටින අයුරු පෙනිණි. ප්‍රතිකාර සඳහා ඇවැසි බොහෝ තෙල් වර්ග එම ඖෂධ නිෂ්පාදනාගාරයේ දී සිඳින අතර සෙසු තෙල් වර්ග සහ ඖෂධ බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් ලබාදෙනු ලැබේ. තෙල් සිඳින ආකාරය ගැන මෙන්ම විවිධ ඖෂධ නිෂ්පාදනය කරන ආකාරය එහි සේවකයන් සමග කතා කරමින් පහළට බහිනවිට එම භූමියේ කෙළවරක පිහිටි විසල් බෝධීන් වහන්සේ අසල මගේ දෙපා නතර විය.

“පැරැණි බෝධීන් වහන්සේනමක්. අපේ කාර්යමණ්ඩලය උදේට බෝධීන් වහන්සේ වන්දනා කරල තමයි වැඩ පටන් ගන්නෙ…” එම රෝහලට ගිය මොහොතේ සිට අපගේ ගමන් සඟයා වූ ලසන්ත එසේ පැවසුවේය. පැරැණි බෝධීන් වහන්සේනමක් බව පෙනේ. එහෙත් එම බෝධීන් වහන්සේ වටා ආවරණය නැත. බුදු කුටිය, ප්‍රාකාරය කැඩී ගොස්ය. එම බෝධීන් වහන්සේ වටා ආවරණයක් ඉදිකිරීමට පින්වතෙක්ට සිත් පහළ වේවාෟ මම ප්‍රාර්ථනා කරමි. බෝධීන් වහන්සේ වැඳ පුදාගත් අපි නැවත එම රෝහලේ කාර්යභාර වෛද්‍ය නිලධාරිනි දීපා සපුතන්ත්‍රි මහත්මිය සමීපයට ගියෙමු.

කොහොමද රෝහල…? වෛද්‍යවරිය අපට පැනයක් යොමු කළාය.

‘අනර්ඝයි…’ මම පිළිතුරු දුන්නෙමි.

“මම මේ රෝහලට ඇවිත් ප්‍රථමයෙන් කළේ කාර්යමණ්ඩලයේ සියලු සාමාජිකයන් එක පවුලක් බවට එකතු කිරීම. ඒ පවුල තුළ මට වැඩ කරගෙන යන්න පහසු වුණා. මාස හතරක්, පහක් රැයක්, දහවල් නැතිව අපි වැඩ කළා. සමහර සේවකයෝ එක දිගට දවස් තිහම වැඩට ආවා. ගොඩනැඟිලි පිරිසිදු කළා. තීන්ත ආලේප කළා. මුළු වත්තම ශුද්ධ පවිත්‍ර කරලා පිළිවෙළට ඖෂධ ශාක හිටෙව්වා. මල් හිටෙව්වා. අපි සියලුදෙනා ගෙදර කියල හිතාගෙන වැඩ කළා. එහි ප්‍රතිඵලයක් විදිහට කෙටි කාලයකින් සිත් ගන්නාසුලු ආකාරයට රෝහල දියුණු කරන්න පුළුවන් වුණා. පහුගිය ජනවාරි මාසෙ ඉඳලා හදිසි රෝගී අංශය පැය 24 පුරා ක්‍රියාත්මක කිරීමත් එක්ක දැන් රෑ ජාමෙටත් රෝගීන් එනවා. දිනකට රෝගීන් 150ක් විතර බාහිර රෝගී අංශයට පැමිණෙනවා. දුර බැහැර පළාත්වල රෝගීන් විශාල වශයෙන් පැමිණෙනවා. වාට්ටු තුනේම තියෙන්නේ ඇඳන් 45යි. ගැහැනු වාට්ටුවට රෝගීන් ඇතුළත් කරගන්නේ වේටිං ලිස්ට් එකේ තියලා. රෝගීන්ගේ පැමිණීම වැඩි නිසා තව ඇඳන් ටිකක් වැඩි කරගන්න කටයුතු කරගෙන යනවා. ඒත් අපිට ලැබෙන්නෙ කුඩම්මගෙ සැලකිලි. 39ක් ඉන්න ඕන රෝහල් කාර්යමණ්ඩලය දැනට ප්‍රමාණවත් සංඛ්‍යාවක් නෑ. මම එක්ක වෛද්‍යවරු 6දෙනයි. මේ රෝහල පවත්වාගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නෙ අපගේ කාර්යමණ්ඩලයේ කැපවීම සහ උනන්දුව නිසයි. ඔවුන්ගේ කැපවීම නොතිබෙන්න මේක පවත්වාගෙන යන්න අමාරුයි. අපේ කාර්යමණ්ඩලයේ කැපවීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි මෙවර බස්නාහිර පළාත් කාර්ය සාධන තරගාවලියේදී රිදී සම්මානය අපේ රෝහලට දිනාගැනීමට පුළුවන් වුණේ. ඒක අපිට ගෞරවයක් විතරක් නෙමෙයි ශක්තියක්. විවිධ ගැටලු තිබුණත් දැන් අපේ කාර්යමණ්ඩල සාමාජිකයන් රැකියාවට එන්නෙ හරිම සතුටින්. මමත් එහෙමයි. ඒ වගේම රෝහල දියුණු කිරීමට මගේ ඥාතීන්, හිත මිතුරන් මූල්‍යමය වශයෙන්, වෙනත් ආකාරයෙන් හැකි උපරිමයෙන් උදව් කළා. රෝහල අවට ප්‍රදේශවාසීන් ස්වකැමැත්තෙන් ඇවිත් උදව් කළා. තව වැඩ ටිකක් තියෙනවා. රෝහලේ දියුණුවට යමක් කරන්න කැමැති අයට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්…” පින්කමකට දායකත්වය ලබාදීමට ඇරැයුම් කරමින් ආයුර්වේද වෛද්‍ය දීපා සපුතන්ත්‍රි මහත්මිය නිහඬ විය.

බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් පාලනය වන නෑබොඩ ග්‍රාමීය ආයුර්වේද රෝහල පළාතේ දුෂ්කර ම රෝහල ය. රබර් වතු යායක් මැද පිහිටි එම රෝහලට නෑබොඩ සිට දුර කිලෝ මීටර් දෙකකි. තුඩුගල හන්දියේ සිට එම රෝහලට දුර කිලෝ මීටර් 6කි. කඳු, පල්ලම් සහිත එම මාර්ගයේ බස් රථයක් ධාවනය කරනුයේ උදේට සහ සවසට පමණි. දිනයේ සෙසු කාලයේ දී ආයුර්වේද රෝහලට යෑමට නෑබොඩ හෝ තුඩුගල සිට පයින් යා යුතු ය. එසේ නොවෙන්න පෞද්ගලික වාහනයක යා යුතුය. එහෙයින් එම රෝහලේ රාජකාරි කරන ගැහැනු, පිරිමි සියලුදෙනා සේවයට පැමිණෙනුයේ යතුරු පැදියක හෝ වෙනත් වාහනයක ය. එහෙත් ඔවුන්ගේ වැටුපට අමතර ඉන්ධන දීමනා නොලැබේ. ලැබෙන පඩියට ගුණාත්මක සේවයක් ලබාදෙන නෑබොඩ ග්‍රාමීය ආයුර්වේද රෝහලේ කාර්යමණ්ඩලය රිදී සම්මානයෙන් නොව රනින් පිදිය යුතු බව අපගේ අදහසය.

සුද්දො හදපු ලංකාවේ පරණම දෙවැනි මහ රෝහල
කසාය තම්බන අයුරු

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment